අර්ථ, ධර්ම, කාම යන ලෞකික සැප වර්ධණය උදෙසා ලියැවුණ ශාස්ත්‍ර අතුරින් වාස්තු විද්‍යාව හෙවත් ගෙබිම් ශාස්ත්‍රය ප්‍රමුඛ ශාස්ත්‍රයකි. මනුෂ්‍ය වාසයට සුදුසු පරිදි නිවාස, ග්‍රාම, නගර ආදිය ඉහත කී අර්ථ, ධර්ම, කාම යන ලෞකික සැප වර්ධණය උදෙසා අව්ව, වැස්ස, සුළඟ ආදි ස්වභාවික උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීමට ද, විශ්ව තලයේ උදා අස්ත වෙමින් භ්‍රමණ, පරිභ්‍රමණ ක්‍රියාවලීන්ට නතු වූ රවි, චන්ද්‍ර, බුද ආදි ග්‍රහයන්ගේද, මේෂ, වෘෂභ ආදි රාශින්ගේ ද, අස්විද, බෙරණ ආදි නක්ෂත්ත්‍රයනගේ ද බලපෑම් වලින් ආරක්ෂා වීමට ද, ශාස්ත්‍රානූකූලව නිර්මාණය කර ගන්නා ආකාරය මෙම වාස්තු විද්‍යාව හෙවත් ගෙබිම් ශාස්ත්‍රය තුලින් ලොවට දායාද කර ඇත. අග්නි පුරාණයට අදාලව වාස්තු විද්‍යාව පෝෂණය කල ගුරුකුළ දහඅටක් පිළිබඳව තොරතුරු අපට විද්‍යාමාන වී ඇත. මේ බව අග්නි පුරාණයේ 39 වන පරිච්ඡේදයේ සඳහන්ව තිබුනේ මෙසේ ය.

භෘගුරත්‍රීවසිෂ්ටශ්ච විශ්වකර්මා මයස්තථා

නාරදෝ නග්නජිච්චෛව විශාලාක්ෂ: පුරන්දර:

බ්‍රහ්මා කුමාරෝ නන්දිශ: ගෞනකෝ ගර්ග ඒව ච

වාසුදේවෝ නිරැද්ධශ්ච තථා ශුක්‍ර බෘහස්පති

අෂ්ටාදශෛතේ විඛ්‍යාතා වාස්තුශාස්ත්‍රෝපදේශකා:

ඉහත ප්‍රකාශයට අනුව අග්නි පුරාණයේ සඳහන් වාස්තු විද්‍යා ගුරුකුළ දහඅට මෙසේ දැක්විය හැකි ය.

  1. භෘගු
  2. අත්‍රී
  3. වසිෂ්ට
  4. විශ්වකර්ම
  5. මය
  6. නාරද
  7. නග්නජිත්
  8. විශාලාක්ෂ
  9. පුරන්දර
  10. බ්‍රහ්ම
  11. කුමාර
  12. නන්දිශ
  13. ශෞනක
  14. ගර්ග
  15. වාසුදේව
  16. අනිරුද්ධ
  17. ශුක්‍ර
  18. බෘහස්පති

මේ අනුව ඉහත කී ගුරුකුළ දහඅටෙන් අපට දායාදකළ වාස්තු විද්‍යා නිර්දේශයන් දැන් අප හැදැරීමට බලාපොරොත්තු වෙමු.

නිවසක් ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වන අයෙකු විසින් මූලිකවම පිළිපැදිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිවෙලින් පහතින් දක්වමු.

  1. නිවසක් ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වන ඔබ උගත් දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු ලවා තත්කාල ශාස්ත්‍රයක් තුලින් නිවස ගොඩ නැගීමට යෝජිත ඉඩමේ ශුභ අශුභ බලවා ගත යුතු ය.
  2. තම උපන් ජන්ම පත්‍රයට අනුව නිවසක් තැනීමට අදාල සුදුසු කාලය තෝරා ගැනීම.
  3. නිවස ගොඩ නැගීමට බලාපොරොත්තු වන ඉඩමට වාස්තු විද්‍යාඥයා ගෙන්වා නිවස තැනීමට සුදුසු තැන පාද බෙදා සලකුණු කොට ගැනීම.
  4. ශුභ නැකතක් විචාලා එහි ඇති ගස් ආදිය කපා භුමිය ශුද්ධ පවිත්‍ර කර ගැනීම.
  5. වාස්තු විද්‍යාඥයෙකු ලවා ගොඩනැගීමට යෝජිත නිවසේ දිග පළල වර්ග කරවා වාස්තු විද්‍යාවට අදාලව ප්ලෑනක් අන්දවා ගැනීම.
  6. ශුභ නැකතක් විචාලා ගෙපැල් කැපීම.
  7. ශුභ නැකතකට ලනු ඇද ගැනීම.
  8. ශුභ නැකතකට අදාලව අත්තිවාරම් කැපීම.
  9. ශුභ නැකතකට අදාලව මුළු ගල් තැබීම.
  10. ශුභ නැකතකට අදාලව අත්තිවාරම් බැ‍‍‍‍‍ඳීම.
  11. ශුභ නැකතකට අදාලව බිත්ති බැ‍‍‍‍‍ඳීම.
  12. ප්ලෑන අ ඳින විටම වාස්තු විද්‍යානුකූලව නිවැරදි ස්ථානයන් හි දොර ජනෙල් සටහන් කරවා ගැනීම.
  13. ශුභ නැකතකට අදාලව දොර උළුවහු තබා උළුවහු පැනීම.
  14. ශුභ නැකතක් විචාල ඒ අනුව යට ලී තබා වහලය ගැසීම.
  15. ශුභ නැකතකට වහලය සෙවිලි කිරීම ආරම්භ කිරීම.
  16. සුදුසු ශුභ නැකතක් විචාලා දොර පියන් හා ජනේල සවි කිරීම.
  17. ශුභ නැකතකට අදාලව සුණු පිරියම් කිරීම.
  18. ශුභ නැකතකට සුදුසු ශුභ තැනක් බලවා ලිප් බැඳීම.
  19. සුදුසු දිශාව හා වාස්තු දෝෂ ඉවත්කරගෙන සුදුසු තැනක් බලා ලිං කැපීම.
  20. ශුභ නැකතකට ගෙවදීම.
  21. ශුභ නැකතකට අදාලව ලිප ගිනි දල්වා කිරි ඉතිර වීම.
  22. ශුභ නැකතකට අදාලව ගේ තුල ආහාර අනුභව කර ගේ ඉදුල් කිරීම.

ඉහත කී කරුනු 22 ගේ හිමියාගේ නැකතට ශුභ වන ලෙසින් සකසා නිවාස කටයුතු කරවා ගැනීම වාස්තු විද්‍යාවට අදාල වනු ඇත.

ගෘහ කටයුතු ආරම්භ කිරීමට නුසුදුසු යයි වාස්තු විද්‍යානූකූලව අනුමත කර ඇති ඉඩම්

  1. සොහොන් බිම්
  2. හුඹස් ඇති බිම්.
  3. හෙණ වැදුන ගස් ඇති බිම්.
  4. නිතර දිය සීරාව ඇති බිම්.
  5. ගල් කැඩීමට ගල් වෙඩි දමන බිම්
  6. නිතර මඩ සහිත වු වලවල් සහ අගල් සහිත බිම්.
  7. නාය යෑමෙන් පස්, කඳු ආදිය කඩා වැටෙන බිම්.
  8. ස්ථිර සාධක සහිතව අණවින කොඩිවින ආදිය කල බිම්.
  9. ස්ථිර දියුණුවක් නැතිව කලක් වාසය කල බවට සාධක ඇති බිම්.
  10. ආරවුල් නඩු හබ, අකල් මරණ වලට ගොදුරු වු අය සිටින, රෝග පීඩා වලට ගොදුරු වූ අය සිටි බිම්.
  11. බුද්ධ, සංඝ සහ දේව සන්තක කරන ලද බිම්.
  12. ගම් දෙකක් බෙදෙන මායිමකට මැදි වී ඇති බිම්.
  13. යක්ෂ, ප්‍රේත ආදී දෝෂ ඇතැයි සාධක සහිතව ඇති බිම්.
  14. වරින් වර ජල ගැලීම් වලට හසුවී ජලයෙන් යටවන බිම්.
  15. නිතර නාගයන් ගැවසෙන බිම්.
  16. තුංමංසලකට මැදි වු බිම්.
  17. සතුන් මරා මස්කල ස්ථානයක් පැවැත්වු බිම්.
  18. වැඩිපුර තිරුවාණ ගල් ඇති බිම්.
  19. තනි ලොකු කළු ගලක් ඇති බිම්.
  20. බෙන සහිත ගස් ඇති බිම්.
  21. පරණ පතල් වලවල් හෝ ලිං හෝ වැසිකිළි වලවල් ගොඩකල බිම්.
  22. නිතර වාහන අනතුරු සිදුවන ස්ථාන අසල ඇති බිම්.
  23. ගින්නෙන් විනාශ වි ගිය ගෙයක් තිබුණ බිම්.
  24. මීනි මරාගෙන වැටි සිටි බිම්.
  25. ගවයන් බැඳ තැබු විට බාන කඩාගෙන යන බිම්.
  26. නිතර සොරුන්ගෙන් පාඩු සිදුවන ඉඩම්
  27. ඇලක, දොළක, දිය ඇල්ලක වතුර ගලා යන හඬ ඇසෙන මානයේ ඇති බිම්.
  28. තනි කළු පාට පස් පමණක් ඇති බිම්.
  29. තමාට වඩා පහත් කුලයක අය පදිංචි ඉඩමට යාව ඇති බිම්.
  30. තමාට වඩා උසස් කුලයක අය පදිංචි ඉඩමට යාව ඇති බිම්.
  31. කණෙක්, කොරෙක්. බිහිරෙක් ගොළුවෙක් හෝ හොරෙක් මෙන්ම රජෙක් ඇමති කෙනෙක් මෙන්ම ප්‍රසිද්ධ පුදුගලයෙක් පදිංචිව ඇති නිවසකට යාබදව ඇති බිම්.
  32. විහාර, දේවාල, බෝගස් හෝ සොහොන් කොත් වලට යාබදව ඇති බිම්.
  33. උතුරට හෝ බටහිරට දිය බැස්ම සහිත බිම්.
  34. ඇළකට හෝ පාළමකට උතුරු පැත්තෙන් යාබදව ඇති බිම්.

