ලිත් හෝඩිය

කාල මානය නිර්ණය කිරීම

අපෝ, තේජෝ, වායෝ, පඨවි හා ආකාශ යන පංච විධ භූතයන්ගේන් සැදුම් ලත් සියළුම සජීවී හා අජීවී වස්තූන්ගේ ඇතිවීම, පැවැත්ම සහ විනාශය කාලය මත පදනම් වී ඇත. මෙම ඇතිවීම, පැවැත්ම හා විනාශය හෙවත් උපති, තිථි, භංග යන න්‍යාය අධ්‍යනය කිරීම සඳහා පැරැන්නන් මෙම කාලය ලොකු කුඩා ලෙස කොටස් වලට බෙදා දක්වා ඇත. මෙසේ බෙදා දක්වන ලද කාලය ජොතිෂ ශාස්ත්‍රඥයන් වන අප ඉතා හොඳින් අධ්‍යනය කල යුතුව ඇත. මෙම කාලය පිලිබඳ අධ්‍යනයේදී එය සූර්ය සිද්ධාන්තයට අනුව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැක. එය මුහුර්ත සහ අමුහුර්ත ලෙසිනි. මෙයින් මනුෂ්‍යයන් වන අපට තීරණය කල හැකි සංඛ්‍යාත්මක අගයකින් පරීක්ෂා කල හැකි කාල කොටස මුහුර්ථ වන අතර එසේ ගෝචර ඥාණයට හසු නොවන සංඛ්‍යාත්මක අගයකින් ගණනය කළ නොහැකි අතිශූක්ෂම කාල කොටස අමුහුර්ථ කොටස වනු ඇත. මුහුර්ත නම් කාලය ආරම්භ වනුයේ ”නිමිස” නම් කොටසකිනි. ”නිමිසක්” යනු නීරෝගී පුද්ගලයෙකු ඇසිපිය හෙලන කාලයක් වනු ඇත. එමෙන්ම සුසුමක් ඉහලට ගෙන ආපසු හෙලන කාලය ප්‍රාණ 01 ක් ලෙස ද, නිර්වචනය වනු ඇත. මේ අනුව අපට සංඛ්‍යාත්මක අගයකින් තීරණය කල හැකි කාල කොටස මෙසේ කොටස් කර දක්වා ඇත.

ප්‍රාණ 06 ක් (සිංහල තත්පර 60ක්) විඝටී (සිංහල විනාඩි) 01 යි
විඝටී (සිංහල විනාඩි) 60 ක්ඝටී (සිංහල පැය) 01 යි
ඝටී (සිංහල පැය) 60 ක්දින 01 යි
දින 30 ක් මාස 01 යි
මාස 12 ක්වර්ෂ 01 යි

මෙය තව දුරටත් මෙසේ බෙදා වෙන් කල හැක. ඒ මෙසේය.

සිංහල තත්පර 60 ක්සිංහල විනාඩි 01 යි
සිංහල විනාඩි 10 ක්ක්ෂණ 01 යි
ක්ෂණ 06 ක්(ක්ෂණ 6 x සිංහල විනාඩි 10) = සිංහල විනාඩි 60)සිංහල පැය 01 යි
සිංහල පැය 02 ක්මුහුර්ථ 01 යි
මුහුර්ථ 3.75 ක්(සිංහල පැය 02 x මුහුර්ථ 3.75 = සිංහල පැය 7.5)යාම 01 යි
යාම 08 ක්(සිංහල පැය 7.5 x යාම 8 = සිංහල පැය 60)දින 01 යි
දින 15 ක්පක්ෂ 01 යි
පක්ෂ 02 ක්මාස 01 යි
මාස 02 ක්සෘතු 01 යි
සෘතු 03 ක්අයන 01 යි
අයන 02 ක්වර්ෂ 01 යි
වර්ෂ 20 ක්විංශති 01 යි
විංශති 03 ක්ෂෂ්ඨි සංවත්සර 01 යි
විංශති 05 ක්ශත වර්ෂ 01 යි
වර්ෂ 05 ක්යුග 01 යි
යුග 04 ක්විංශති 01 යි

1928 දී මුද්‍රණය වුන වයි. ඒ. හරමානිස් අප්හාමි මහතා විසින් රචිත නක්ෂත්‍ර හෝඩිය පොතේ 11 වන 12 වන පිටුවලට අදාලව කාලය මනින විධි මෙලෙස දක්වා ඇත.