ඉහත කී කරුණු කාරණාවලට යටත් වු බිමක ගෘහයක් තනා වාසයට ගියහොත් දියුණවක් ඇති නොවන බව ද, මාරක අපල ආදී දුක් කරදර වලට ගොදුරු වීමට සිදුවන බවද වාස්තු විද්‍යාවේ සඳහන් වී ඇත.

අරළු ප්‍රමාණයේ ගල් කැට ඇති රංවන් පාට පස් සහිත උදු පියලිය, ඊතණ, බුරුත, අන්දර, දෙමට, පාවට්ටා, සැවැන්දරා සහ සූරිය යන ගස් වැවී ඇති ඉඩම් ගෘහයන් තැනීම සඳහා ඉතා ශුභ දායක වනු ඇත.

ගෙබිම් පරීක්ෂාවකට අදාල ව ප්‍රශ්ණ කරන දිනයට අදාල පළවිපාක

පරීක්ෂාවට ප්‍රශ්ණ කලේ ඉරිදා දිනයක නම්

උස් පහත් භේධයකින් තොරව වාසය කළ හැකි සැමට ශුභ දායක වු ඉඩමකි. දේව පාදයට හිමි වනු ඇත. භූමිය කිරි ඉබ්බෙකුගේ හැඩය සහිත ඉබ්බාපිට භූමිය  යි. කළු පැහැති සහ රංවන් පැහැයෙන් යුතු පස් දැකිය හැකි ය. මෙම භූමියේ මීට පෙර ගෙපැලක් කපා නිවසක් තැනීමට කටයුතු කර ඇත. දකුණු දිශාවේ කිරි ගසක් පැවතිය හැකි ය. බටහිර පැත්තේ හෝ නැගෙනහිර දිශාවේ ලිදක් හෝ වෙලක් හෝ දියපහරක් පැවතිය හැකි ය. මෙහි භූමියේ සාදන ලද ගෘහයට බටහිර දිශාවෙන් දොරක් තැබීමට සිදුවනු ඇත. සාදන ලද ගෘහයේ පදිංචි අයට රජයේ රැකියා ලැබෙන අතර ගෘහ මූලිකයාට පුතුන් දෙදෙනෙක්ද ලැබීමට හේතුයි. පදිංචියට ශුභ දායක වන අතර ගෘහ මූලිකයාගේ භාර්්‍යාවට අක්ෂි ආබාධ වැළදීමට හේතු යි.

පරීක්ෂාවට ප්‍රශ්ණ කලේ සඳුදා දිනයක නම්

උසස් කුළවල උදවියට වාසය සඳහා සුදුසු ඉඩමකි. මනුෂ්‍ය පාදයට හිමි වනු ඇත. භූමියේ හැඩය ගෝනුසසෙකුගේ පිටේ හැඩය ගනු ඇති ගෝනුසු පිට භූමියකි. කුඩු කල හැකි රංවන් පාටින් යුතු පස් භූමිය තුල දැකිය හැකිය. නැගෙනහිර දිශාව තුල කලින් සෑදූ නිවසක් තිබිය හැකි ය. ඉඩමේ උතුරු දිශාවේ දිය උල්පත් සහිත ය. ඉඩමේ උතුරු දිශාවේ හෝ වම් දිශාවේ කිරි ගසක් තිබිය හැකි ය. මෙම ඉඩමට අභිමුඛවන පරිදි ඉදිරිපසින් තවත් නිවසක් තිබිය හැක. එම නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරියේ පැඟිරි ගසක් ද තිබිය හැකි ය.  ඉඩමට යාබද එක් ස්ථානයක් මඩ සිත ස්ථානයක් වනු ඇත. එම ඉඩම ඇති දිශාව වෙත යොමුවන දිය පහරක් හෝ ඇළක් තිබිය හැක. එහි පාළමක් හෝ ඒදණ්ඩක් ද තිබෙන්නට පුළුවන. මෙම ඉඩම පදිංචියට ඉතා සුදුසු වන අතර මෙම ඉඩමේ පදිංචි වන අයට දරු ලාභද  කරන කියන කටුයුතු දියුණුවට පත් වීම ද  සිදුවනු ඇත. ඉඩමේ දකුණු පස ප්‍රදේශය එළිමහන් සහිත වන අතර අවට පරිසරය ඉතා ශාන්ත වනු ඇත. පදිංචි වන අයගේ මවට ඉතා යහපත් වන අතර මෙම ඉඩමේ සාදන නිවසේ මුදුන් බිත්තියේ දොරක් තිබෙන්නට පුළුවන.  මෙම ඉඩම තුල ඉදිකරන ලද නිවසේ පදිංචිවන අඹු සැමි දෙදෙනාගෙන් කෙනෙකුට වෙනත් අනියම් ප්‍රේම සබඳතාවක් ද තිබෙනු ඇත. එමෙන්ම ගෘහ හිමියාගේ භාර්යාවගේ ඉක්මණින් දත් වැටෙන දෝෂයක් පැන නගිනු ඇත. මෙම ඉඩම තුල පදිංචිවන්නන්ට වසර හතලිහක් ඉදිරියට දියුණුව උදාවනු ඇත.

පරීක්ෂාවට ප්‍රශ්ණ කලේ අඟහරුවාදා දිනයක නම්

පදිංචියට එතරම් සුදුසු නැති වදුල් සහිත වු වියලී ගිය නිසරු ඉඩමකි. බ්‍රහ්ම පාදයට හිමිකම් කියන නාගපිටක හැඩය ගන්නා නාග පෘෂ්ඨ භූමියකි. තිත්ත රසයෙන් යුත් පස් ඇති දිය උල්පත් රහිත භූමියකි. මෙම ඉඩමේ නිවසක් පවතී නම් එම නිවසේ එක බිත්ති මුල්ලක දොරක්ද, නිරිත දිශාවට යොමු වූ දොරක්ද, එක් දොරක් ඉදිරියේ පැඟිරි ගසක් ද තිබිය හැකි ය. පදිංචිය සඳහා එතරම් සුදුසු නැති පදිංචි වූවන්ට නිතර අවුල් වියවුල් පැනනගින නිතර වින දෝෂ සහ රෝග ආබාධ මතුවන  ඉඩමකි. මෙම ඉඩමේ පදිංචි වූ අයට දරුවන් තිදෙනෙකු සිටිය හැකි අතර එක් දරුවෙකු නිරිත දිශාවට යාමට ද හේතු යි. එමෙන්ම ගෘහ මූලිකයාට ඇදයක් සහිත දත් පවතින අතර භාර්යාවට පළලින් යුතු නලල්තලයක් හිමි ය. එමෙන්ම ඉඩමේ නිරිත දිශාවට වැසි දිනවලදී අකුණු පතිත වන බවක් ද දැකිය හැකි ය.

පරීක්ෂාවට ප්‍රශ්ණ කලේ බදාදා දිනයක නම්

පදිංචියට ඉතා ශුභදායක ඉඩමකි. මනුෂ්‍ය පාදයට හිමි ඉඩමකි. ලේඛකයන්ට සහ වාහන හිමියන්ට පදිංචිය සඳහා ඉතා සුදුසු ය. කිරි ඉබ්බෙකුගේ පිටේ හැඩය ගත් කිරි ඉබ්බා පිට භූමියකි. මෙම භූමියේ පස් මිහිරි රසයෙන් යුක්ත ය. ගෘහ හිමියාට දරුවන් කිහිපදෙනෙකු සිටින අතර එක් දරුවෙකු ඊසානය දිශාවට ද, තවත් දරුවන් දෙදෙනෙක් අවශ්‍යතා සඳහා නිතර නිවසින් පිට ද සිටිනු ඇත. ඉඩමේ දකුණු දිශාවේ හෝ බටහිර දිශාවේ පැඟිරි ගසක් තිබිය හැක. ඉඩමට පෙනෙන මානයේ ක්‍රීඩා පිටියක්ද පවතින අතර ගෘහ මූලිකයාගේ බඩේ කැළළක් ද, ගෘහනියට කුඩා පියයුරු හෝ එක් පියයුරක් කුඩා වීම ද. දැකිය හැකි ය. මෙම ඉඩමට පිවිසීම සඳහා මාර්ග තුනක් තිබිය හැකි ය. පදිංචි වූ පසු වර්ෂ 40 ක් ඉදිරියට දියුණුව ද ඇතිවන අතර ඉඩම දිශාවට හෝ එම ඉඩමේ පිහිටි නිවස දෙසට නැමුණු කිරි ගසක් ද තිබිය හැකි ය. මෙම ඉඩමේ බටහිර දිශාවේ සශ්‍රීක බව හෝ ගස්වැල් ආදිය හෝ අඩු බවක් දර්ශණය කල හැකි ය.

පරීක්ෂාවට ලක් කළේ බ්‍රහස්පතින්දා දිනයක නම්

පදිංචියට ඉතා සුබ වාසනාවන්ත භූමියකි.  මනුෂ්‍ය පාදයට හිමි කිරි ඉබ්බා පිට භූමියකි. මෙම භූමියේ පස් මිහිරි රසයෙන් යුක්තයි. මෙම භූමියේ පදිංචි වන අයට වසර අසූවක් ඉදිරියට දියුණුව හිමිවන බව සඳහන් වෙයි.  මෙම භූමියේ පදිංචි වන්නන්ට මැති ඇමතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් හා පැවිදි අයගෙන් උපකාර ලැබීමටද හේතුයි.මෙම භූමියේ පදිංචි වන්නන්ට තමාට රිසි පරිදි පින්දහම් කටයුතු කර ගැනීමේ වාසනාවද හිමිවනු ඇත. ගුරුවරුන්, වෛද්‍යවරුන්, පැවිද්දන්,  ජ්‍යොතිෂවේදීන් බිහිකරන පදිංචියට සුදුසු වටිනා බිමකි. මෙම ඉඩමට පිවිසීම සඳහා ප්‍රධාන මාර4 කි. මෙම භූමියේ සාදන ලද නිවසේ අප්‍රසිද්ධ ඇතුල් ගෙයක්ද තිබිය හැකිය. මෙම භූමියේ පදිංචි වන ගෙහිමියා රතු මධ්‍යම තරමේ උස මහත ඇති කෙනෙකි. ඒ වාගේම ගෘහ හිමියාට දරුවන් පස් දෙනෙක් සිටිය හැකි අතර එයින් පුතුන් වැඩි විය හැකිය. එයින් එක් පුත්රුවනක් වයඹ ප්‍රදේශයේ වැඩ කටයුතුවල නියැලිය හැකිය. මෙම ඉඩමට නැගෙනහිර දිසාවේ පාළු ඉඩමක් තිබිය හැකිය. දකුණු දෙස කිරි ගසක්ද, වමට හෝ උතුරට පැඟිරි ගසක්ද, නැඟණු දිසාවේ දිය සහිත බවක් ද, අපට දැකිය හැකිය. එමෙන්ම ඉඩම ඉදිරි ඉදිරිපිට එලිමහන් භූමියක් සහිතයි.

පරීක්ෂාවට ලක් කළේ සිකුරාදා දිනයක නම්

මෙම ඉඩම පදිංචියට ඉතා සුබ වාසනාවන්ත භූමියකි නුෂ්‍ය පාදයට හිමිකම් කියන අතර සුදු එළදෙන පිට භූමියකි. මෙම භූමියේ පස් පිටි රසයෙන් යුක්තයි.  සමහර ස්ථානවල පස් ඇඹුල් රසයෙන් ද යුක්ත විය හැකිය.  මෙම භූමියේ පදිංචි වන දරුවන් දෙදෙනෙක් දියුණුවට පත්වීමට හේතුවන අතර ගෘහ මූලිකයාගේ භාර්යාවට හා සහෝදරයන්ට සැප ලැබීමටද හේතුයි. මෙම භූමියට පිවිසීම සඳහා  පිවිසුම් මාර්ග දෙකක් තිබිය හැකිය.  ඉඩම ළඟම තවත් ගෙවල් තුනක් තිබිය හැක.  ඉඩමේ දකුණු දිශාව දිය සහිතයි. ඉඩමේ පදිංචි අයෙකුට අක්ෂි ආබාධ පැවතිය හැකියි. ඉඩමේ දකුණු දිශාවේ පැඟිරි ගසක්ද, නැගෙනහිර පැත්තේ අලුත සාදන ලද ගෙබිමක් ද තිබිය හැකිය. මෙම ඉඩමේ පදිංචි එක් දරුවෙක් නිරිත දිශාවට යාමට හේතුවෙයි.

පරීක්ෂාවට ලක් කර සෙනසුරාදා දිනයක නම්

මෙම ඉඩම පදිංචියට නුසුදුසු අවාසනාවන්ත ඉඩමකි. මෙම ඉඩමේ බටහිර පැත්ත ප්‍රේත පාදයට අයිති වෙයි. අශ්ව පිට භූමියකි. එමෙන්ම භූමියේ තැනින් තැන වලගොඩ සෑදී ඇති අතර සෝදාපාළුවට ලක් වීමට ඉඩ ඇති ඉඩමකි. ඉඩමේ බටහිර දිසාවේ ගස්කොලන් සහිතයි. මෙම භූමියේ පස් තිත්ත රසයෙන් යුක්ත වන අතර මෙහි පදිංචි වන අයගේ ධනය, සතුට, පැවැත්ම ස්ථිර නැත. ඵලදාව අඩු ඉඩමකි. මෙම භූමියේ පදිංචි වැඩිහිටියන්ට නිතර අසනීප සෑදීමට හේතුයි. ඉඩමේ නැගෙනහිර පැත්ත විසම විය හැකි අතර එක් පැත්තක්, අනික් පැත්තට වඩා පහත් වීමට ද හේතුයි. තැනින් තැන වළගොඩැලි සහිත ඉඩමකි.

ගෙබිම් පරීක්ෂාවකට අදාල ව ප්‍රශ්ණ කරන දිනය තුල උදාවූ තත්කාලීන ලග්න රාශියට  අදාල පළවිපාක

පරීක්ෂාවට ප්‍රශ්ණ කලේ මේෂ ලග්නය උදා වූ වේලාවක නම්

උසස් කුළවලට අයට වාසයකිරීම සඳහා සුදුසු වූ මනුෂ්‍යය පාදයට අයත් සිංහ පිට භූමියකි. මිශ්‍ර වර්ණයෙන් යුත් පස් ඇති අතර එම පස් කිරි රසයෙන් යුක්ත වනු ඇත. මෙම භූමියේ ගෙපැලකට පස් කලා ඇති අතර නැගෙනහිර දිශාවේ කිරි ගසක් තිබිය හැක. මෙම භූමියේ වාසය කරන්නන්ගේ වාසය ස්ථිර නැති අතර වාසය කරන අය උසස් අය සමගද වැඩිහිටියන් සමගද මත ගැටුම් ඇතිකර ගැනීමට හේතු යි. වාසය කරන අයගේ රැකියා කටයුතු උදෙසා ගැටළු මතුවන අතර නිතර කරදර විපත් මතු වීමට හේතු යි. මෙම භූමියේ පදිංචිවන අයගේ දරුවන්ට ද අපල ගෙන දෙන අතර ඔවුනට මෙම භූමියේ දේශගුණය ඔරොත්තු නොදෙනු ඇත. මෙම පරීක්ෂාවට ලක්කරන භූමිය දැනට පදිංචි භූමිය නම් එම නිවස ඉදිරිපස පෙනෙන මානයේ බල්ලෙක් හෝ හරකෙක් බැඳ සිටිය හැකි ය. නිවසේ ඉදිරිපස දොරටුව ගල් යටකර බැඳ ඇති පඩි පේලියකින් ගොඩවිය යුතු ය. ඉදිරි දොරටුව අභියස රතු පැහැති කොළ හෝ මල් සහිත ගසක් හෝ පළතුරු ගසක් තිබිය හැක. එමෙන්ම එම භූමියේ වැඩ අවසන් නොකෙරුණ අත්තිවාරමක් ද තිබිය හැක.

පරීක්ෂාවට ප්‍රශ්න කළේ වෘෂභ ලග්නය උදා වූ වෙලාවක නම් 

මනුෂ්‍ය පාදයට අයත් වූ වෘෂභ පිට භූමියකි. දේව ගණයට අයිති අයිති ඉඩමක් වන අතර මෙම ඉඩමේ පස් තුන් පාටකින් යුක්තයි. එමෙන්ම මෙම භූමියේ පස් පිටි රසයෙන් යුක්ත අතර මෙම ඉඩමේ පදිංචි වූවන්ට අවුරුදු හතළිහකට වඩා දියුණුව ගෙනදෙන භූමියකි. ගවයන් ආදී සතුන්ට ලැගීමට ඉතා සුදුසු, පදිංචි වූවන්ට වාහන සම්පත්, සත්ත්ව සම්පත්, උපදවන භූමියකි. එමෙන්ම මිනිස් වාසයට සුදුසු දිය සහිත භූමියකි. මෙම ඉඩමේ පදිංචි වූවන්ට රාජ කරුණාව ලැබෙන අතර මිත්‍ර උපකාර ද ලැබීමට හේතුයි. ඒවාගේම පදිංචි වූවන් ගේ දියුණුව ස්ථිර වෙයි. සාදන නිවස අලංකාර බවින් යුක්ත වන අතර විශේෂයෙන්ම මේ ඉඩමේ පදිංචි ගෘහමූලිකයාට සුබදායක ඉඩමකි. ගෘහමූලිකයාගේ භාර්යාව සැර පරුෂ බවින් යුක්තයි. උසස් කුලයේ අයට පදිංචියට සුදුසු වටිනා ඉඩමකි. මෙම ඉඩමේ කුඩා කිරි ගසක්ද පැවතිය හැකි අතර ඉඩමේ පවතින ගස් වල පලදාව වැඩිය. තරමක් කැලෑව සහිතයි. මේ ඉඩමේ දකුණු ප්‍රදේශයේ කටු ගසක්ද, උතුරු ප්‍රදේශයේ කටුගස් ද, පවතින අතර ඉඩමේ උතුරු පැත්ත තරමක් වියළි බවින් යුක්තයි. ඉඩමේ බටහිර පැත්තේ තුඹසක් තිබිය හැකි අතර ඉඩමේ දකුණු දිසාවේ දිය පහරකට යන අඩිපාරක් තිබිය හැකිය. එමෙන්ම මෙම ඉඩමේ ගසක් ළඟ බිම ගල් අතුරා තිබිය හැකිය.