නිමිස 02 ක්තෘටි 01 යි. (සිංහල තත්පර 0.9)
තෘටි 02 ක්  ලව 01 යි. (සිංහල තත්පර 1.8)
ලව 02 ක්ක්ෂණ 01 යි. (සිංහල තත්පර 3.6)
ක්ෂණ 10 ක්කාෂ්ඨා 01 යි. (සිංහල තත්පර 36)
කාෂ්ඨා 10 ක්කලා 01 යි. (සිංහල විනාඩි 06)
කලා 10 ක්නාඩිකා 01 යි. (සිංහල පැය 01)
නාඩිකා 02 ක්මුහුර්ථ 01 යි. (සිංහල පැය 02)
මුහුර්ථ 30 ක්දින 01 යි. (සිංහල පැය 60)

දවස ගනින අයුරු

සූර්ය උදාවන් දෙකක් අතර කාලය දිනයකි. ජ්‍යොතිෂයේදී මෙය ගණිනු ලබන්නේ එක් දිනක සුර්ය උදාවේ සිට පසු දින සුර්ය උදාව අනුවය. මෙම දිනක කාලයද කොටස් දෙකකට බෙදෙනු ඇත. ඒ දිවා මානය සහ රාත්‍රී මානය ලෙසය. සූර්ය උදාවේ සිට එදින සුර්ය අස්තය දක්වා දිවා මානයද, එදිනම සූර්ය අස්තයේ සිට පසුදා සූර්ය උදාව දක්වා රාත්‍රී මානය ලෙසද වේ. අපරදිග සම්මතයට අනුව දිනකට ඉංග්‍රීසි පැය 24 ක් ඇති අතර පෙරදිග සම්මතයට අනුව දිනකට සිංහල පැය නම් 60 කි. මෙහිදී ඔබ ඉංග්‍රීසී පැය සිංහල පැය කිරීමට නම් 2.5 න් වැඩි කල යුතු අතර සිංහල පැය ඉංග්‍රීසි පැය කිරීමට නම් 2.5 න් බෙදිය යුතුය. මෙය හොඳින් අවබෝධකර ගත යුතුය. තව දුරටත් දවස ගැන විග්‍රහ කිරීමේදී දිනකට යාම අටක් ඇත. දිවා මානයට යාම 04 ක්ද, රාත්‍රී මානයට යාම 04 ක්ද ලෙස මෙම යාම 08 පවතිනු ඇත. යාමයකට සිංහල පැය 7.5 කි. ඉංග්‍රීසී පැය නම් පැය 03 කි. අපර දිග සම්මතයට අනුව දිනය ආරම්භ වනුයේ මධ්‍යම රාත්‍රියේ සිට වුවද, පෙරදිග සම්මතයට අනුව දිනය ආරම්භ වනුයේ එක් දිනක සුර්ය උදාවේ සිට පසු දින සුර්ය උදාව අනුවය.

සම්මතයේ පවතින ඉංග්‍රීසි ඔරලෝසු පැය ගණන දිනකට පැය 24 කි. නමුත් දිනකට පවතින සිංහල ඔරලෝසු පැය ගණන සිංහල පැය 60 කි. මේ අනුව පෙනී යනුයේ සිංහල පැය වලට වඩා ඉංග්‍රීසි පැය දීර්ඝ බව ය. මේ අනුව

ඉංග්‍රීසී ඔරලෝසු පැය 01 සිංහල ඔරලෝසු පැය 2.5 කි.
ඉංග්‍රීසී විනාඩි 01සිංහල විනාඩි 2.5 කි.
ඉංග්‍රීසී තත්පර 01සිංහල තත්පර 2.5 කි.

කෙසේ වෙතත් ඉංග්‍රීසි පැය මධ්‍යම රාත්‍රී 0 පැය සිට ආරම්භ වුව ද, සිංහල පැය සහ දිනය ආරම්භ වනුයේ අදාල ප්‍රදේශයට සූර්ය උදාවත් සමගම බව දත යුතුව ඇත. මේ අනුව සූර්ය උදාවන් දෙකක් අතර පවතින කාල සීමාව සූර්ය සාවන දිනයක් ලෙසින් ජ්‍යොතිෂයේ අර්ථ දැක්වේ.