පරීක්ෂාවට ප්‍රශ්න කළේ මිථුන ලග්නය උදා වූ වෙලාවක නම්

මෙම ඉඩමේ පස් කිරි රසයෙන් හා පිටි රසයෙන් යුක්තයි. ඉඩමේ එක පැත්තක් ප්‍රේත පාදයට හසු වනු ඇත. ඉඩමේ මායිම් හරි කෙලින් නොපවතින අතර පට්ටම් හෝ රවුම් සහිත මායිම් සහිත ය. හස්ති පිට භූමියකි. වාසයට සුදුසු භූමියක් වන අතර මෙම ඉඩමේ පදිංචි ස්වාමියාට හෝ භාර්යාවට විවාහ දෙකක් පැවතිය හැකිය. පදිංචි වූවන්ට ස්වකීය රැකියාවන් සඳහා සුබදායක ය. මෙම ඉඩමේ බිම මට්ටම් නැත. තැන තැන වල ගොඩැලි සහිතය. ගස් කොළන් සහිත භූමියකි. මෙම භූමියේ එක පැත්තක පස් සුදු පාටට හුරු ය. ඉඩමේ නැගෙනහිර කෙළවර වේලි සහිතයි. ඉඩමේ දකුණු පැත්තේ ගල් සහිත බිමක් පවතී. එමෙන්ම ඉඩමේ නැගෙනහිර පැත්තේ පැඟිරි ගසක් ද පැවතිය හැකි ය. මෙහි පදිංචි වූ අයට තවත් ඉඩමක් සම්බන්ධයෙන් ආරවුලක් මතුවීමට හේතුයි. ඉඩම අවට සිටින අය දුෂ්ට ගති වලින් යුක්ත නපුරු පුද්ගලයන් විය හැකිය. මෙම භූමියේ පදිංචි වූවන් ගේ ධන සම්පත නිතර ඉහළ පහළ යන බවක් පෙන්නුම් කරයි. මෙම ඉඩමේ පදිංචි වූවන්ට මෙහෙකරුවන්ගේ හා ස්ත්‍රීන්ගේ උත්සාහය නිසා වැඩ කටයුතු සඵල කෙරෙන බවක් දැකිය හැකිය. මෙම ඉඩමේ පදිංචි වූවන්ට වරින් වර අසනීප සෑදීමට ඉඩ ඇත. එමෙන්ම මෙම ඉඩමේ පදිංචි වූවන්ට පවුලේ ළඟම ලේ ඥාතියෙකුට අන්‍යය ආගමික කුල ආගම් මිශ්‍රණයක් ද සහිත විවාහයක් පවතී. ඉඩමේ නැගෙනහිර පැත්තේ ළමා ක්‍රීඩාපිටියක් ද, ඉඩමට උතුරෙන් රෝහලක් ද, ඉඩමට දකුණු පැත්තෙන් දිය සහිත බවක් ද, දැකිය හැකිය. මෙම ඉඩමේ එක පැත්තක කඩා වැටුනු හෝ කපා දැමූ පස් හෝ ගල් ගොඩක් ඇත. ඉඩමේ එක් පැත්තක මඩුවක් ද තිබිය හැකියි.

පරීක්ෂාවට ප්‍රශ්න කළේ කටක ලග්නය උදා වූ වෙලාවක නම්

මෙම ඉඩම බ්‍රහ්ම පාදයට හිමිකම් කියයි. නමුත් මෙම ඉඩමේ බටහිර පෙදෙස ප්‍රේත පාදයට අයිතිය. අසුපිට භූමියකි. මෙම භූමියේ පස් තිත්ත රසයෙන් යුක්ත අතර පදිංචි වූවන්ට අවුරුදු 50 ක කාලයක් සාර්ථකත්වය හා දියුණුව ගෙනදෙනු ඇත. සෑම කුළයකම අයිති අයට පදිංචියට සුදුසු රාජ කරුණාව ලැබෙන ඉඩමකි. මෙම ඉඩමේ පදිංචි වූවන්ට උගතුන්ගෙන් ද, පිට පලාත් වල වෙසෙන්නන්ගෙන්ද, මිත්‍රයන්ගෙන් ද ලාභ ලැබීමට හේතුයි. මෙම ඉඩමේ පදිංචි වූවන්ට,  අසල්වැසියන් ඊර්ෂ්‍යා කරන බැවින් සිහි නුවණින් යුතුව කටයුතු කළ යුතු, වාසය කළ යුතු ඉඩමකි. මෙම ඉඩමට පිවිසීම සඳහා උතුරෙන් හා දකුණෙන් පාරක් තිබිය හැකියි. ඉඩමේ දකුණු පැත්තේ වෙළඳසැලක් ද තිබිය හැකි අතර ඉඩමේ දකුණු ප්‍රදේශය තණපිඩලි සහිතයි. බටහිර පැත්තේ සොහොන් කොතක් තිබිය හැකි අතර වයඹ දිසාවේ කුඩා දුඹුරු පහැති පස් ද, මල් ගස් ද, තිරිවානා ගල් ද, පවතී. ඉඩමේ පැත්තක් උස්වන අතර බටහිර පැත්තේ දිය පහරකි. ඉඩමේ දකුණු පැත්තේ පඳුරු සහිත ගස් පවතින අතර කුඩා ගල් ද පැවතිය හැකි ය. ඉඩමේ ගිණිකොණ දිශාවේ වැසිකිළියක් හෝ කසල ගොඩක් තිබිය හැකි ය. ඉඩමේ පදිංචි වූවන්ට ආහාර පිටතින් සොයා ගෙන ආ යුතු අතර මෙම ඉඩමේ පදිංචි වූවන්ට රාජ කරුණාව ලැබෙන අතරම කරන කියන කටයුතු සඵල භාවයට පත්වන ඉඩමකි. ගෘහ මූලිකයා සමාන්‍යය රැකියාවක නියැලේ. ඉඩමේ පදිංචි වූවන්ගේ දියුණුව නිතර ඉහළ පහළ යන අතර නිවස අලංකාර කිරීමට අලංකාර බඩු බාහිරාදිය ලැබීමටද හේතුයි. දරුවන්ගේ දියුණුව මධ්‍යම තත්ත්වය පවතින අතර ගෘහ මූලිකයා, ස්වකීය භාර්යාව හා සමග පවතින සම්බන්ධය අඩුවීමට හේතු ය. මෙම ඉඩමේ පදිංචි වූවන් ධාර්මික අය වනු ඇත. ඉඩමේ තැනින් තැන වළගොඩැලි සහිත අතර ඉඩමේ නැගෙනහිර හා උතුරු පැත්ත දිය සහිතය. ඉඩමේ ඊසාන පැත්තේ වරින්වර කොළ හැලෙන,  දිග කොළ සහිත ගස් පැවතිය හැකියි. උරුමයකට හෝ පෙර පිණකට ලැබුණ ඉඩමකි.

පරීක්ෂාවට ලක් කළේ සිංහ ලග්නය උදා වූ වෙලාවක නම්

මෙම ඉඩමේ පස් පැණි රසයට හුරු අතර ඉඩමේ බටහිර පැත්ත ප්‍රේත පාදයට අයත් ය. පද්ම භූමියක් වන අතර මෙය මීයා පිට භූමියකි. මෙම ඉඩමේ පස් වැඩි හරියක් තඹ පාටින් යුක්ත වන අතර මෙම භූමියේ පස් පැණි රසයෙන් යුක්ත ය. මෙහි පදිංචි වූවන්ට වසර හැටක් පමණ කාලයක් දියුණුව උදාකර දෙන අතර ස්ත්‍රීන්ගෙන් හා කම්කරුවන්ගෙන් ලාභ ලැබෙන ඉඩමකි. මෙම ඉඩමට යාව ඉඩමක තද ඉරිසියාකාර ස්ත්‍රියක් සිටිය හැකිය. එමෙන්ම මෙම ඉඩමේ පදිංචි වූවන් ගේ දරුවන්ට ඉතා සුබදායක වන අතර ගෘහ හිමියා සහ බිරිඳ අතර ගැලපීම තරමක් අඩු වීමට හේතු ය. මෙහි පදිංචි ස්වාමිපුරුෂයා දැඩි හිතුවක්කාර අයෙකි. මෙහි පදිංචි වූ අයට අලංකාර වැඩවලින් ආර්ථික දියුණුව ඇතිවීමට හේතු යි. ඉඩමේ බටහිර පැත්තේ කර්මාන්තකරුවන් නිතර ගැවසෙන ප්‍රදේශයකි. ඉඩමේ දකුණු පැත්තේ ගවයන් සැරිසරමින් සිටින අතර ඉඩමේ නැගෙනහිර පැත්ත කටු අකුල් සහිතය. එමෙන්ම මෙම ඉඩම තරමක් කලෑව සහිත වන අතර කුඩා විෂ සහිත සතුන් ද, කුහුඹුවන් වැනි සතුන් ද, සිටින භූමියකි ඉඩමේ එක පැත්තක ගල් කැට සහිත අතර දකුණේ කටුගස් පැවතිය හැකිය. එක පැත්තක ගස්කොළන් අඩුය. එක පැත්තක ගල්කැට ගොඩක් ගොඩ කර තිබිය හැකිය. උසස් කුලවල පදිංචිවන්නට ඉතා හොඳ ඉඩමකි. මෙම ඉඩම තුළ නොයෙක් ගස්වර්ග පවතී. පදිංචි වූවන්ට බඩුබාහිර ආදිය ද ලැබීමට හේතුයි. මෙම ඉඩමේ පැත්තක් වළගොඩැලි සහිත අතර ඉඩමේ එක පැත්ත තිබිය හැකිය. ඉඩමේ දකුණු ප්‍රදේශය එළිමහන් සහිතය. එම දකුණු ප්‍රදේශයේ ම කිරි ගසක්ද පැවැති හැකි අතර ඉඩම තරමක් කැලෑ සහිත ය.