ඉහතින් දක්වා ඇත්තේ 2022 සස 2023 ලංකා පඤ්ඤාංග ග්‍රහස්ඵුඨ ලිතේ ගම් නගර නාමාවලිය දැක්වෙන පිටු අංක 39 සහ පිටු අංක 42 හි ආදර්ශ ඡායා පිටපත් දෙකකි. ජ්‍යොතිෂය හදාරන ආධුනික ඔබ සෑම දෙනාම සෑම වර්ෂයකටම අදාල ලංකා පඤ්චාංග ග්‍රහස්ඵුඨ ලිත් පොතක් අත්‍යාවශ්‍යම අත් පොතක් ලෙසින් මිළදී ලඟ තබා ගැනීම අවශ්‍ය වනු ඇත. මෙම ආදර්ශ පිටපත් දෙකින් එකක් එනම් පිටු අංක 39 බස්නාහිර පළාත නිවේදනය කරන අතර පිටු අංක 42 නැගෙනහිර පළාත නිවේදනය කර ඇත. ලංකා භූමිය පෙන්වන සිතියමේ උපරිම පළල පෙන්වනුයේ කොළඹ කොටුව සහ පොතුවිල් හි පිහිටි සංගමන්කන්ද තුඩුව ස්ථානයයි. පිටු අංක 39 හි ලංකා සිතියමේ බස්නාහිර කෙළවර වූ කොළඹ කොටුවට අදාල දේශාංශක රේඛාව අංශක 79 කලා 51 ලෙස ද, ඉර උදා වෙනස මිනිත්තු 00 තත්පර 00 ලෙස ද දක්වා ඇත. එමෙන්ම පිටු අංක 42 හි ලංකා සිතියමේ නැගෙනහිර අන්තය වූ පොතුවිල් නගරයට අදාල දේශාංශක රේඛාව අංශක 81 කලා 50 ලෙස ද, කොළඹ කොටුව සිට ඉර උදා වෙනස (- මිනිත්තු 7 තත්පර 56) ක් බව ද, දක්වා ඇත. මින් ගම්‍ය වනුයේ ලංකා සිතියමේ බස්නාහිර අන්තයේ පිහිටි කොළඹ කොටුවට ඉර උදාවීමට මිනිත්තු 07 තත්පර 56 කට පෙර ලංකා සිතියමේ නැගෙනහිර අන්තය වූ පොතුවිල් නගරයට ඉර උදාවන බව ය. මෙයින් අප තේරුම් ගත යුතුව ඇත්තේ ලංකාවේ සෑම නගරයකටම එකවර ඉර උදාව සිදු නොවන අතර එකී ඉර උදාව ගමින් ගමට, නගරයෙන් නගරයට වෙනස් වන බව ය. තවත් අයුරකින් පැවසුවහොත් සෑම ගමකටම, නගරයකටම දවස උදාවනුයේ එකම වේලාවක නොවන බව ය. මේ නිසා ජ්‍යොතිෂය හදාරන සෑම කෙනෙකුම ඉර උදාව සහ දවසේ උදාව නිවැරදිව ගණනය කිරීමට දැනුම ලබා ගත යුතුව ඇත. අප දැන් නිවැරදිව යම් නගරයකට ඉර උදාව ගණනය කිරීමේ පදනම අධ්‍යනය කර බලමු.

නගරයදේශාංශකයඅංශකකලාකොළඹ සිට ඉර උදා
වෙනස
විනාඩිතත්පර
පොතුවිල්නැගෙනහිර8150කොළඹ සිට ඉර උදා
වෙනස
0756
කොළඹ කොටුවනැගෙනහිර7951කොළඹ සිට ඉර උදා
වෙනස
0000
  ———-———- ———-———-
දේශාංශක වෙනසනැගෙනහිර0159ඉර උදා වෙනස0756
දේශාංශක වෙනස
කලාවලින්
 (01×60)=6059 + 60 = 119ඉර උදා වෙනස
තත්පර වලින්
(07×60)=42056+420=476
දේශාංශක වෙනස කලා වලින්  119ඉර උදා වෙනස තත්පර වලින් 476
කලා 119 කට ඉර උදා වෙනස තත්පර 476 ක් නිසා කලා 1 කට ඉර උදා වෙනස බැලීමට 476/119 න් බෙදුවා.     
මේ අනුව දේශාංශක කලා 01 කට ඉර උදා වෙනස තත්පර 04 ක් බව ඔබට තේරුම් ගත හැකි වනු ඇත.

දැන් අපි ලංකා පඤ්චාංග ලිතේ 42 පිටුවට අදාලව උතුරු මැද පාළාතේ අනුරාධපුර නගරයට කොළඹ කොටුවේ සිට ඉර උදාව ගණනය කරන අයුරු අධ්‍යනය කරමු.

අනුරාධපුර නගරයට අදාල නැගෙනහිර දේශාංශක අංශක 80 කලා 25 කි. මෙය පදනම් කරගෙන කොළඹ කොටුවේ සිට අනුරාධපුර නගරයට ඉර උදාව දැන් ගණනය කරමු.

නගරය                                                   දේශාංශකය       අංශක   කලා                
අනුරාධපුරය                                             නැගෙනහිර      80        25                                                       
කොළඹ කොටුව නැගෙනහිර                                            79        51
———————————————————————————————————————————————-
දේශාංශක වෙනස                                                           00        34
දේශාංශක කලා 01 ට ඉර උදා වෙනස    තත්පර                  04 x
————————————————————————————————————————–

එම නිසා දේශාංශක කලා 34 ට ඉර උදා වෙනස       තත්පර                136

මෙම තත්පර 136 විනාඩි කිරීමට 60 න් බෙදුවා

එවිට අනුරාධපුර නගරයට ඉර උදා වෙනස               විනාඩි 02 තත්පර 16 ක් වනු ඇත. 

මේ ආකාරයට ඔනෑම නගරයකට කොළඹ කොටුව සිට ඉර උදා වෙනස ගණනය කිරීමට මෙන්ම අදාල නගරයට දිනය උදාවන වේලාවද අපිට මේ අයුරින් සොයා ගත හැකි වනු ඇත.

පක්ෂ හා මාස ගණනය කරන අයුරු

දින 15 ක් පක්ෂ 01 කි. මාසයකට පක්ෂ 02 කි. එනම් දින 30 කි. මාසයක් තුල ඇති මෙම පක්ෂ දෙක සඳුගේ ආලෝකය වැඩීම හා පිරීහීම පදනම් කර ගනිමින් කොටස් දෙකකට බෙදා ඇත. සඳුගේ ආලෝකය වැඩෙමින් පවතින දින 15 පුර පක්ෂය හෙවත් ශුක්ල පක්ෂය ලෙසද“ සඳුගේ ආලෝකය පිරිහෙමින් පවතින දින 15 අව පක්ෂය හෙවත් කෘෂ්ණ පක්ෂය ලෙසද හඳුන්වමු.

තව දුරටත් මාස යන්න විග්‍රහ කිරීමේදී චන්ද්‍ර මාස සහ සුර්ය මාස යනුවෙන්ද ආකාර දෙකක් පවතින බව කිව යුතුව ඇත. එක් අමාවක දිනක සිට ඊලඟ අමාවක දක්වා කාලය චන්ද්‍ර මාසයක් වන අතර රවි එක් රාශියක සිට ඊලඟ රාශියකට සංක්‍රමණය වන තුරු ගත කරන කාලය සූර්ය මාසයක් ලෙසද ව්‍යවහාර වනු ඇත. මෙම සූර්ය මාස” චන්ද්‍ර මාස සහ ඉංග්‍රීසී මාස අතර ඇති සම්බන්ධය මෙසේ පෙන්වා දිය හැක.

සූර්ය මාසය චන්ද්‍ර මාසයඉංග්‍රීසී මාසය
මේෂ රවියබක් මාසයඅප්‍රේල් මාසය
වෘෂභ රවියවෙසක් මාසයමැයි මාසය
මිතුන රවියපොසොන් මාසයජූනී මාසය
කටක රවියඇසල මාසයජූලී මාසය
සිංහ රවියනිකිණි මාසයඅගෝස්තු මාසය
කන්‍යා රවියබිනර මාසයසැප්තැම්බර් මාසය
තුලා රවියවප් මාසය ඔක්තොම්බර් මාසය
වෘෂ්චික රවියඉල් මාසයනොවැම්බර් මාසය
ධනු රවියඋඳුවප් මාසයදෙසැම්බර් මාසය
මකර රවියදුරුතු මාසයජනවාරි මාසය
කුම්භ රවියනවම් මාසයපෙබරවාරී මාසය
මීන රවියමැදින් මාසයමාර්තු මාසය

සෘතු ගණනය කරන අයුුුරු

චන්ද්‍ර මාස හෝ සුය මාස හෝ ඉංග්‍රීසි මාස යන ඕනෑම මාස දෙකක් එක් වීම තුල සෘතුවක් නිර්මාණය වනු ඇත. මෙවැනි සෘතු හයක් වසරක් තුල පවතිනු ඇත. මේ අනුව මාස 02 ක් සෘතුවක් බව කිව යුතුව ඇත. මෙම සෘතු යෙදෙන ආකාරය පහතින් මෙසේ දක්වමු. මෙම සෘතු භේධය උත්තරාර්ධයේදී හා දක්ෂිණාර්ධයෙදී ආකාර දෙකකි.

උත්තරාර්ධයෙදී සෘතු භේධය මෙසේය.

සූර්ය මාසයචන්ද්‍ර මාසයඉංග්‍රීසී මාසයසෘතු නාමය
මීන, මේෂබක්, වෙසක්අප්‍රේල්, මැයිවසන්ත සෘතුව
වෘෂභ, මිතුනපොසොන්, ඇසලජූනී, ජූලීග්‍රීෂ්ම සෘතුව
කටක, සිංහනිකිණි, බිනරඅගෝස්තු, සැප්තැම්බර්වර්ෂා සෘතුව
කන්‍යා, තුලාවප්, ඉල්ඔත්තෝබර්, නොවැම්බර්ශරත් සෘතුව
වෘශ්චික, ධනුඋඳුවප්, දුරුතුදෙසැම්බර්, ජනවාරීහේමන්ත සෘතුව
මකර, කුම්භනවම්, මැදින්පෙබරවාරී, මාර්තුශිශිර සෘතුව

දක්ෂිණාර්ධයෙදී සෘතු භේධය මෙසේය.