පරීක්ෂාවට ලක් කලේ කන්‍යා ලග්නය උදා වූ වෙලාවක නම්

වසර 10ක් ඉදිරියට දියුණුව ගෙන දෙන පදිංචි වූවන්ට සමාන්‍යය වාසනාව ගෙන දෙන භූමියකි. මෙම භූමියේ පස් තිත්ත රසයෙන් යුක්ත අතර ගජ හෙවත් හස්ථි භූමියකි. ඒ වාගේම නාග පිට භූමියකි. උසස් කුළවල අයට පදිංචියට සුදුසු ඉඩමකි.සාමාන්‍ය වාසනාව ගෙනදෙන භූමියකි.මෙම භූමියේ යට දිය උල්පත් පවතී. එම ඉඩමේ සහ අසළ ඉඩමක සැරිසරණ නාගයෙක් සිටිය හැක. පිටස්තර අය ජලය ගෙන යාමට එන අඩි පාරක් පැත්තකින් පිහිටිය හැකි අතරම පිටින් ගෙන ආ ගල් ගොඩක්ද ඉඩමේ තිබිය හැකි අතර පළමුව සහ පසුව සෑදූ ගෙවල් දෙකක් පැවතීමට ඉඩ ඇත භූමිය සමතලා අතර වටේ ටිකක් පහත් ඒවගේම මැද්දෙන් උස් භූමියකි. ඉඩමේ තැනින් තැන ඉවුරු සෑදී පවතී. නැඟෙනහිර පැත්තෙ ගෙයක් ඇති අතර දකුණේ මල් ගසක් සහ ලමා උද්‍යානයක් තිබිය හැකි ය. ඊසාන දිශාවේ ගෙඩි සහිත ගහක් ද, දකුණු පැත්තේ තුඹසක් ද, පවතින අතර නිතර ආශ්‍රය පිරිස් ලැබෙන අන්‍ය කුලයක හෝ අන්‍ය ආගමික පවුලක් අසල සිටින ඉඩමක් වෙයි. ඉඩමේ පදිංචි හිමිකරුට ඉඩම් දෙකක් තිබිය හැකි අතර එම ඉඩමේ හිමිකරුගේ දුවරු හිතුවක්කාර විමට ඉඩ ඇත. පවුලේ කෙනෙකුට තද වාතාබාධ ද සෑදිය හැකි අතර ගෘහ මූලිකයාට විවාහ දෙකක් සිදු වීමට ඉඩ ඇත. එමෙන්ම ඔහුට රැකියාවල් දෙකක්ද කිරීමේ වාසනාව ඇත. විවාහයෙන් පසු දියුණුව ඇති කරවන පිහිටීම් පවතින අතර ස්ත්‍රීන් ගෙන් ආධාර උපකාර ලැබීමටද හේතු පවතී. එමෙන්ම මෙහි පදිංචි වූ වන්ට නඩුවකින් ජය අත් වීමටද හේතු ඇතිවෙයි. අසල්වැසියන් හා සහෝදරයන් ඉඩමේ පදාංචිකරුට විරුද්ධ වන ආකාරයේ වැඩ කරන්නට යෙදෙන බව පෙනෙන්නට ඇත.

පරීක්ෂාවට ලක් කළේ තුලා ලග්නය උදා වූ වෙලාවක නම්

මනුෂ්‍ය පාදය ට හිමි දියුණුව අඩු ඉඩමකි. පස් කහට රසයෙන් යුක්තයි. මෙම භූමියේ පදිංචි වූ වැඩිහිටියන්ට ආයුෂ අඩු ය. පදිංචි වූවන්ට ප්‍රේත දෝෂ පවතින අතරම දරුවන්ට ද අපල විපාක ඇතිවීමට හේතු වේ. ගෘහමූලිකයාගේ භාර්යාව තරමක් නපුරු වන අතර ගෘහමූලිකයාගේ රැකියාවේ තත්ත්වය නිතර ඉහළ පහළ යාමට හේතු යි. මෙම ඉඩමේ වැඩ කටයුතු කරන කම්කරුවන් වංචා කිරීමට පෙළඹෙන අතර අසල්වැසියන් දෙපොළක් නිතර උදව් උපකාර කිරීමට ද හේතු වේ. ඉඩම අසල දිය අගලක් හෝ කාණුවක් ඇතිඅතර පරන ගෙපලක් ද තිබිය හැකිය. දකුණු පැත්තේ කටු වැටක් තිබිය හැකිය. මෙම ඉඩම තුල පදිංචි වූවන්ට නිතර පාඩු සිදුවන අතර වෙළඳ කටයුතුවලට සාමාන්‍යයෙන් හොඳ භූමියකි. ඉඩමේ නැගෙනහිර හෝ බටහිර පැත්තේ වෙළඳසැලක් තිබිය හැකිය. උතුරු පැත්තේ සොහොන් බිමකි. ඉඩමේ බටහිර හෝ දකුණ අතර තණබිමක් ද තිබිය හැකි අතර දිය අගලක් හෝ වෙල් යායක් ද, තිබිය හැකියි නැගෙනහිර පැත්තේ ලොකු ගසක් හෝ කොළ බහුල ගහක් තිබිය හැකි ය. ගලකින් මතු වන දිය උල්පතක් ද තිබිය හැකි ය. මෙම ඉඩමේ කපන ලිඳකට ගලක් අසුවීමට ඉඩ කඩ පවතී. ඉඩමේ පදිංචි වූවන් අතර ම එම ඉඩමේ සොරකම් කරන කෙනෙක් ද සිටිය හැකි ය. ගල් මිශ්‍රිත පස් සහිත භූමියකි. වියලි භූමියකි ගල් ගොඩක් හෝ පස් ගොඩක් ද තිබිය හැකි අතර කහ සහ නිල් පාට වර්ණයේන් යුතු මල් ගසක් ද තිබිය හැකිය.

පරීක්ෂාවට ලක් කළේ වෘශ්චික ලග්නය උදා වූ වෙලාවක නම්

මෙම ඉඩම උසස් කුලවලට හිමි භූමියකි. ‍බ්‍රහ්ම පාදයට හා මනුෂ්‍ය පාදයට හිමිකම් කියන අතර මෙම ඉඩමේ පස තද දුඹුරු පැහැයෙන් යුක්තයි. පස පිටි රසය සහිත ය.මෙම ඉඩම ගෝනුසු පිට භූමියකි. මෙම ඉඩමේ පදිංචි වූවන්ට අනුන් සතුටු කරවන වැඩකටයුතු ඔස්සේ ධන ලාභ ලැබීමට හේතුයි. පදිංචි වූවන්ගේ ඇවිදීම වැඩිය. අඹුදරුවන්ට සුබදායකය. නමුත් අසල්වැසියන් හොඳ නැති අතර පහත් අයගෙන් ලාබ ලැබීමටද හේතුයි. ඉඩම අසල පරණ ගෙබිමක් පවතී. ගස්වැල් සහිත ඉඩමකි. ඉඩමේ පරණ ගල් බැම්මක් ද තිබිය හැකි අතර උසස් අයගේ වාසය තහවුරු කරනු ඇත. නමුත් පදිංචි වූවන් ගේ දියුණුව ප්‍රමාද වේ. ඉඩමේ බටහිර පැත්තේ තණකොළ වැවෙන අතර කැලෑ සහිත භූමියකි. උතුරු පැත්තේ කර්මාන්තකරුවෙක් සිටිය හැකිය. අසල්වැසියන් නරක නිසා තද පරුෂ ලෙස වාසය කිරීමට සිදුවේ. ඉඩමේ බටහිර උස් හෝ පහත් විය හැකි අතර මිදුල ළඟම පාට දෙකක් සහිත කොළ හෝ මල් ඇති ගහක් පැවතිය හැකිය. තවත් පැත්තකින් මැරියන ගසක් හෝ කටු සහිත ගහක් ද තිබිය හැකි ය. වැටකට අතු සිටුවීම නිසා එයට විරුද්ධව අසල්වැසියන් ගැටලු මතුකර ගැනීමට හේතුයි. ඉඩමේ එක පැත්තක දිය අගලක් ද, පවතින අතර බටහිරට හෝ උතුරට පස් කපා දැමීම නීසා හෑරී යන හෙවත් සෝදාපාළුවට යන ඉඩමක් බව ද, දත යුතුය. ඉඩමේ දකුණු පැත්තේ කිරි ගහක් තිබිය හැකි අතර බටහිර පැත්තේ ගල් සහිත භූමියකි. ඉඩමට සෙවන දෙන ගසක් ද තිබිය හැකිය.