සූර්ය මාසයචන්ද්‍ර මාසයඉංග්‍රීසී මාසයසෘතු නාමය
මීන, මේෂබක්, වෙසක්අප්‍රේල්, මැයිශරත් සෘතුව
වෘෂභ, මිතුනපොසොන්, ඇසලජූනී, ජූලීහේමන්ත සෘතුව
කටක, සිංහනිකිණි, බිනරඅගෝස්තු, සැප්තැම්බර්ශිශිර සෘතුව
කන්‍යා, තුලාවප්, ඉල්ඔත්තෝබර්, නොවැම්බර්වසන්ත සෘතුව
වෘශ්චික, ධනුඋඳුවප්, දුරුතුදෙසැම්බර්, ජනවාරීග්‍රීෂ්ම සෘතුව
මකර, කුම්භනවම්, මැදින්පෙබරවාරී, මාර්තුවර්ෂා සෘතුව

අයනය ගණනය කරන අයුරු

අයනය ගැනීම සුර්යාගේ ගමන මත පදනම් වී ඇති අතර සෘතු තුනක් හෙවත් සූර්ය මාස හයක් අයනයකට අන්තර් ගතව ඇත. මේ අනුව උත්තර හා දක්ෂිණ ලෙස අයන දෙකකි. රවි මකර රාශියට සංක්‍රාන්තිය කල දින පටන් පුරා සූර්ය මාස හයක් උත්තරායනය වන අතර රවි කටක රාශියට සංක්‍රාන්තිය කල දින පටන් පුරා සූර්ය මාස හයක් දක්ෂිණායනය වෙයි. මේ අනුව රවි මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිතුන යන රාශි හයේ යන විට උත්තරායනය ලෙසද, රවි කටක, සිංහ, කන්‍යා, තුලා, වෘෂ්චික, ධනු යන රාශි හයේ ගමන් කරන විට දක්ෂිණායනය ලෙසද දක්වනු ඇත. මෙහිදි උත්තරායනය සෞම්‍ය අයනය ලෙසද, දක්ෂිණායනය කෲර අයනය ලෙසද හැඳින්වේ.

වර්ෂ ගණනය කරන අයුරු

අයනයන් දෙකක් වර්ෂ 01 කි. වර්ෂයකට සෘතු හයක් සහ මාස 12 ක් පවතිනු ඇත. මෙකී වර්ෂයක් සඳහා දින 365 පැය 15 විනාඩි 22 තත්පර 09 ක් ඇත. මෙකී වර්ෂය තුල රවි මේෂ, වෘෂභ ආදී වූ රාශි දොලොස තුල ගමන් කරනු ඇත. මෙසේ ගමන් කිරීමේදී සඳු හා යෝග වන අවස්ථා දොළොසක් හෝ දහතුනක් උදාවනු ඇත. එසේ උදාවන අවස්ථා දොළොස අතර යෙදෙන පරතර දොලොස මේෂ, වෘෂභ ආදී ලෙස ලෙස නම් කර ඇත. රවි මේෂ රාශියේ සිට ඊලඟ වසරේ මේෂ රාශිය දක්වා සංක්‍රාන්තිය සිදුවන තෙක් කාලය වසරක් ලෙස හැඳින් වීම වඩාත් සුදුසුය.
අධි පසලොස්වක පෝයක් යෙදෙන වසරක දී පමණක් අමාවක 13 ක් යෙදෙන අතර අධි පසලොස්වක පෝයක් නොයෙදෙන වසරවල අමාවක 12 ක් යෙදෙන බව ඔබට ලිත් පොත් පරිහරණය තුලින් දැක ගත හැකි වනු ඇත. උදාහරණයක් ලෙසින් ඔබට 2020 වර්ෂයේ අධි වප් පුර පොහොයක් යෙදී ඇති නිසා 2020-2021 වර්ෂය තුල අමාවක 13 ක් යෙදී ඇති අයුරු නිරීක්ෂණය කරන්න. මේ ආකාරයෙන් ගණනය කර බැලීම කළ යුත්තේ එක් වර්ෂයක සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට ආ මේෂ සංක්‍රාන්තියේ සිට ඊලඟ මේෂ සංක්‍රාන්තිය සිදුවන දිනය දක්වා විය යුතු ය.

විංශති ෂෂ්ඨි විංෂති ගණනය කරන අයුරු

සූර්ය වර්ෂ 20 ක කාලය විංෂතියක් ලෙස හැඳින්වෙන අතර මෙවැනි විංෂති 03 ක් හෙවත් සූර්ය වර්ෂ 60 ක් ෂෂ්ඨි විංෂතියක් ලෙස හැඳින්වේ. මෙම ෂෂ්ඨි විංෂතියේ මුල් වසර 20 බ්‍රහ්ම විංෂතියටද, දෙවන වසර 20 විෂ්ණු විංෂතියටද, තුන්වන වසර 20 ඊශ්වර විංෂතියටද අයත් වනු ඇත. තව දුරටත් ඉහත කී විංෂති 03 එකිනෙක වෙනම ගත් කල සෑම විංෂතියක්ම වර්ෂ 05 බැගින් වූ යුග දොළහකට වෙන්කල හැකිය. ඒ අනුව සෑම විංෂතියක්ම පිළිවෙලින් විෂ්ණු, බ්‍රහස්පතී, ඉන්ද්‍රයුග, අග්නියුග, බ්‍රහ්ම යුග, ශිව යුග, පීතර යුග, විෂ්ව දේව යුග, චන්ද්‍ර යුග, ජ්වලන යුග, අශ්විනී කුමාර යුග, සූර්ය යුග වශයෙන් යුග දොළහකට බෙදෙනු ඇත. එකී සෑම යුගයකම ඇති වසර 05 දේවතාවුන් පස් දෙනෙකු අතර බෙදී යනු ඇත. සෑම යුගයකම පළමුවන වසර සංවත්සර වන අතර එය වහ්නී දේවතාවටද, දෙවන වසර පරිවත්සර වන අතර එය අර්ක දේවතාවටද, තුන්වන වසර  ඉඩාවත්සර වන අතර එය චන්ද්‍ර දේවතාවටද, හතරවන වසර අනුවත්සර වන අතර එය බ්‍රහ්ම දේවතාවටද, පස්වන වසර ඉදවත්සර වන අතර එය ශිව දේවතාවටද හිමිවනු ඇත. මෙම විංෂතීන් හී බලපෑම ගැන කථා කිරීමේදී සකල ජීවී අජීවී යන සියළු දෑ වල උත්පත්තිය, පැවැත්ම සහ විනාශය පිළිවෙලින් බ්‍රහ්ම, විෂ්ණු සහ ඊශ්වර විසින් තමාට හිමි කාල තුලදී තම ගුණාංගයන් ලෝක සත්වයා කෙරෙහි යොමු කරවන බව කිව යුතුව ඇත.

ඕනෑම වසරක් කුමන විංෂතියක,  කුමන ෂෂ්ඨි විංෂතියක, කුමන යුගයකදැයි සොයා ගත හැකි ක්‍රමයක් ඇත. ඒ මෙසේය. අදාල වර්ෂයේ ශක වර්ෂය ගෙන එයට 12 ක් එකතුකර 60 න් බෙදු විට ඉතිරිවන ශේෂය මත කුමන විංෂතියක, කුමන ෂෂ්ඨි විංෂතියක, කුමන යුගයකදැයි සොයා ගත හැකිය. (ෂෂ්ඨි සංවත්සරය සෙවීමේ ක්‍රම දෙකක් පවතින අතර එම ක්‍රම දෙක පිළිවෙලින් ප්‍රභවාදී ෂෂ්ඨිය හා විජයාදී ෂෂ්ඨිය වේ. අප රටේ භාවිත වනුයේ මින් ප්‍රභවාදී ෂෂ්ඨි ක්‍රමය වන අතර ඉහතින් දැක්වූයේ එය සොයාගන්නා ක්‍රම වේදයය. මෙම ප්‍රභවාදී ෂෂ්ඨි ක්‍රමය ගුරු ග්‍රහයා පදනම්කරගෙන සකස් කර ඇත.)

දැන් අප ප්‍රභවාදී ෂෂ්ඨි ක්‍රමයේත් විජයාදී ෂෂ්ඨි ක්‍රමයේත් වෙනස හඳුනා ගනිමු. ප්‍රභවාදී ෂෂ්ඨි ක්‍රමයේදී ප්‍රභව යන වර්ෂය පළමු වර්ෂය ලෙස ගණන් ගැනෙන අතර විජයාදී ෂෂ්ඨි ක්‍රමයේදී 27 වන වර්ෂය වන විජය වර්ෂය පළමු වර්ෂය ලෙස ගණන් ගැනේ. උතුරු ඉන්දියාවේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් මෙම විජයාදී ෂෂ්ඨි ක්‍රමය භාවිතා කරනු ඇත.

දැන් ඔබට ෂෂ්ඨි සංවත්සරයක් හෙවත් වර්ෂ 60 කාලයක් විංශති තුනකට බෙදු සැටිද, එම විංශති තුන යුග හතරකට බෙදූ සැටිද, යුගයක් වර්ෂ පහකට බෙදු සැටිද හොඳින් අවබෝධ වී ඇතැයි සිතමි.

මේ අනුව යම් වර්ෂකට හිමි ප්‍රභවාදී වර්ෂය කුමක්ද යන්නත්, එම වර්ෂය කුමන විංශතියකට, කුමන යුගයකට, කුමණ දේවතාවෙකුට හිමිද යන්නත් සොයා ගැනීමට මෙම දී ඇති චක්‍රය භාවිත කරන්න.

දැන් අප අභ්‍යාසයක් ලෙස මෙම 2023 වසර කුමන විංශතියකට, කුමන යුගයකට, කුමණ දේවතාවෙකුට හිමිද යන්න සොයා බලමු. 2023 වසර හිමිවන්නේ ශකවර්ෂ 1945 ටය. මේ අනුව දී ඇති නීතිය ක්‍රියාත්මක  කර පිළිතුර සොයමු.