පරීක්ෂාවට ලක් කළේ ධනු ලග්නය උදා වූ වෙලාවක නම්

මෙම ඉඩමේ පස් තුන් පාටකින් යුක්ත අතර තිත්ත රසයෙන් යුක්තයි. මනුෂ්‍ය පාදයට අයිති අතර සිවලා පිට භූමියකි. තිරිවානා ගල් මිශ්‍ර කැබලිති සහිත තඹවන් වර්ණය සහිත පස් බහුලව ඇත. ඉඩමේ නැගෙනහිර පැත්තේ දිය උල්පත් සහිත අතර දික් හැඩයේ බිමකි. වතුර ගලා යාම නිසා ඉඩමේ තැන තැන ඉවුරු සෑදී ඇත. ඉඩමේ ගල්ද සහිත අතර කිරි ගහක් ද තිබිය හැකිය. මෙම ඉඩමේ ඵලදාව අඩු ගස් පවතී.  පැත්තක කුඩා දිය අගලක් ද, ඉඩමට පෙනෙන මානයේ සොහොන් බිමක් හෝ සිද්ධස්ථානයක් ද දැකිය හැකිය. පදිංචි වූවන් ගේ නිවසට බඩුමුට්ටු පහසුවෙන් ලැබෙනු ඇත. අධර්ම ලාභද ලැබෙනවා ඇත. නමුත් අසල්වැසියන් එතරම් යහපත් නැත. ඉඩමේ එක පැත්තක් තද වියලි ගතිය සහිත අතර තවත් පැත්තෙත් තෙත් ගතියෙන් යුක්තය. පදිංචි වූවන් ගේ දරුවෝ තරමක් හිතුවක්කාර ගති ඇති අය ‍වෙති. පවුලෙ කෙනෙකුට විවාහ දෙකක් හෝ එසේ නොමැති වුවහොත් ආගමෙන් හෝ කුලය වෙනස් විවාහයක් සිදුවිය හැකිය. ඉඩමේ පදිංචි  වූ අයෙකුට  මුත්‍රාබාධයක් පවති. පදිංචිකරුවන්ට රහස් සතුරන් ඇති වෙන අතර එහි පදිංචි කෙනෙක් සුදුවට පෙලඹීමට ඉඩ ඇත. එක් අයෙකුට ටික කලක් යම් තැනක සේවකයෙකු ලෙස වැඩ කිරීමට සිදුවනු ඇත. ලමා ක්‍රීඩාපිටියක් ද ඉඩම අසල තිබිය හැකිය. ඉඩමේ වයඹ පැත්තේ පැණි රස ඇති ගෙඩි ඇති ගහක් ද ඇත. ඉඩමේ එක පැත්තක් පහත් වන අතර ඉඩමට පෙනෙන මානයේ යම් පිරිසක් වැඩ කරන කර්මාන්ත ශාලාවක් හෝ වැඩපොළක් පැවතිය හැකිය.

පරීක්ෂාවට ලක් කළේ මකර ලග්නය උදා වූ වෙලාවක නම්

වසර හැටක් ඉදිරියට දියුණු ව පවතින ඉඩමකි. වැලි සහිත බිමක් වන අතර පොළොව යට දිය උල්පත් පවතී. ඉඩමට පැමිණීමට පාරවල් දෙකක් පවතින අතර මෙම ඉඩමේ පස් කහට රසයෙන් යුක්තයි.මෙම ඉඩමේ කොන් සහ මුළු වැඩියෙන් පැවතිය හැකි ය. මෙම ඉඩම කිරි එළදෙන පිට භූමියකි. ඉඩමේ එක පැත්තක් වල සහිත වන අතර ඒ අසලම ගල් සහිත ඉඩමක් ද පවතී. අලුතෙන් සිටුවූ කිරි ගස් හා මල් තිබිය හැකිය. පැත්තක ඵලදාව අඩු ගස්ද, තවත් පැත්තක ඉඩමේ ගල්ද පවතී. මෙම ඉඩමේ කැඩුණු ගෙයක් හෝ කැඩුණු මඩුවක් ද තිබිය හැකිය. ඉඩමට පැමිණීමට ප්‍රවේශ මාර්ග දෙකක් ද, ඉඩම දෙපැත්තේ කිරි ගස් ද, දකුණු පැත්තේ මල්ගස් ද, පවතින නිවසේ ඒ මල්ගස් පැත්තට හෝ දකුණු පැත්තට දොරක් ද පැවතිය හැකිය. දකුණු දිශාවේ වෙල්යායක් ද පවතින අතර අසල ගෙයක ඇස් වහ කට වහ ඇති කෙනෙක් ද සිටිය හැකි ය. ඊට දකුණු පැත්තෙන් වෙළඳසැලකට යන පාරක් පවතින අතර ඉඩම අවට සිටින අසල්වැසියන් එතරම් නරක නැත.  පදිංචිකරුවන්ට, නෑයන්ගෙන් ඵල ප්‍රයෝජන අඩුය. වාසය කරන ගෘහමූලිකයාගේ භාර්යාව චපල වන අතර දරුවන්ට සුබදායක ය. පදිංචි වූවන්ට විවාහයෙන් පසු දියුණු ඇතිවන අතර නඩුහබවලින් ද දියුණුව ඇති වෙයි. අලංකාර වැඩ නිසා ද, දියුණුව පවතී. ඉඩමේ පදිංචි වූවන්ට මළගිය කෙනෙකුගෙන් පිහිටක් ලැබීමටද හේතුයි. ඉඩමේ උතුරු පැත්තේ තණබිමක් පවතින අතර එකපැත්තකින් වෙල්යායක් හෝ වන රොදක් තිබිය හැකිය.

පරීක්ෂාවට ලක් කළේ කුම්භ ලග්නය උදා වූ වෙලාවක නම්

බ්‍රහ්ම පාදයට අයත් එළුවා පිට භූමියකි. මෙම ඉඩමේ පස් ගුරුපාටින් යුත් අතර පස පිටි රසයෙන් යුක්තය. පදිංචි වූවන්ට සැපසම්පත් ලැබෙන දියුණුවට පත්වෙන ඉඩමකි. නිතර ගවයන් ලගින ඉඩමක් බව ද කිව යුතුය. මෙම ඉඩමේ සාදන ලද නිවස ඉතා අලංකාරවත් වෙයි. ප්‍රමාණවත් අයුරින් මුදල් වියදම් වන අතර මෙහි පදිංචි වූවන්ට නිවුන් දරුවන් ලැබෙන්නට පුළුවන. ගෘහමූලිකයාගේ භාර්යාව විනෝදකාමීය. පවුලේ හෝ ළඟ ම ලේ නෑයෙකු ට පහත් වැඩක් නිසා හෝ පහත් කටයුත්තක් නිසා හෝ මරණයක් සිදු වෙයි. මෙහි පදිංචි වූවන්ට නපුරු රැකියාවල් කිරීමට ද සිදුවෙයි. උගත් මිත්‍ර ආශ්‍රය ලැබෙයි. පැරණි ඉඩමකි. උසස් කුලවල අයට පදිංචියට ඉතා සුදුසු ය. මෙහි සාදන නිවසේ වහලයට තහඩු සෙවිලි කිරීමට ඉඩ ඇත. ඉඩමේ ගෘහමූලිකයාගේ දරුවන්ට සුබදායක වන අතර එක් අයෙකුට අක්ෂි ආබාධයක් සෑදීමට ඉඩ ඇත. නමුත් එය පසුව සුවදායී අතට හැරෙනු ඇත. පදිංචි වූවන් ධනවත් වන අතර කරන කියන කටයුතු දියුණුවට පත් වීමට හේතුවනු ඇත. ඉඩමේ දෙපැත්ත උස් වන අතර ගසක් වටා ගල් ඇල්ලූ ගල්වැටියක් තිබිය හැකිය. ඉඩමේ ගලක්ද, යකඩ කෑලි ද, අඟුරු ද, ගල් කෑලි ද, ලී කැබලි ද තිබිය හැකිය. ඉඩමේ දකුණු පැත්තේ වලක් පැවතිය හැකි අතර ඉඩමට තුන් පැත්තකින් පාරවල් පිහිටිය හැකිය. ඉඩම ළඟ නුග ගසක් හෝ බෝගසක් ද තිබිය හැකි අතර පක්ෂියන් ලගින ගසක්ද තිබිය හැකිය. ඉඩමේ දකුණු පැත්තේ විෂ සහිත සතුන් ද, උතුරු පැත්තේ තණකොළ සහිත වීමද, දැකිය හැකිය. ඉඩමට නැගෙනහිරින් දිය අගලකට යන පාරක් ද පැවතිය හැකිය. ඉඩමේ සාදන ලද නිවසකට සෙවන දෙන ගසක් ද තිබිය හැකි අතර වතුර පවතින දිය උල්පත් මෙ ඉඩමේ පවතිනු ඇත. මෙම ඉඩම අසල සිටින අසල්වැසියන් තරමක් නපුරු වීමට පුළුවන.