2023 ට හිමි ශක වර්ෂය                                                    1945
            එකතු කලා                                                             12
——————————————————————————————————————————–
                                                                                         1957

මෙම පිළිතුර 60 න් බෙදන්න. මෙම පිළිතුර 60 න් බෙදු විට පිළිතුර 32 ක් වන අතර ශේෂය හෙවත් ඉතිරිය 37 කි. දී ඇති චක්‍රයේ 37 හිමි වන්නේ කුමන විංශතියකටද කියා බලන්න. එවිට ඔබට මෙම 2023 වසර ප්‍රභවාදී සැට වර්ෂයේ විෂ්ණු විංශතියට අයත් විශ්ව දේව යුග පඤ්චාබ්ධයේ දෙවන පරිවත්සරයට අධිපති අර්ක දේවතාවන්ට හිමිවූ සෝභන නම් සංවත්සරය 2023 අප්‍රේල් මස 14 වන කිවි දින ශ්‍රී ලංකාවේ සම්මත ඔරලෝසු වේලාවෙන් අපර භාග 02.59 ට උදාවූ බව කිව යුතුය. මෙය සෑම පඤ්චාංග ලිතකම පලමු පිටුවේ දක්වා ඇත. පසුගිය වර්ෂ සඳහාද මෙම අභ්‍යාසය කර නිවැරදි පිළිතුර ලබා ගන්න.

ශුද්ධ ගුරුමාන වර්ෂ ක්‍රමය

ගුරු ග්‍රහයාගේ රාශි දොළසේ ගමන පදනම් කර ගනිමින් මෙම ශුද්ධ ගුරුමාන වර්ෂ ක්‍රමය පදනම් වී ඇත. මේ පිළිබඳ විස්තර සහිත චක්‍රය සූර්ය සිද්ධාන්තයේ තත්වමෘත ටීකාවේ විජයාදී ෂෂ්ට්‍යාබ්ද ගණිත චක්‍රය ලෙස දක්වා ඇත.

ඒ මෙසේය,

මේෂවිජයවිශ්වාදීසූපිංගලශුක්ලවෘෂ
වෘෂභජයපරාභවකාලයුක්තප්‍රමෝදචිත්‍රභානූ
මිතුනමන්මථප්ලවංගසිද්ධාර්තප්‍රජාපතීසුභානූ
කටකදුර්මුඛකීලකරෞද්‍රඅංගීරතාරණ
සිංහහෙමලම්භිසෞම්‍යදුර්මතීශ්‍රීමුඛපාර්ථිව
කන්‍යාවිමලම්භිසාධාරණදුන්දුහීභාවව්‍යය
තුලාවිකාරීවිරෝධකෘත්රුධිරොත්ගාරීයුවන්සර්වජිත්
වෘෂ්චිකශාර්වරීපර්ධාවීරක්තාක්ෂීධාතෲසර්වධාරී
ධනුප්ලවප්‍රමාදීක්‍රෝධණඊශ්වරවිරෝධී
මකරශුභකෘත්ආනන්දක්ෂයබහුධාන්‍යවිකෘති
කුම්භහෝභනරාක්ෂසප්‍රභවප්‍රමාථිඛර
මීනක්‍රෝධීනලවිභවවික්‍රමනන්දන

මෙම චක්‍රයට අනුව ගුරු ග්‍රහයා මේෂ රාශියේ ගමන් කරන විට විජය, විශ්වාදිසු, පිංගල, ශුක්ල, වෘෂ යන වර්ෂයන්ගෙන් එකක් උදා වීමට හේතුයි සෙසු රාශි වලදීද එසේ වනු ඇත. මෙම චක්‍රයට අනුව විජයාදී ෂෂ්ටි ක්‍රමයට අනුව ගුරුමාන විජයාදී ෂෂ්ටි වර්ෂය සොයනුයේ අදාල වර්ෂයට නියමිත කලියුග වර්ෂය 60 න් බෙදා ලැබෙන පිළිතුර මතය.

අප උදාහරණයක් ලෙස 2023 වසර හිමිවන්නේ කුමන විජයාදී ෂෂ්ටි වර්ෂයකටදැයි සොයා බලමු. 2023 වසර හිමිවන කලියුග වර්ෂය 5124 වනු ඇත. මේ නිසා 2023 වසරට හිමි කලියුග වර්ෂය වූ 5124 බෙදිය යුතු වන්නේ 60 න් වන අතර එසේ බෙදූ විට පිළිතුර 85 කි. මේ අනුව පෙනී යනුයේ 85 පසුවී 86 ට ආසන්නව ඇති බවය. මෙම 2023 වසරේදී ගුරු ග්‍රහයා මීන හා මේෂ රාශි වල හැසිරෙන නිසා 2023 වසරේ සූර්ය සංක්‍රාන්තියෙන් පසු ගුරු මීනයේ නිසා ඉහත සඳහන් චක්‍රයේ මීනය ආරම්භවන ”ක්‍රෝධී” නම් වර්ෂයේ සිට මීන රාශිය තුල පමණක් ක්‍රෝධී, නල, විභව, වික්‍රම සහ නන්දන නැවත ක්‍රෝධී ලෙස වර්ෂ 86 ක් ඉදිරියට ගණින්න. එවිට 86 ලැබෙනුයේ ”නල” නම් වර්ෂයටය. මේ නිසා 2023 වර්ෂය ගුරු මනාබ්ධ ක්‍රමයට මීනයට හිමි ”නල” නම් වර්ෂය බව තේරුම් ගත යුතුය. මේ ආකාරයට පසුගිය වර්ෂ සඳහාද ගැන පිළිතුර නිගමනය කරගන්න.

කල්ප වර්ෂ ක්‍රිස්තු වර්ෂවලට හරවන ආකාරය

කල්ප වර්ෂ ආරම්භ වනුයේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමනය වන දින සිටය. කල්ප වර්ෂ 197249101 ක්‍රිස්තු වර්ෂ 2000 ට සමාන වනු ඇත.

කලි යුග වර්ෂ ක්‍රිස්තු වර්ෂවලට හරවන ක්‍රමය

කලියුග වර්ෂයන් ද ආරම්භවනුයේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමනය වන දින සිටය. කලියුග වර්ෂ 5101 ක්‍රිස්තු වර්ෂ 2000 ට සමානවනු ඇත.

බුද්ධ වර්ෂ ක්‍රිස්තු වර්ෂ වලට හරවන ක්‍රමය

බුද්ධවර්ෂ ආරම්භ වනුයේ වෙසක් පුර පසලොස්වක තිථිය ආරම්භය සමගය. එක් වසරක වෙසක් පුර පසලොස්වක තිථියේ සිට ඊලඟ වසරේ වෙසක් පුර පසළොස්වක තිථිය දක්වා බුද්ධවර්ෂ එකකි. බුද්ධ වර්ෂ 2544 ක්‍රිස්තු වර්ෂ 2000 ට සමානවනු ඇත.

ශක වර්ෂ ක්‍රිස්තුවර්ෂ වලට හරවන ක්‍රමය

ශක වර්ෂ සහ සූර්ය වර්ෂ යනු දෙකම එකකි. ශක වර්ෂ ආරම්භ වනුයේ ද සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමනය වන දින සිටය. ශක වර්ෂ 1922 ක්‍රිස්තුවර්ෂ 2000 ට සමාන වනු ඇත. සූර්ය වර්ෂයකට දින 365 පැය 15 විනාඩි 22 තත්පර 09 ක් පවතිනු ඇත.

මහා යුග

මීට පෙර පාඩමේදී අප ෂෂ්ටි සංවත්සර වර්ෂ සෙවීමේ දී සුළු යුග දොළොසක් ගැන කථා කල අතර දැන් අප කථා කරනුයේ මහා යුග සතරක් ගැනය. ජ්‍යොතිෂයෙදී විශාල වර්ෂ එකකයන් මැනීම සඳහා මෙම මහා යුග ඒකකය භාවිතා කරන අතර එම මහ යුගයන් පිළිවෙලින් මෙසේය.

01කෘත යුගයවර්ෂ1728000
02නේත්‍රා යුගයවර්ෂ1296000
03ද්වාපර යුගයවර්ෂ864000
04කලි යුගයවර්ෂ432000

දැන් අප ගෙවමින් සිටිනුයේ කලියුග වර්ෂ වන අතර ඉතිරි යුග තුනම ගෙවා අවසන් වී ඇත. කලියුග වර්ෂ 432000 ක ප්‍රමාණය 2 න් වැඩිකල විට වර්ෂ 864000 ක් වූ ද්වාපර යුගයේ වර්ෂ ගණන ලැබෙන අතර කලියුග වර්ෂ 432000 ක ප්‍රමාණය 3 න් වැඩිකල විට වර්ෂ 1296000 ක් වූ නේත්‍රා යුගයේ වර්ෂ ගණන ලැබේ. තව දුරටත් කලියුග වර්ෂ 432000 ක ප්‍රමාණය 4 න් වැඩි කල විට වර්ෂ 1728000 ක් වූ කෘත යුගයේ වර්ෂ ප්‍රමාණය ලැබෙනු ඇත.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාලීන සිදුවීම් Latest News

ගෙබිම් ශාස්ත්‍රය හෙවත් වාස්තු විද්‍යාව පාඩම් අංක 02
10 Apr
Comments 0
කාලීන සිදුවීම්

ගෙබිම් ශාස්ත්‍රය හෙවත් වාස්තු විද්‍යාව පාඩම් අංක 02

රාශි දොලොස සම්බන්ධව මූල ග්‍රන්ථ ආදියේ මතය
8 Apr
Comments 0
කාලීන සිදුවීම්

රාශි දොලොස සම්බන්ධව මූල ග්‍රන්ථ ආදියේ මතය

ජ්‍යොතිෂය අර්ථ දැක්වීම
7 Apr
Comments 1
කාලීන සිදුවීම්

ජ්‍යොතිෂය අර්ථ දැක්වීම