පරීක්ෂාවට ලක් කළේ මීන ලග්නය උදා වූ වෙලාවක නම්

මෙම ඉඩම මනුෂ්‍ය පාදයට හිමි මත්ස්‍ය පිට භූමියකි. මෙම ඉඩමේ පස් පැණි රසයෙන් යුක්ත වන අතර පස් අළු පැහැයෙන් යුක්තය. මෙම ඉඩම මැද හරියෙ ගලක් පවතී. ඉඩමේ පස්වල මිනිරන් මිශ්‍ර ය. ඊසාන දිසාවේ ගල්කැබලි පැවතිය හැකි අතර බටහිර දිසාව ගල් වැටියකින් යුක්තය. මෙම ඉඩම  වෘතාකාර කොටස් දෙකකින් යුක්ත විය හැකිය. ඉඩමේ බටහිර පැත්තේ පඳුරු සහිත ගස් තිබිය හැකි ය. එම බටහිර පැත්තේ ම පාළු ගෙයක් ද තිබිය හැකිය. ඉඩමට ගසක සෙවණ වැටීමට හේතුවන අතරම පදිංචි වූවන් අන්‍යයන් හා අවුල් ඇති කර ගැනීමට ද හේතු වනු ඇත. මෙම ඉඩමේ පදිංචි කෙනෙකුට තනිකම් දෝෂයක් නිසා අසනීප ඇතිවිමට හේතුයි. ඉඩමේ බටහිර දිසාවේ දිය උල්පත් පවතින අතර ඉඩමේ දෙපැත්ත කිරි ගස් පැවතිය හැකිය. එම ඉඩම තුළ පවතින ගෙවල් දෙකකි. ඉන් එක නිවසක පවුල් දෙකක් සිටින අතර මෙම ඉඩමට පැමිණීමට පාරවල් දෙකක් ද, තිබිය හැකිය. මෙම ඉඩමේ පදිංචි වූවන්ට ඉඩම් දෙකක් හිමි වීමට හේතුයි. ගෘහමූලිකයාට වැඩිය ගෘහමූලිකයාගේ බිරිඳ කාර්යක්ෂමව කටයුතු කරන අයෙක් විය හැකිය. පදිංචි වූවන්ට හදිසි ගමන් ද, වැඩිය. උසස් පහත් ඕනෑම රැකියාවක් කිරීමට පදිංචි වූවන්ට හැකි අතර මිත්‍රයන් හා නිතර විරුද්ධවාදිකම් ඇතිකර ගැනීමට හේතුයි. ඉඩමේ පදිංචි වූවන්ට පරම්පරා සම්බන්ධයක් පවතී. තිරිසන් සතුන්ද, සිටිය හැකිය. බටහිර දිසාවේ ස්ත්‍රී පක්ෂය වැඩි ගෙදරක් තිබිය හැකිය. ඉඩමට දකුණු දිසාවේ සොහොන් භූමියක් තිබිය හැකිය.

වාස්තු විද්‍යානූකූලව ම නිවසක් සෑදිය යුත්තේ ඇයි?

අප සෑම කෙනෙක් ම උපත ලබා ඇත්තේ පෙර ආත්ම භවයන්හී දි කරන ලද කුසල් සහ අකුසල් නිසා ය. පෙර ආත්ම භවයන්හී දී කරන ලද අකුසල් විපාක දීමේ අශුභ කාල පරිච්ඡේදයන් ක්‍රියාත්මක වන කාල වකවානු වලදී පංච මහා භූතයන් කෝප වීම හේතුවෙන් ගෙවල් ඉඩම් විනාශ වී යාමට හේතු වනු ඇත.  මෙයින්

අපෝ හෙවත් ජල භූතය කෝප වූ විට

ජල ගැල්මකට හසු වී හෝ වැසි ආදියට ලක් වීම හේතුවෙන් ඉඩම් හා ගෙවල් විනාශ වී යාමට හේතු යි. මෙවැනි අපෝ භූතයට හසුවී පීඩා ළුිම හේතුවෙන් විනාශ වී ගිය ඉඩමක හෝ නිවසක නැවත පදිංචි වීමෙන් එම නිවැසියන් ට බුද්ධිමත් බවින් තොර මෝඩ දරැවන් ඉපදීමට  හෝ සිටින දරුවන් බුද්ධිමත් බවින් තොර මෝඩ වැඩ ක්‍රියාත්මක කිරීමට හේතු යි.

තේජෝ හෙවත් ගිනි භූතය කෝප වු විට

විදුලි සැර වැදීමෙන් ද, රාජ උදහසට ලක් වීම හේතුවෙන් ද, ගින්නට හසු වීමෙන් ද ඉඩම් හා ගෙවල් විනාශ වී යාමට හේතු යි. මෙවැනි තේජෝ භූතයට හසුවී පීඩා වීම හේතුවෙන් විනාශ වී ගිය ඉඩමක හෝ නිවසක නැවත පදිංචි වීමෙන් එම නිවැසියන් ට සෑම අංශයකින් ම දුක් විපත් පීඩා ඇති වීමට හේතු යි.

වායෝ භූතය කෝප වු විට

සුලි සුළං නිසා ද, සුළගට ගස් කඩා වැටීම නිසා ද යනු කරුණු හේතුකරගෙන ඉඩම් හා ගෙවල් විනාශ වී යාමට හේතු යි. මෙවැනි වායෝ භූතයට හසුවී පීඩා වීම හේතුවෙන් විනාශ වී ගිය ඉඩමක හෝ නිවසක නැවත පදිංචි වීමෙන් එම නිවැසියන් ට ලෙඩ දුක්ද, නොයෙක් ආරවුල් වලට හසු වීමද සිදු වීමට හේතු යි.

ආකාශ භූතය කෝප වු විට

හෙණ වැදීමෙන් ද, බෝම්බ ආදිය පිපිරීමෙන් ද, වාහන පෙරලීම හේතුවෙන් ද ඉඩම් හා ගෙවල් විනාශ වී යාමට හේතු යි. මෙවැනි ආකාශ භූතයට හසුවී පීඩා වීම හේතුවෙන් විනාශ වී ගිය ඉඩමක හෝ නිවසක නැවත පදිංචි වීමෙන් එම නිවැසියන් ට ධන හානී ඇති වී දුප්පත් වීමට හේතු යි.

යම් ජන්මියෙකුට තම ඉඩමට හෝ නිවසට පංච භූත තත්වයන් කෝප වීම හේතුකොට ගෙන ඉහත කී ආකාරයෙන් පීඩාවකට ලක් වන්නේ මේ ආත්ම භාවයේ හෝ පෙර ආත්ම භාවයක අධර්මයෙන් සපයාගත් ධනය භාවිතා කිරීම නිසා ය. මෙවැනි ඉරණමකට ගොදුරුවු ඉඩමක හෝ නිවසක එම අවාසනාවන්ත කම සිද්ධිය වු දිනයේ සිට වසර 21 යන තුරු පවතින බව පතපොතේ සදහන් වී ඇත. මෙම වසර 21 කාලය ඉක්මවා යන තුරු එම භූමියේ හෝ නිවසේ දියුණුවක් දැකිය නොහැකි වනු ඇත. මෙම පීඩා කාරී කාල සීමාව තුල එම භූමියේ හෝ එම නිවසේ යම් අයෙකු පදිංචි වුවහොත් ජීවිතය අදුරු වීම ද, පිරිහීම‍ට ලක් වීම ද, ධන හානි ඇති වීම ද, දුක් විපත් වලට ගොදුරු වීම ද යන කරුණු හේතුවෙන් දියුණුව අඩාල වීමට හේතු යි.

මෙම කාල සීමාව ඉක්මවීමට පෙර එම භූමියෙන් හෝ නිවසින් ප්‍රයෝජනයක් ගැනීමට නම් එම භූමියේ විනාශ වු ලී දඩු, ගල් ආදිය ද, රියනක් යටට පස් ද එම භූමියෙන් ඉවත්කර එම ඉඩමට නොපෙණන දිශාවකට දැමිය යුතු ය. ඉන් පසු උත්තරායන කාළයක වෘෂභ රවිය යෙදුන වෙසක් මාසයේ හෝ වෘශ්චික රවිය යෙදුන ඉල් මාසයේ හෝ සිංහ රවිය යෙදුන නිකිණි මාසයේ ගෘහ හිමියාගේ නැකතට සීහෙන ශුභ නැකතකින් අළුතින් නැවත ගෙපැල කපා දේව දානයක් දී වාස්තු විද්‍යානූකූලව ගෘහ හිමියාගේ වඩු රියනින් නිවසේ සැලසුම වර්ග කරවා වාස්තු විද්‍යානුකූලව සැලසුමක් නිර්මාණය කරගෙන පෙර කී මාසයක ම ශුභ නැකතකින් මුළු ගල් තබා ගෘහයක් සාදවා ශුභ මුහුර්තයකින් ම ගෙවදීම සිදුකර පරිත්‍රාන ධර්ම දේශණාවක්ද සිදුකර ධාර්මිකව වාසය කිරීම සිදු කල හැකි ය.

අශුභ නිවාස දෝෂ කිහිපයක්

  1. වැහි ලිහිණියන්, පරවියන් වැනි සතුන් නිවසක වාසයට පැමිණියේ නම් එම නිවස තුල සිට නිවැසියන්ට ධන හානී හා සතුරු පීඩා ඇති වීමට හේතු යි.
  2. පහත් කුලයේ කෙනෙකුට අයත් නිවසකට යාබදව හෝ උසස් කුලයේ කෙනෙකුට අයත් නිවසකට යාබදව හෝ සොහොනකට, දේවාලයකට, චෛත්‍යකට, බෝධියකට, අම්බලමකට යාබදව හෝ කඳු මුදුනක හෝ ආරවුලක් තිබී අයින් වී ගිය අය සිටින නිවසකට යාබදව හෝ පවතින නිවසක පදිංචියට යාම විපතකට හසු වීමට හේතු යි.
  3. දිග පටු බිම් තීරූවක් සහිත ඉඩමක හෝ වතුර හඩාගෙන යන දිය පහරක් අසල ඇති ඉඩමක හෝ ගම් දෙකක් යාවන සන්ධියේ ඇති ඉඩමක හෝ ත්‍රිකෝණාකාර ඉඩමක හෝ ප්‍රසිද්ධ හොරෙකුගේ නිවසට යාබදව ඇති ඉඩමක හෝ වවුලන්, දෙබරුන් හෝ කපුටන් ලගින ගස් ඇති ඉඩමක හෝ පදිංචි වීම නොයෙක් දුක් විපත් වලට හසු වී ධන හානී වී පහත් අඩියකට වැටීමට හේතුවන කරුණක් වනු ඇත.

නිවාස වර්ග කිරීම

නිවාස වර්ග කිරීමේ ක්‍රම තුනක් විශේෂයෙන්ම දක්නට ඇත.

  1. ඒකා දශ වර්ගීකරණය හෙවත් එකොළොස් පොරොන්දම
  2. එකුන් දශ වර්ගීකරණය හෙවත් නව පොරොන්දම
  3. ශෝඩෂ වර්ගය හෙවත් පොරාන්දම් දහසය

සෝඩෂ වර්ගය අනුව අනුව නිවසක වර්ගඵලය නිවැරදි කිරීම

ගොඩනගනා නිවසක ආය වර්ගය සෙවීම

ඕනෑම නිවසක වර්ගඵලය ගණනය කිරීමේදී එම වර්ගඵලය ගණනය කළ යුත්තේ එම නිවස හිමි අදාල ගෘහ හිමියාගේ දකුණු අතේ වඩු රියනින් බව තරයේ මතක තබාගත යුතුය. ගෘහ හිමියා පිරිමි අයෙක් නම් ඔහුගේ දකුණු අතින් ද, ගෘහ හිමියා කාන්තාවක් නම් ඇයගේ වම් අතින් ද, එසේ දිග සහ පළල මැන ගන්න. දිග සහ පළල ඔත්තේ ඉලක්කම් දෙකක් වීම වඩාත් සුදුසු බව පැරැණි පතපොතේ සඳහන්ව ඇත.

වඩු රියන ගැනීම

වඩු රියන සම්බන්ධයෙන් විවිධ මත ඇති නමුත් වඩාත් නිවැරදි වඩු රියන වනුයේ ගෘහ හිමියා පිරිමි අයෙකු නම් ඔහුගේ දකුණු අතේ වැලමිට නැමෙන තැන සිට මැද ඇගිල්ල දක්වා දිග + දකුණු අතේ වියතක දිග + දකුණු අතේ මාපට ඇගිල්ලේ අවසාන පුරු‍කේ  දිග මෙන් හතර ගුණයක් වනු ඇත.

වඩු රියන මැනීමේ තවත් ක්‍රමයක් සදහන් වන අතර එහිදී ගෘහ හිමියා පිරිමි අයෙකු නම් ඔහුගේ දකුණු අතේ වැලමිට නැමෙන තැන සිට මැද ඇගිල්ලේ කෙලවර දක්වා දිග වඩු රිය යනුවෙන් ද දක්වා ඇත.

පළමුව ගොඩනගනා නිවසක ආය වර්ගය සොයන ආකාරය

01 ද්වජ ආය

ගොඩනඟන නිවසක ක්ෂේත්‍ර ඵලය වූ දිග පළලින් වැඩි කර ලැබෙන පිළිතුර හෙවත් නිවසේ ක්ෂේත්‍රඵලය අටෙන් බෙදුවිට ඉතිරිවන ශේෂය 01 නම් එම නිවස “ද්වජ” ආයට අයත් වේ. මෙවෑනි ද්වජ ආයට අයත් නිවසක් උසස් නිලධාරීන්ට නිවාස සෑදීමට, වැව් පොකුණු සෑදීමට, ධර්මශාලා සෑදීමට, මාලිගා ගොඩනැගීමට, විහාර ගොඩනැගීමට, ධර්මාසන ගොඩනැගීමටද, දානශාලා ගොඩනැගීමටද, මණ්ඩප වේදිකා ආදිය තැනීමටද, යාග ශාලා සෑදීමටද, ඉතා සුබදායක බව දත යුතුය. මෙ වැනි ද්වජ ආයට අයත් නිවසක නැගෙනහිර දිසාවෙන් එම නිවසට අදාළ දියුනුව ක්‍රියාත්මක වීමට හේතුයි. මෙම නිවසේ ප්‍රධාන දොරටුව ද, නැගෙනහිර දිශාවෙන් තැබිය යුතුය. මෙම ද්වජ ආයට අයත් නිවස පහත් උදවියගේ වාසයට ද ඉතාම අසුබ බව දත යුතුය.

02 ධූම  ආය 

ගොඩනඟන ලද නිවසේ ක්ෂේත්‍ර ඵලය අටෙන් බෙදූ විට ඉතිරි වන ශේශය 02 නම් එකී නිවස “ධූම” ආයට අයත් නිවසක් වේ. මෙවැනි නිවසක ප්‍රධාන දොරටුව තැනේ හැටියට දිසා හතරෙන් ඕනෑම දිසාවකට තැබිය හැකිය. මෙම දූම ආයට අයත් නිවස උසස් කුලවල අයට ඉතා අසුබය. නමුත් පහත් කුල වල අයටත්, තිරිසනුන්ගේ වාසයටත්, ඉතා සුබදායක ය. විශේෂයෙන්ම මෙම ධූම ගෘහය මඩු සෑදීමට, ගරාජ සෑදීමට, ගබඩා සෑදීමට, මුළුතැන් ගෙවල් සෑදීමට,  ගිනිහල්  හෙවත් පෝරණු සෑදීමටද, ඉතා සුදුසු බව දක්වා ඇත.

03 සිංහ ආය 

ගොඩනගන ලද නිවසේ ක්ෂේත්‍ර ඵලය අටෙන් බෙදූ විට ඉතිරිවන ශේෂය 03 ක් නම් එකී නිවස “සිංහ” ආයට අයත් නිවසක් වෙයි. ස්ංහ ආය පවතින නිවසක ප්‍රධාන දොරටුව දකුණු දිශාවෙන් තැබිය යුතුය. “සිංහ” ආයේ නිවසකට කිසිම අවස්තාවක බටහිර දිසාවෙන් දියුණුව ඇති නොවේ. අන්‍ය දිශාවල දොරටු තැබීම මධ්‍යස්ථ බව දත යුතුය. දියුණුව උදාවනුයේ දකුණු දිශාවෙන් ය. මෙම නිවස පහත් කුල වල අයට වාසය සඳහා ඉතාම අසුබ වන අතර උසස් කුලවල අයට වාසය සඳහා සුදුසුය. රාජ මන්දිර තැනීමට, නීති ශාලා තැනීමට, ධර්මාසන තැනීමට, සිංහාසන තැනීමට, ආයුධ ගබඩා සෑදීමට, මෙම  සිංහ ආයේ නිවස ඉතා සුදුසුය.

04 සුනඛ ආය

ගොඩනඟන ලද නිවසේ ක්ෂේත්‍ර ඵලය අටෙන් බෙදූ විට ඉතිරිවන ශේශය හතරක් නම් එකී නිවස “සුනඛ” ආයට අයත් නිවසක් වෙයි. මෙම නිවසේ ප්‍රධාන දොරටුව තැනේ හැටියට සුදුසු දිශාවක තැබිය හැකිය. පහත් කුලවල අයට වාසය සඳහා සුදුසුය. නමුත් උසස් කුලවල අය ගේ වාසය ට අසුබ බව දත යුතුය. මෙකී “සුනඛ” ආය සහිත වර්ග ඵලය ගණිකා නිවාස සෑදීමට, සමාජ ශාලා සෑදීමට, නෘත්‍ය ශාලා සෑදීමට, තිරිසන් සතුන්ගේ වාසයට ඉතා සුදුසු බව දක්වා ඇත.

05 වෘෂභ ආය    

ගොඩනඟන ලද නිවසේ ක්ෂේත්‍රඵලය අටෙන් බෙදුවිට ඉතිරි වන ශේශය 05 ක් නම් එකී නිවස “වෘෂභ” ආයට අයත් ගෘහයකට අයත් වේ. මෙම ගෘහය පහත් කුලවල අයට වාසය සඳහා සුදුසු නැත. නමුත් උසස් කුලවල අය ගේ වාසය ට ඉතා සුභදායක වූ ගෘහයකි. මෙම නිවසේ පදිංචිව වන උසස් කුලවල අයට යාන වාහන ආදිය ද, ගව මහීෂාදී සැපසම්පත් ද, ඉඩකඩම් ද, දේපල දියුණුව ද, ඉක්මනින් ඇතිවිමට හේතුයි. මෙම ගෘහයේ ප්‍රධාන දොරටුව බටහිර දිශාවට තැබීම ඉතා සුදුසුය. වෘෂභ ගෘහයට අන්‍ය දිශා තුනම අසුබ බව දත යුතුය. මෙම “වෘෂභ” ආයට අයත් නිවාස සිනමාහල් සෑදීමට, නාට්‍ය ශාලා සෑදීමට, ප්‍රජා මංඩල සෑදීමට, වෙළඳ ශාලා හෙවත් කඩ සෑදීමට, සුපිරි ලෙළඳ ආයතන සෑදීමට, අශ්ව ස්ථාල සෑදීමට, යහපත් බව දක්වා ඇත.

06 ඛර ආය හෙවත් කොටළු ආය

ගොඩනගන ලද නිවසෙහි ක්ෂේත්‍රඵලය අටෙන් බෙදූ විට ඉතිරිවන ශේෂය 06 ක් නම් එකී නිවස “ඛර” ආයට හෙවත් “කොටළු” ආයට අයත් ගෘහයක් ලෙස හැඳින්වෙයි. උසස් කුලවල අයට පදිංචිය සඳහා මෙම ගෘහයේ සුබදායක නැත.  උසස් කුලවල අය මෙවැනි ගෘහයක පදිංචි උවහොත් ඔවුන් ඉතා ඉක්මනින් දුප්පත්වීමට හේතුය. එනමුත් පහත් කුල වල අය ට මෙම නිවෙසේ පදිංචිවීමෙන් ධනවත් වීමට හේතු යි. මෙම නිවස ගවගාල් වලට, උළු ගඩොල් පෝරණු  ආදිය තැනීමටද,  කුඹල් ගෙවල් වලට ද,  රෙදි සෝදන මඩු සෑදීමටද, සුබ දායක ගෘහයකි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *