රාශි දොලොස සම්බන්ධව මූල ග්‍රන්ථ ආදියේ මතය

රාශි දොලොස සම්බන්ධව ජාතක රත්නාකරයේ, බෘහත් පරාශරයේ සහ ජාතක පරිජාතකයේ මතය

පිටුව අංක 02
කවි අංක 11/12/13 රාශි දොළොස සම්බන්ධ කාල පුරුෂයාගේ අංග විභාගය

11
කාල යම වී නම් යමෙකුගේ දිවිය               ඉ           ති
කාල පුරුෂ යන නම ඕහට                        කිය        ති
සිරස ආදී අවයව සිරුරෙහි                        පැව        ති
රාසි දොළස වෙති මේසය පටන්                 ඇ         ති

12
හිසද මහුණ බාහු ද හද උදරය                                  ද
කටිය වස්ති ලිඟු දෙකලව දෙදනය                           ද
කෙණ්ඩ දෙපතුල ද යන මෙ අව යව සො                 ඳ
නියම වෙතිය දොළොසක් රාශි පිළිබ                       ඳ

13
සුබයෙක් සිටියේ නම් යම් අඟ රැසෙක         යෙ        දී
යහපත් සුබාවය ඇත එතන                         නිවර     දී
පවිටෙක් සිටිය කල එම අවයවෙහි              බැ         ඳී
කැලලක් නැතොත් ඇත වෙන උවදුරක්       සැ         දී 

           ”යම් අයෙකුගේ ආත්මය කාලයම කරනකොට ගෙන පවතින්නේ නම් ඒ කෙනා කාල පුරුෂ නමින් හැඳින්වේ. මේෂය මුල්කරගත් රාශි දොළොස පිළිවෙලින් එකී කාල පුරුෂයාගේ අවයව නිරූපණය කරනු ඇත.”
මේෂය             –           හිස
වෘෂභය            –           මුහුණ
මිතුනය            –           බාහු හෙවත් උරහිස
කටකය            –           ළය, පපුව, හෘදය
සිංහය              –           උදරය
කන්‍යාව           –           කඨී ප්‍රදේශය, තුනටිය හෙවත් කොන්ද ප්‍රදේශය
තුලාව              –           යටිබඩ සහ වස්තිය
වෘශ්චිකය         –           ලිංග ප්‍රදේශය
ධනුව               –           කලවා දෙක
මකරය             –           දෙදන හෙවත් දණහිස් දෙක
කුම්භය             –           කෙණ්ඩා ප්‍රදේශය
මීනය               –           දෙපතුල නිවේදනය කරනු ඇත.”
”ජන්ම කේන්ද්‍රයක ශුභ ග්‍රහයන් ඇසුරුකල රාශියට හිමි ශරීර අවයවයෙහි පෘෂ්ඨිමත් භාවය පවතින අතර පාප ග්‍රහයෙක් ඇසුරුකල රාශියට අදාල ශරීර අවයවයෙහි කැලලක් හෝ උපද්‍රවයක් පැවතිය හැකි ය.”

බෘහත් පරාශර හෝරා සාරංශශේඛරයේ ප්‍රථම භාගයේ තුන්වන ආධ්‍යායේ 03/04 සහ 05 යන ශ්ලෝක තුනෙන් රාශි දොළොස සම්බන්ධ කාල පුරුෂයාගේ අංග විභාගය දක්වා ඇත.

ශ්ලෝක අංක 03
පදව්‍යාක්තාත්මකො විෂ්ණු: කාලරූපො ජනාර්දන:
තස්‍යාංගානි නිබොධ ත්වං ක්‍රමාත්මෙෂාදි රාශය:

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
අදෘෂ්‍ය ස්ථානවූ ආත්ම ඇති විෂ්ණු ”කාල රූප විෂ්ණු” ය
මේෂ ආදි වූ රාශි දොළොස පිළිවෙලින් ඔහුගේ ශරීර අංගයන් බව ඔබ දත යුතුව ඇත.

ශ්ලෝක අංක 04
ශීර්ෂානනෞ තථා බාහු භෘතෙක්‍රාඩ කටිබස්තිය:
ගුහ්‍යොර යුගලේ ජානයුග්මෙ චෛ ඡංඝකෙ තථා

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
හිස මුහුණ යන දෙකද, එසේම අත් දෙක ද, ලය හෙවත් පපුව ද, බඩ ද, තුනටිය හවත් කොන්ද ද, යටිබඩ ද, ලිංගය ද, කලවා දෙක ද, දණහිස් යුගල ද, එලෙසින්ම කෙණ්ඩා දෙක ද,

ශ්ලෝක අංක 05
චරණෞ චෞ තථා ලග්නාත් ඥෙයා: ශීර්ෂාදය:ක්‍රමාත්
චරස්ථිරංග ස්වභාවා: ක්‍රෑරාක්‍රෑරෞ නරස්ත්‍රියෞ

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
පාද දෙක ද, එසේම ලග්නයෙන් හිස ආදිහූ බව ක්‍රමයෙන් දත යුතුව ඇත.
එමෙන්ම  අනුපිළිවෙලින්

චර රාශි             තිර රාශි             උභය රාශි
මේෂ                 වෘෂභ                මිතුන
කටක                සිංහ                  කන්‍යා
තුලා                  වෘෂ්චික             ධනු
මකර                 කුම්භ                මීන                  
ලෙසින් වෙන්වන බව ද,

එමෙන්ම අනුපිළිවෙලින්
ක්‍රෑර රාශි            සෞම්‍ය රාශි
මේෂ                 වෘෂභ
මිතුන                කටක
සිංහ                  කන්‍යා
තුලා                  වෘෂ්චික
ධනු                   මකර
කුම්භ                 මීන
ලෙසින් වෙන්වන බව ද,

එමෙන්ම අනුපිළිවෙලින්
පුරුෂ රාශි          ස්ත්‍රී රාශි
මේෂ                 වෘෂභ
මිතුන                කටක
සිංහ                  කන්‍යා
තුලා                  වෘෂ්චික
ධනු                   මකර
කුම්භ                මීන
ලෙසින් වෙන්වන බව ද, ත යුතුව ඇත.
පිටුව අංක 03
රාශි දොලොස සම්බන්ධව ජාතක රත්නාකරයේ මතය

කවි අංක 14 රාශි දොළොස
14
මේෂ වෘෂභ මිතුනය නල                            සිංහ      ද
කන්නි තුලා වෘශ්චික සහ                            දනුව     ද
මකර කුම්බ මීනය යන නම්                        සො      ඳ
පවසති දොළොසක් රාසිය                         පිළිබ      ඳ

කවි අංක 15 සහ කවි අංක 16 රාශි ස්වාමි සම්බන්ධව ජාතක රත්නාකරයේ මතය
15
මෙ කී රාසි දොළසින් යුතු                         එබග     න
මේස නුහුසු දෙරැසට කුජ                          හිමි ව    න
වෘෂභ තුලා දෙරැසට හිමි                           කිවි ව    න
මිතුන කන්නි දෙරැසට හිමි                        බෝද     න

16
කටකෙ ට සඳු සිංහෙට හිමි                        දිවයු       රු
දනුව ට මීනෙ ට හිමි වෙයි                         සුරගු      රු
මකරෙට කුම්බෙට අදිපති                         සෙනසු   රු
මෙ ලෙසට බර රැස හිමි වෙති                    ගහ ද      රු

කවි අංක 17 / 18 සහ කවි අංක 19 රාශි ස්වරූප


කවි අංක 17 මේෂ රාශියේ ස්වරූපය 

 

  

 

    

 

        

 

 

   

 

 

 

 

 

17
රූපය එළුවෙකුගෙ හැඩ වෙයි රත්             පැහැ       ති
වාසය ගිරි කඳුරුවල පිටිනුදා                      වෙ        ති
දේසය ඉඳුරු රෑ තිස් පැයට බල                   වෙ        ති
රාසිය මේස ගිනි දාතුවට                           අදිප       ති

මේෂ රාශියෙන් එළුවෙකු නිරූපණය කරන අතර මේෂ රාශියට හිමි වර්ණය රතු පැහැය බව දක්වා ඇත. මේෂ රාශියේ වාසස්ථානය කඳු මුදුන් සහ කැලෑ වන රොද ආදියේ බව ද පැවසේ. එමෙන්ම මේෂ රාශිය පිටින් උදාවන රාශියක් බව දක්වා ඇති අතර ඒ නිසාම මේෂ රාශිය නිරූපණය කල එළු රූපයේ එළුවාගෙ පසුපස ඉදිරියටත් ඉදිරිපසට හරවාගත් හිස පසුපසටත් පවතින සේ නිර්මාණය වී ඇත. ”දේශය ඉඳුරු” ලෙසින් දක්වා ඇත්තේ මේෂ රාශිය නැගෙනහිර දිශාවට බලවත් බව ය. (මෙහිදි විවිධ ජ්‍යොතිෂ ග්‍රන්ථවල නැගෙනහිර දිශාව නිවේදනය කරන විවිධ නම් දැකිය හැකි අතර ජාතක රත්නාකරයේ ඉඳුරු දිශාව ලෙසින්ද, ජාතක පරිජාතකයේ පූර්ව දිශාව ලෙසින්ද, බෘහත්පරාශරයේ පෙරදිග ලෙසින්ද නැගෙනහිර දිශාවට පර්යාය නාමයන් ඉදිරිපත් කර ඇත.) තව දුරටත් බැලීමේදී කවියේ රෑ තිස් පැයට මේෂ රාශිය බලවත් බව කියා ඇත. ඉන් අදහස් වනුයේ සිංහල ක්‍රමයට කාලය ගණනය කිරීමේදී දවසකට සිංහල පැය 60 ක් පවතින අතර එම සිංහල පැය 60 ක කාලය දිවා කාලයට සිංහල පැය 30 කි ලෙසද, රාත්‍රී කාලයට සිංහල පැය 30 කි ලෙසද වෙන්වී පවතින අතර මේෂ රාශිය රාත්‍රි කාලයට අදාල පැය 30 ට හෙවත් රාත්‍රි බල හෙවත් නිෂා බල රාශියක් බව දක්වා ඇත. මීට අමතරව මේෂය ගිනි රාශියක් බව පවසා ඇත.

මේෂ රාශිය සම්බන්ධව පරාශර මතය
බෘහත් පරාශර හෝරා සාරාංශශේඛරයේ ප්‍රථම භාගයේ තුන්වන ආධ්‍යායේ ශ්ලෝක අංක 06 සහ 07 මෙසේ දක්වා ඇත.

ශ්ලෝක අංක 06
පිත්තා නීල ත්‍රිධා තෛත්වක්‍යං ශ්ලෙෂ්මිකාශ්ව ක්‍රියාදය:
රක්තවර්ණෞ බෘහද්ගාත්‍රශ්චතුෂ්පාදාත්‍රි වික්‍රමි

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
”පිත්” ධාතුව, ”වා” ධාතුව, ”සෙම්” ධාතුව යන ත්‍රිදෝශයන් පිළිවෙලින් මේෂ, වෘෂභ, මිතුන ආදී බව දත යුතුය. මේෂය ”රත් පැහැය” නිරූපණය කරයි. මහත සිරුරකට ද, හිමිකම් කියයි. චතුෂ් පාද වන අතරම රාත්‍රියේ බලවත් වන චර රාශියක් බව නිවේදනය කරයි. එමෙන්ම චර, තිර සහ උභය ලෙසින් මේෂ, වෘෂභ, මිතුන ආදි රාශින් ක්‍රියාත්මක වන බවද දත යුතු ය.

ශ්ලෝක අංක 07
පූර්වවාසි නෘපඥාති: ශෛලචාරි රජොගුණී
පෘෂ්ටොදයි පාවකීච මේෂරාශි: කුජාධිප:

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
මේෂ රාශිය පෙරදිගට හෙවත් නැගෙනහිරට බලවත් වේ. ක්ෂත්‍රීය වර්ණයි. පර්වතයන් හී හැසිරෙයි. රජස් ගුණයෙන් යුක්තයි. පිටින් උදාවන රාශියකි. අග්නි හෙවත් ගිනි භූතයි. මේෂ රාශියට කුජ අධිපති වේ.

මේ අනුව මේෂ රාශිය
01 සංකේතය පිටින් උදාවූ එළුවෙකුගේ රූපයකි.
02 කුජ ග්‍රහයා අධිපතීත්වය දරණු ඇත.
03 පෙරදිගට හෙවත් නැගෙනහිරට බලවත් වේ.
04 කඳු මුදුන් සහ කැලෑ වන රොද ආදියේ වාස භවන බව ද පැවසේ.
05 පිටින් උදාවන පෘෂ්ඨෝදය රාශියකි.
06 කෲර රාශියකි.
07 සිවුපා හෙවත් චතුස්පාද තිරිසන් රාශියකි.
08 පුරුෂ රාශියකි.
09 රාත්‍රී බලයෙන් යුතු රාශියකි.
10 විසම හෙවත් ඔත්තේ රාශියකි.
11 රතු පාට හෙවත් රක්ත වර්ණය නිවේදනය කරයි.
12 චර රාශියකි.
13 තේජෝ ගති හෙවත් ගිනි ගති ඇති රාශියකි.
14 ද්වාර රාශියකි.
15 භ්‍රස්ව හෙවත් කෙටි රාශියකි.
16 තීර්යක් මුඛ රාශියකි.
17 ”ධාතු” හෙවත් පොළොවෙන් ලැබෙන ඛණිජ ද්‍රව්‍ය සහ බඩු භාණ්ඩ නිවේදනය කරයි.
18 ක්ෂත්‍රීය හෙවත් පාළක පන්තිය නිවේදනය කරයි.
19 රජස් ගති ඇති රාශියකි.
20 ”පිත්” ධාතුව නිවේදනය කරයි.

කවි අංක 18 වෘෂභ රාශියේ ස්වරූපය

 

 

 

 

 

   

 

 

 

 

 

 

 

18
රුවින් යුතුවෙ ගොනෙකුගෙ ඇඟ හෙල       වරු         න
පිටින් උදා වෙයි ගම්වල සැරි                     සර           න
බලෙන් යුතුවෙ රෑ කල යම දිග                  වෙසෙ      න
ගොන් රැස බූමදා හිමිවෙයි රජො                ගු            න

වෘෂභ රාශියෙන් ශක්තිවන්ත ගවයෙකු නිරූපණය කරන අතර වෘෂභ රාශියට හිමි වර්ණය සුදු පැහැය බව දක්වා ඇත. වෘෂභ රාශියේ වාසස්ථානය ගම් දනව් ආදියේ සැරිසරන බව ද පැවසේ. එමෙන්ම වෘෂභ රාශිය පිටින් උදාවන රාශියක් බව දක්වා ඇති අතර ඒ නිසාම වෘෂභ රාශිය නිරූපණය කල ගව රූපයේ ගවයාගෙ පසුපස ඉදිරියටත් හිස පසුපසටත් පවතින සේ නිර්මාණය වී ඇත. ”යම දිග වෙසෙන” ලෙසින් දක්වා ඇත්තේ වෘෂභ රාශිය දකුනු දිශාවට බලවත් බව ය. (මෙහිදි විවිධ ජ්‍යොතිෂ ග්‍රන්ථවල දකුණු දිශාව නිවේදනය කරන විවිධ නම් දැකිය හැකි අතර ජාතක රත්නාකරයේ යම දිග ලෙසින්ද, ජාතක පරිජාතකයේ දක්ෂිණ දිශාව ලෙසින්ද, බෘහත්පරාශරයේ දක්ෂිණ ලෙසින්ද දකුණු දිශාවට පර්යාය නාමයන් ඉදිරිපත් කර ඇත.) තව දුරටත් බැලීමේදී වෘෂභ රාශිය රාත්‍රී කාලයට බලවත් බව කියා ඇත. මීට අමතරව රාශින්ට අදාලව වෘෂභ රාශිය භූමී හෙවත් පඨවි ගුණ ඇති රජස් හෙවත් ඇලෙන ගති ඇති රාශියක් බව පවසා ඇත. (බෘහත් පරාශරයේද වෘෂභ රාශිය රජස් ගති පෙන්වන බව ප්‍රකාශ කළද, සාමාණ්‍ය භාවිතයේ දී වෘෂභ රාශිය ගැටෙන ගති ඇති තමස් රාශියක් ලෙසින්ද අර්ථ ගන්වා ඇත.)

වෘෂභ රාශිය සම්බන්ධව පරාශර මතය
බෘහත් පරාශර හෝරා සාරාංශශේඛරයේ ප්‍රථම භාගයේ තුන්වන ආධ්‍යායේ ශ්ලෝක අංක 08 මෙසේ දක්වා ඇත.

ශ්ලෝක අංක 08
ශ්වේත: ශුක්‍රාධිපො දීර්ඝශ්චතුෂ්පාච්ඡර්වරිබලී
යාම්‍යෙට් ග්‍රම්‍යො වණිග්භූමි රජී පෘෂ්ටාදයො වෘෂ:

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
වෘෂභ රාශිය සුදු පැහැය නිවේදනය කරයි. අධිපතීත්වය සිකුරුට හිමිව ඇත. දිගින් යුක්ත චතුෂ්පාදයි. රාත්‍රී බලය සහිත රාශියකි. දකුණු දිශාවට බලවත් වේ. ග්‍රාමීයව සැරිසරනු ඇත. වෛශ්‍ය හෙවත් වෙළඳ වර්ණයි. ඇතැම් ගුරුකුළ මතයකට අනුව වෘෂභය උපදේශකත්වයන් සපයන බ්‍රාහ්මණ වර්ණයට හිමිකම් කියන බවද කියවේ. භූමී හෙවත් පඨවි භූතයට හිමිකම් කියයි. රජස් ගුණයෙන් යුතුයි. (ඇතැම් ගුරුකුළ මතයන්ට අනුව වෘෂභ රාශිය තමස් ගුණයෙන් යුතු බවද කියවේ.) පිටින් උදාවන රාශියකි.

මේ අනුව වෘෂභ රාශිය
01 සංකේතය පිටින් උදාවූ ගවයෙකුගේ රූපයකි.
02 සිකුරු ග්‍රහයා අධිපතීත්වය දරණු ඇත.
03 යම දිගට හෙවත් දකුණට බලවත් වේ.
04 ගම් දනව් ආදියේ සැරිසැරීම වාස භවන බව ද පැවසේ.
05 පිටින් උදාවන රාශියකි.
06 සෞම්‍ය රාශියකි.
07 සිවුපා හෙවත් චතුස්පාද තිරිසන් රාශියකි.
08 ස්ත්‍රී රාශියකි.
09 රාත්‍රී බලයෙන් යුතු රාශියකි.
10 සම හෙවත් ඉරට්ටේ රාශියකි.
11 සුදු පාට වර්ණය නිවේදනය කරයි.
12 තිර රාශියකි.
13 පඨවි ගති හෙවත් තද ගති ඇති රාශියකි.
14 බාහිර රාශියකි.
15 භ්‍රස්ව හෙවත් කෙටි රාශියකි.
16 ඌර්ධව මුඛ රාශියකි.
17 ”මූල” හෙවත් ශාක ආදියක් නිවේදනය කරයි.
18 වෛශ්‍ය හෙවත් වෙළඳ පන්තිය නිවේදනය කරයි.
තවත් ගුරු කුළ මතයකට අනුව උපදේශණ සපයන බ්‍රාහ්මණ පන්තිය නිවේදනය  කරයි.
19 රජස් ගති ඇති රාශියකි. නමුත් ගැටීමට බර තමස් ගුණ පවතින බවද කියවේ.
20 ”වා” ධාතුව නිවේදනය කරයි.

කවි අංක 19 මිතුන රාශියේ ස්වරූපය

 

 

 

 

 

   

 

 

 

 

 

 

 

 

 

 


19
යුවලක් බඳුවෙ පුමතිරි සගදා                     සවි          ණ

ගිරවුන් පැහැය වෙයි සිරසින් උදා               ව            න
බලයෙන් රෑට වැඩිවෙයි හිමි දෙස               වරු        ණ
සමවන් සිරුර වෙයි මිතුනය වායු                ගු          ණ

මිතුන රාශියෙන් මෛතුන්‍යට සූදානම් වූ ශක්තිවන්ත යගදාවක් අතැති තරුණයෙකු සහ ඊට රසාස්වාදයක් සමග ඉලක්කයක් සැපයීමට හැකි වීණාවක් අත දරාගත් යුවතියකගේ රූපයක් නිරූපණය කරන අතර මිතුන රාශියට හිමි වර්ණය ගිරා පැහැය බව දක්වා ඇත. එමෙන්ම මිතුන රාශිය හිසින් උදාවන රාශියක් බව දක්වා ඇති අතර ඒ නිසාම මිතුන රාශිය නිරූපණය කල යුවලගේ හිස ඉහලටත් පාද පහලටත් පවතින සේ නිර්මාණය වී ඇත. ”හිමි දෙස වරුණ” ලෙසින් දක්වා ඇත්තේ මිතුන රාශිය බටහිර දිශාවට බලවත් බව ය. (මෙහිදි විවිධ ජ්‍යොතිෂ ග්‍රන්ථවල බටහිර දිශාව නිවේදනය කරන විවිධ නම් දැකිය හැකි අතර ජාතක රත්නාකරයේ වරුණ ලෙසින්ද, ජාතක පරිජාතකයේ පශ්චිම දිශාව ලෙසින්ද, බෘහත්පරාශරයේ බස්නාහිර ලෙසින්ද, ජීවිතය හා ග්‍රහයෝ ග්‍රන්ථයේ අග්නි දිග ලෙසින්ද, බටහිර දිශාවට පර්යාය නාමයන් ඉදිරිපත් කර ඇත.) තව දුරටත් බැලීමේදී මිතුන රාශිය රාත්‍රී කාලයට බලවත් බව කියා ඇත. මීට අමතරව රාශින්ට අදාලව මිතුන රාශිය වායු ගුණ ඇති සමවන් සිරුරකට හිමිකම් ඇති රාශියක් බව පවසා ඇත.

මිතුන රාශිය සම්බන්ධව පරාශර මතය
බෘහත් පරාශර හෝරා සාරාංශශේඛරයේ ප්‍රථම භාගයේ තුන්වන ආධ්‍යායේ ශ්ලෝක අංක 09/10 මෙසේ දක්වා ඇත.

ශ්ලෝක අංක 09
ශිර්ෂොදයි නෘමිථුනං සගදංච සවීණකම්
ප්‍රත්‍යාක්ශමි ද්විපාද්‍රාත්‍රිබලී ග්‍රාම්‍යො ව්‍රජො නිලි

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
මිතුනය හිසින් උදාවන රාශියකි. ගදාවක් සහ වීණාවක් සහිත මෛතුන්‍යට සුදානම් වු පුරුෂ ස්ත්‍රී යුවලක් නිරූපණය කරයි. වරුණ දිශාවට හෙවත් බස්නාහිර දිශාවට බලවත් වේ. ශාන්ත ගුණයෙන් යුක්තයි. ද්වි ස්වභාවයි. රාත්‍රී බලය සහිතයි. ග්‍රාමීයව සැරිසරනු ඇත. වායෝ ගුණයෙන් යුක්තයි.

ශ්ලෝක අංක 10
සමගාත්‍රො හරිතවර්ණො මිථුනාඛ්‍යො බුධාධිප:
පාටලො වනචාරි ව බ්‍රාහ්මණො නිශි වීර්යවාන්

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
මිතුනය සම හෙවත් මධ්‍යස්ථ ශරීරයකට හිමිකම් කියන රාශියකි. පළාවන් පැහැයෙන් යුක්තයි. බුද අධිපතීත්වය දරයි.
කටක රාශිය පළොල් හෙවත් රෝස පැහැයෙන් යුක්තයි. වනයේ සැරිසරයි. බ්‍රාහ්මණ වර්ණයි. (ඇතැම් ගුරුකුළ මතයකට අනුව කටක ය  ශුද්‍ර වර්ණයට හිමිකම් කියන බවද කියවේ.) රාත්‍රී බල ඇති රාශියකි.

මේ අනුව මිතුන රාශිය
01 සංකේතය හිසින් උදාවූ යගදාවක් අතැති ශක්තිමත් තරුණයෙකු සහ රාගයට හිතැති වීණාවක් අතැති මෛතුන්‍යට සුදාදම් වූ යුවලක් පෙන්වන රූපයකි.
02 බුද ග්‍රහයා අධිපතීත්වය දරණු ඇත.
03 වරුණ දිගට හෙවත් බස්නාහිරට බලවත් වේ.
04 ගම් දනව් ආදියේ සැරිසැරීම වාස භවන බව ද පැවසේ.
05 හිසින් උදාවන රාශියකි.
06 කෲර රාශියකි.
07 නර රාශියකි.
08 පුරුෂ රාශියකි.
09 රාත්‍රී බලයෙන් යුතු රාශියකි.
10 විසම හෙවත් ඔත්තේ රාශියකි.
11 ගිරා වර්ණය හෙවත් කොළ පාට වර්ණය නිවේදනය කරයි.
12 උභය රාශියකි.
13 වායේ ගති හෙවත් පැතිරෙන ගති ඇති රාශියකි.
14 ගර්භ ගත රාශියකි.
15 මධ්‍යම රාශියකි.
16 අධෝමුඛ මුඛ රාශියකි.
17 ”ජීව” හෙවත් ප්‍රාණ ආදියක් නිවේදනය කරයි.
18 බ්‍රාහ්මණ හෙවත් උපදේශණ කරන පන්තිය නිවේදනය කරයි.
(තවත් ගුරු කුළ මතයකට අනුව වෙළඳ සේවා සපයන වෛශ්‍ය පන්තිය නිවේදනය  කරයි.)
19 සාත්වික ගති ඇති රාශියකි.
20 ”සෙම්” ධාතුව නිවේදනය කරයි.

පිටුව අංක 04
කවි අංක 20/21/22/23/24/25 සහ කවි අංක 26 රාශි ස්වරූප

කවි අංක 20 කටක රාශියේ ස්වරූපය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

20
කකුළු වකුගේ රුව වෙයි එපළොල්            වරු           ණ
නිසල දියෙහි ගංහෝ ඇලදොල                  වෙසෙ       න
පාද බහුල සොමි දිග පිටිනුදා                      ව              න
කටකය රෑට බලවෙයි ජලදාතු                    ගු              න

කටක රාශියෙන් පසුපස ඉදිරියටත් හිස ප්‍රදේශය ඉදිරියටත් සිටින සේ නිර්මාණය වු කකුළුවෙකුගේ රූපයක් නිරූපණය කරන අතර කටක රාශියට හිමි වර්ණය ”පාටල” හෙවත් ”පළොල්” ලෙසින් දැක්වේ. මෙම පළොල් පැහැයට ව්‍යාතිරේක නාමයන් විවිධ ජ්‍යොතිෂ පොත්වල දැකිය හැකි අතර පාටල හෙවත් පළොල් පැහැයට පර්යාය නම් ලෙසින් ජාතක රත්නාකරය ”පළොල්” ලෙස ද, ජාතක පරිජාතකය ”පාටල” ලෙසද, බෘහත් පරාශරය ”පාටාලො” හෙවත් ”පළොල්” ලෙසද, සාරාවලියත් ”පළොල්” පැහැය ලෙසද, ජීවිතය සහ ග්‍රහයෝ පොතේ ”දූඹුරු” පැහැය බව ද, දක්වා ඇත. එමෙන්ම කටක රාශිය පිටින් උදාවන රාශියක් බව දක්වා ඇති අතර ඒ නිසාම කටක රාශිය නිරූපණය කල කකුළුවාගේ පසුපස ඉදිරියටත් හිස ඉදිරියටත් පවතින සේ නිර්මාණය වී ඇත. ”සොමි දිග” ලෙසින් දක්වා ඇත්තේ කටක රාශිය උතුරු දිශාවට බලවත් බව ය. (මෙහිදි විවිධ ජ්‍යොතිෂ ග්‍රන්ථවල උතුරු දිශාව නිවේදනය කරන විවිධ නම් දැකිය හැකි අතර ජාතක රත්නාකරයේ සොමි දිග ලෙසින්ද, ජාතක පරිජාතකයේ උත්තර දිශාව ලෙසින්ද, බෘහත්පරාශරයේ දිශාවක් දක්වා නොමැති අතර, ජීවිතය හා ග්‍රහයෝ ග්‍රන්ථයේ යම් ආකාරයක වැරදීමකින් දකුණු දිග ලෙසින්ද, උතුරු දිශාවට පර්යාය නාමයන් ඉදිරිපත් කර ඇත.) තව දුරටත් බැලීමේදී කටක රාශිය රාත්‍රී කාලයට බලවත් බව කියා ඇත. මීට අමතරව රාශින්ට අදාලව කටක රාශිය ජල ගුණ ඇති ඇළ, දොළ, ගංගා සමීපයේ හෝ නිසල දියෙහි වාසය කරන පාද බහුලව ඇති රාශියක් බව පවසා ඇත.

කටක රාශිය සම්බන්ධව පරාශර මතය
බෘහත් පරාශර හෝරා සාරාංශශේඛරයේ ප්‍රථම භාගයේ තුන්වන ආධ්‍යායේ

ශ්ලෝක අංක 11 මෙසේ දක්වා ඇත.
ශ්ලෝක අංක 11
බහු පටුතර: ස්ථෞල්‍යතනු: සත්වගුණි ජලී
පෘෂ්ටොදයි කර්කරාශිර්මෘගාංකාධිපති: ස්මෘත:

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
බොහෝ දක්ෂතා සහිතයි. මහත ශරීරයකි. සත්ව ගුණයෙන් යුක්තයි. ජල භූතයට හිමිකම් කියයි. පිටින් උදාවෙයි. සඳු අධිපතිත්වය දරයි.

මේ අනුව කටක රාශිය
01 සංකේතය පිටින් උදාවූ පාද බහුලව ඇති හිස පසුපසට ඇති කකුළුවෙකුගේ ලක්ෂණ පෙන්වන රූපයකි.
02 සඳු ග්‍රහයා අධිපතීත්වය දරණු ඇත.
03 උත්තර දිගට හෙවත් උතුරු දිශාවට බලවත් වේ.
04 නිසල දිය ආදියේ හෝ ගංගා, ඇල දොල සමීපයේ සැරිසැරීම වාස භවන බව ද පැවසේ.
05 පිටින් උදාවන රාශියකි.
06 සෞම්‍ය රාශියකි.
07 බහු පාද සත්ව හෙවත් ජලචර රාශියකි.
08 ස්ත්‍රී රාශියකි.
09 රාත්‍රී බලයෙන් යුතු රාශියකි.
10 සම හෙවත් ඉරට්ටේ රාශියකි.
11 පළොල් වර්ණය හෙවත් පඬු පැහැයට හුරු දුඹුරු පාට වර්ණය නිවේදනය කරයි.
12 චර රාශියකි.
13 ජල ගති ඇති රාශියකි.
14 ද්වාර රාශියකි.
15 මධ්‍යම රාශියකි.
16 තීර්යක් මුඛ මුඛ රාශියකි.
17 ”ධාතු” හෙවත් පොළොවෙන් ලැබෙන ඛණිජ ද්‍රව්‍ය සහ බඩු භාණ්ඩ නිවේදනය කරයි.
18 ශුද්‍ර හෙවත් කම්කරු පන්තිය නිවේදනය කරයි. එහෙත් පරාශරය කටක රාශිය බ්‍රාහ්මණ හෙවත් උපදේශණ පන්තිය නිවේදනය කරන බව දක්වා ඇත.
19 රජස් ගති ඇති රාශියකි.
20 ”පිත්” ධාතුව නිවේදනය කරයි.

කවි අංක 21 සිංහ රාශියේ ස්වරූපය

 

 

 

 

 

 

 

 

 


21
මිගිඳෙකු බඳු රුව වෙයි අරණෙහි               වෙසෙ     න
පඬුවන් පැහැවෙ සිරසින් නැග උදා             ව            න
දහවල් බල වඩී පැදුමෙහි වැස                    සිටි         න
සිහ රැස ගිනි දාතු හිමිවෙයි සත්ව                ගු           න

සිංහ රාශියෙන් හිස ප්‍රදේශය ඉදිරියටත් පසුපස ප්‍රදේශය පසුපසටත් සිටින සේ නිර්මාණය වු සිංහයෙකුගේ රූපයක් නිරූපණය කරන අතර සිංහ රාශියට හිමි වර්ණය ”පඬුවන් පැහැය” හෙවත් ”වනවාසී භික්ෂුන් දරන සිවුරේ පැහැය” බව ද, දක්වා ඇත. එමෙන්ම සිංහ රාශිය හිසින් උදාවන රාශියක් බව දක්වා ඇති අතර ඒ නිසාම සිංහ රාශිය නිරූපණය කල සිංහයාගේ හිස ඉදිරියටත් සිංහයාගේ වල්ගය පැත්ත පසුපසටත් පවතින සේ නිර්මාණය වී ඇත. ”පැදුමෙහි වැස සිටින” ලෙසින් දක්වා ඇත්තේ සිංහ රාශිය නැගෙනහිර දිශාවට බලවත් බව ය. (මෙහිදි විවිධ ජ්‍යොතිෂ ග්‍රන්ථවල නැගෙනහිර දිශාව නිවේදනය කරන විවිධ නම් දැකිය හැකි අතර ජාතක රත්නාකරයේ ”පැදුමෙහි” වැස සිටින ලෙසින්ද, ජාතක පරිජාතකයේ පූර්ව දිශාව ලෙසින්ද, බෘහත්පරාශරයේ පූර්වේ හෙවත් පෙරදිග දිශාව ලෙසින් ද, ජීවිතය හා ග්‍රහයෝ ග්‍රන්ථයේ යම් ආකාරයක වැරදීමකින් දකුණු දිග ලෙසින්ද, නැගෙනහිර දිශාවට පර්යාය නාමයන් ඉදිරිපත් කර ඇත.) තව දුරටත් බැලීමේදී සිංහ රාශිය දිවා කාලයට බලවත් බව කියා ඇත. මීට අමතරව රාශින්ට අදාලව සිංහ රාශිය ගිනි ගුණ ඇති ඝන ගිරි ගුහා, වනාන්තර ආදියේ වාසය කරන චතුෂ්  පාද සත්ව ගුණ ඇති තිරිසන් රාශියක් බව පවසා ඇත.

සිංහ රාශිය සම්බන්ධව පරාශර මතය
බෘහත් පරාශර හෝරා සාරාංශශේඛරයේ ප්‍රථම භාගයේ තුන්වන ආධ්‍යායේ

ශ්ලෝක අංක 12 මෙසේ දක්වා ඇත.
ශ්ලෝක අංක 12
සිංහ: සූර්යාධිප:සත්වි චතුෂ්පාත්ක්ෂත්‍රී යො බලී
ශීර්ෂොදයි බෘහද්ගාත්‍ර: පාංඩු: පූර්වේද්ද්‍යු වීර්යවාන්

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
සිංහ රාශියට අධිපති රවි වේ. සත්ව හෙවත් තිරිසන් ගුණයෙන් යුක්ත රාශියක් වේ. සිව් පාදයි. පාළක පන්තිය නිවේදනය කරන ක්ෂත්‍රීය වර්ණයි. හිසින් උදාවේ. මහත් වූ ශරීරයක් හිමි වේ. පඬු පැහැය හෙවත් කහ පැහැයට හුරු සිවුරු පැහැයෙන් යුක්තයි. පෙරදිගට හෙවත් නැගෙනහිරට බලවත් වේ. දිවා බලයෙන් යුක්තයි.

මේ අනුව සිංහ රාශිය
01 සංකේතය හිසින් උදාවූ චතුෂ් පාද සහිත හිස ඉදිරියට ඇති වලිගය පසුපසට ඇති ලක්ෂණ පෙන්වන රූපයකි.
02 රවි ග්‍රහයා අධිපතීත්වය දරණු ඇත.
03 පෙරදිගට හෙවත් නැගෙනහිර දිශාවට බලවත් වේ.
04 ඝන, ගිරි ගුහා වනාන්තර සමීපයේ සැරිසැරීම වාස භවන බව ද පැවසේ.
05 හිසින් උදාවන රාශියකි.
06 කෲර රාශියකි.
07 චතුෂ් පාද සහිත සත්ව හෙවත් තිරිසන් රාශියකි.
08 පුරුෂ රාශියකි.
09 දිවා බලයෙන් යුතු රාශියකි.
10 විසම හෙවත් ඔත්තේ රාශියකි.
11 පඬු පැහැයට හුරු වනගත භීක්ෂුන් පළඳින සිවුරු පාට සහිත වර්ණය නිවේදනය කරයි.
12 තිර රාශියකි.
13 ගිනි හෙවත් තේජෝ ගති ඇති රාශියකි.
14 බාහිර රාශියකි.
15 දීර්ඝ රාශියකි.
16 ඌර්ධව මුඛ රාශියකි.
17 ”මූල” හෙවත් ශාක ආදියක් නිවේදනය කරයි.
18 පාළක හෙවත් ක්ෂත්‍රීය පන්තිය නිවේදනය කරයි.
19 තමස් ගති ඇති රාශියකි.
20 ”වා” ධාතුව නිවේදනය කරයි.

කවි අංක 22 කන්‍යා රාශියේ ස්වරූපය

 

 

 

 

 

 

 

 

 


22       

හැල් මිටියක් සහ පහණක් අතින්                ගෙ         න
නැව් නැගි ලියක් වැනි නන් පැහැයෙන්        දිලෙ      න
දිවා බලෙන් යුතුවෙයි පිටිනුදා                    ව           න
කන් රැස වායු ගුණ වෙයි යම දිග                වෙසෙ   න

කන්‍යා රාශියෙන් එක් අතකින් වී කරල් මිටියක් සහ අනික් අතින් පහණක් අතින් ගත් විචිත්‍ර වර්ණයෙන් සැරසුන සමබර තාවය රැකගත් නැව් නැගි තරුණියකගේ රූපයක් නිරූපණය කරන අතර කන්‍යා රාශියට හිමි වර්ණය ”විසිතුරු හෙවත් විචිත්‍ර පැහැය බව ද, දක්වා ඇත. එමෙන්ම කන්‍යා රාශිය හිසින් උදාවන රාශියක් බව දක්වා ඇති අතර ඒ නිසාම තරුණිය නැගි නැවේ ඉදිරිපස ඉදිරියටත් පසුපස සපුපසටත් පවතින සේ නිරූපණය කල රූපයෙන් හිසින් උදාවන බව නිරූපණය කර ඇත. ”යම දිග වෙසෙන” ලෙසින් දක්වා ඇත්තේ කන්‍යා රාශිය දකුණු දිශාවට බලවත් බව ය. (මෙහිදි විවිධ ජ්‍යොතිෂ ග්‍රන්ථවල දකුණු දිශාව නිවේදනය කරන විවිධ නම් දැකිය හැකි අතර ජාතක රත්නාකරයේ ”යම දිග” වෙසෙන ලෙසින්ද, ජාතක පරිජාතකයේ දක්ෂිණ දිශාව ලෙසින්ද, බෘහත්පරාශරයේ දකුනු දිග දිශාව ලෙසින් ද, ජීවිතය හා ග්‍රහයෝ ග්‍රන්ථයේ දකුණු දිග ලෙසින්ද, දකුණු දිශාවට පර්යාය නාමයන් ඉදිරිපත් කර ඇත.) තව දුරටත් බැලීමේදී කන්‍යා රාශිය දිවා කාලයට බලවත් බව කියා ඇත. මීට අමතරව රාශින්ට අදාලව කන්‍යා රාශිය පඨවි ගුණ ඇති වා ගුණ ඇති රාශියක් බව පවසා ඇත.

කන්‍යා රාශිය සම්බන්ධව පරාශර මතය
බෘහත් පරාශර හෝරා සාරාංශශේඛරයේ ප්‍රථම භාගයේ තුන්වන ආධ්‍යායේ

ශ්ලෝක අංක 13/14 මෙසේ දක්වා ඇත.
ශ්ලෝක අංක 13
පාර්වතියාථ කන්‍යාඛ්‍යා රාශිර්දින බලාත්විතා
ශීර්ශොදයාව මාධ්‍යාංගා ද්විපාද්‍යාම්‍ය වරාව සා

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
පර්වතයන්හී හැසිරෙන රාශියක් බව කියවේ. දිවා බලයෙන් යුක්ත වේ. හිසින් උදාවන රාශියකි. මධ්‍යම ශරීරයකට හිමිකම් කියන අතර ද්වීපාද වේ. දකුණු දිශාවට බලවත් වේ.

ශ්ලෝක අංක 14
සා සස්‍යදහනා වෛශ්‍යා විචිත්‍රවර්ණ ප්‍රභංජනී
කුමාරි තමසා යුක්තා බාලභාවා බුධාධිප:

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
හැල් මිටියක් හෙවත් වී කරල් මිටියක් සහ පහණක් අත දරා ගත් වෛශ්‍යා වංශික විචිත්‍ර වර්ණයෙන් යුතු නැව් නැගි ලියක් පෙන්වයි. වායු භූතයට හිමි වේ. තමස් ගුණයෙන් යුක්තයි. බුද අධිපතිත්වය දරයි.

මේ අනුව කන්‍යා රාශිය
01 සංකේතය හිසින් උදාවන වී කරල් මිටියක් එක් අතකින් සහ අනික් අතින් පහණක් අතින් ගත් විචිත්‍ර වර්ණයෙන් සැරසුන සමබර තාවය රැක්ගත් ඉදිරිපසට ගමන් ගන්නා නැව් නැගි තරුණියකගේ ලක්ෂණ පෙන්වන රූපයකි.
02 බුද ග්‍රහයා අධිපතීත්වය දරණු ඇත.
03 දකුණු දිශාවට හෙවත් යම දිග දිශාවට බලවත් වේ.
04 නීල වර්ණයෙන් යුතු තණ භූමී, ස්ත්‍රී පුරුෂයන් ගැවසෙන ක්‍රීඩාංගණ, ශිල්ප ශාස්ත්‍ර හදාරන ස්ථාන සහ පර්වත සමීපයේ සැරිසැරීම වාස භවන බව ද පැවසේ.
05 හිසින් උදාවන රාශියකි. මේ බව පරාශරයේ සඳහන්ව ඇති නමුදු ජාතක රත්නාකරයේ සඳහන්ව පවතිනුයේ පිටින් උදාවන රාශියක් ලෙසය. නමුත් එය හිසින් උදාවන ලෙස නිවැරදි විය යුතුව ඇත.
06 සෞම්‍ය රාශියකි.
07 ද්වි පාද සහිත නර ‌හෙවත් මනුෂ්‍ය රාශියකි.
08 ස්ත්‍රී රාශියකි.
09 දිවා බලයෙන් යුතු රාශියකි.
10 සම හෙවත් ඉරට්ටේ රාශියකි.
11 විවිධ වර්ණ හෙවත් විචිත්‍ර වර්ණය නිවේදනය කරයි.
12 උභය රාශියකි.
13 පඨවි ගති ඇති රාශියකි. නමුත් ජාතක රත්නාකරයේ සහ පරාශරයේ සඳහන්ව පවතිනුයේ කන්‍යාව වායු රාශියක් ලෙස ය. 
14 ගර්භ ගත රාශියකි.
15 දීර්ඝ රාශියකි.
16 අධෝ මුඛ රාශියකි.
17 ”ජීව” හෙවත් ප්‍රාණ ආදියක් නිවේදනය කරයි.
18 පරාශර මතයට අනුව වෛශ්‍ය හෙවත් වෙළඳ පන්තිය නිවේදනය කරයි. නමුත් ජාතක පරිජාතකයේ ශුද්‍ර හෙවත් කම්කරු පන්තිය නිවේදනය කරයි.
19 තමස් ගති ඇති රාශියකි.
20 ”සෙම්” ධාතුව නිවේදනය කරයි.

කවි අංක 23 තුලා රාශියේ ස්වරූපය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

23
තාරාදියක් ගත් මිනිසෙකු වෙළඳ                පො       ළේ
බලා හිඳින වැනි කළු පැහැයෙන්                 බැබ      ලේ
උදාවෙයි හිසින් වරුණෙහි දිවා                   බ          ලේ
තුලා රැස හිමි වේ සෙම් දොසට හද             තු          ලේ

තුලා රාශියෙන් හිස ප්‍රදේශය ඉදිරියටත් පාද ප්‍රදේශය පසුපසටත් සිටින සේ නිර්මාණය වු තරාදියක් අතින් ගත් වෙළඳ පොළක සිටින මිනිසෙකුගේ රූපයක් නිරූපණය කරන අතර තුලා රාශියට හිමි වර්ණය ”කළු පැහැය” බව ද, දක්වා ඇත. එමෙන්ම තුලා රාශිය හිසින් උදාවන රාශියක් බව දක්වා ඇති අතර ඒ නිසාම තුලා රාශිය නිරූපණය කල තරාදිය අතින් ගත් මිනිසාගේ හිස ඉදිරියටත් පසුපස පසුපසටත් පවතින සේ නිර්මාණය වී ඇත. ”වරුණෙහි” දිවා බලේ ලෙසින් දක්වා ඇත්තේ තුලා රාශිය බස්නාහිර දිශාවට බලවත් බව ය. (මෙහිදි විවිධ ජ්‍යොතිෂ ග්‍රන්ථවල බස්නාහිර දිශාව නිවේදනය කරන විවිධ නම් දැකිය හැකි අතර ජාතක රත්නාකරයේ ”වරුණෙහි” දිවා බලේ ලෙසින්ද, ජාතක පරිජාතකයේ පශ්චිම දිශාව ලෙසින්ද, බෘහත්පරාශරයේ කිසිඳු දිශාවක් සඳහන් නොමැති ලෙසින් ද, ජීවිතය හා ග්‍රහයෝ ග්‍රන්ථයේ බස්නාහිර ලෙසින්ද, බස්නාහිහිර දිශාවට පර්යාය නාමයන් ඉදිරිපත් කර ඇත.) තව දුරටත් බැලීමේදී තුලා රාශිය දිවා කාලයට බලවත් බව කියා ඇත. මීට අමතරව රාශින්ට අදාලව තුලා රාශිය වායු ගුණ ඇති සෙම් ගුණ ඇති රාශියක් බව පවසා ඇත.

තුලා රාශිය සම්බන්ධව පරාශර මතය
බෘහත් පරාශර හෝරා සාරාංශශේඛරයේ ප්‍රථම භාගයේ තුන්වන ආධ්‍යායේ

ශ්ලෝක අංක 15/16 මෙසේ දක්වා ඇත.
ශ්ලෝක අංක 15
ශීර්ශොදයි ද්‍යු වීර්යාඩ්‍යස්තථා කෘෂ්ණො රජො ගුණි
පංච මොද්භුවරො ඝාති ශුද්‍රො මධ්‍යතනුර්ද්විපාත්

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
තුලාව හිසින් උදාවන, දිවා බල ඇති රාශියකි. කළු පැහැයෙන් යුක්තයි. රජස් ගුණ සහිතයි. පංච භූතයන්ට අදාලව භූමියේ හැසිරේ. පූර්ණ ශරීරයකි. ශුද්‍ර කුළය නිවේදනය වේ. සම රාශියකි. ද්වීපාද වලින් යුක්තයි.

ශ්ලෝක අංක 16
ශුක්‍රො ධීපෝථ ස්වල්පාංගො බහු පාද්බ්‍රාහ්මණොබලී
සෞම්‍යස්ථො දින වීර්යාඪ්‍ය: පිශංගො ජල භුවහ:

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
තුලා රාශියට සිකුරු අධිපති වනු ඇත.
වෘශ්චික රාශිය ”දීර්ඝ” රාශියකි. බහු පාදයි. බ්‍රාහ්මණ කුළය නිවේදනය කරයි. උතුරු දිශාවට බලවත්වේ. දිවා බලයෙන් යුක්තයි. පිඟුවන් පැහැය හෙවත් රතට හුරු දුඹුරු පැහැයෙන් යුක්තයි. ජල භූතයට හිමිකම් කියයි.

මේ අනුව තුලා රාශිය
01 සංකේතය හිසින් උදාවන හිස ප්‍රදේශය ඉදිරියටත් පාද ප්‍රදේශය පසුපසටත් සිටින සේ නිර්මාණය වු තරාදියක් අතින් ගත් වෙළඳ පොළක සිටින මිනිසෙකුගේ ලක්ෂණ පෙන්වන රූපයකි.
02 සිකුරු ග්‍රහයා අධිපතීත්වය දරණු ඇත.
03 බස්නාහිර දිශාවට හෙවත් වරුණ දිග දිශාවට බලවත් වේ.
04 සියළු දෑ සමගින් පරිපූර්ණ නාගරික වෙළඳ පොළ සහිිත භූමිය සමීපයේ සැරිසැරීම වාස භවන බව ද පැවසේ.
05 හිසින් උදාවන රාශියකි.
06 කෲර රාශියකි.
07 ද්වි පාද සහිත නර හෙවත් මනුෂ්‍ය රාශියකි.
08 පුරුෂ රාශියකි.
09 දිවා බලයෙන් යුතු රාශියකි.
10 විසම හෙවත් ඔත්තේ රාශියකි.
11 කළු වර්ණය නිවේදනය කරයි.
12 චර රාශියකි.
13 වායෝ ගති ඇති රාශියකි.
14 ද්වාර ගත රාශියකි.
15 දීර්ඝ රාශියක් බව ජාතක පරිජාතකය සහ ජීවිතය හා ග්‍රහයෝ පොතේ ප්‍රකාශිත අතර පරාශරයෙ සඳහන්ව ඇත්තේ තුලාව භ්‍රෂ්ව ‌හෙවත් කෙටි රාශියක් බව ය.
16 තීර්යක් මුඛ රාශියකි.
17 ”ධාතු” හෙවත් පොළොවෙන් ලැබෙන ඛණිජ ද්‍රව්‍ය සහ බඩු භාණ්ඩ නිවේදනය කරයි.
18 ශුද්‍ර හෙවත් කම්කරු පන්තිය නිවේදනය කරන බව පරාශරය ප්‍රකාශ කරයි. තුලා රාශිය වෙළඳ කුළය නිවේදනය කරන වෛශ්‍ය පන්තිය නිවේදනය කරයි.
19 රජස් ගති ඇති රාශියකි.
20 ”පිත්” ධාතුව නිවේදනය කරයි.

කවි අංක 24 වෘශ්චික රාශියේ ස්වරූපය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

24
නුහුසු සිරුර බඳුවෙයි බහු පාද                    ඇ          ති

හිසින් උදා සොමි දිග රන් පැහැය               වෙ        ති
සිදුරු බිමෙහි වාසය දහවල්                        බලැ      ති
තිදොස් හිමිවෙ අලි රැස ජල දාතු                 ග         ති

වෘශ්චික රාශියෙන් හිස ප්‍රදේශය ඉහලටත් වල්ග ප්‍රදේශය පහලටත් සිටින සේ නිර්මාණය වු ගෝනුස්සෙකුගේ රූපයක් නිරූපණය කරන අතර වෘශ්චික රාශියට හිමි වර්ණය ”රන්වන් පැහැය” බව ද, දක්වා ඇත. එමෙන්ම වෘශ්චික රාශිය හිසින් උදාවන රාශියක් බව දක්වා ඇති අතර ඒ නිසාම වෘශ්චික රාශිය නිරූපණය කල ගෝනුස්සාගේ හිස ඉහලටත් වල්ගය පහලටත් පවතින සේ නිර්මාණය වී ඇත. ”සොමි දිග” ලෙසින් දක්වා ඇත්තේ වෘශ්චික රාශිය උතුරු දිශාවට බලවත් බව ය. (මෙහිදි විවිධ ජ්‍යොතිෂ ග්‍රන්ථවල උතුරු දිශාව නිවේදනය කරන විවිධ නම් දැකිය හැකි අතර ජාතක රත්නාකරයේ ”සොමි දිග” ලෙසින්ද, ජාතක පරිජාතකයේ උත්තර දිශාව ලෙසින්ද, බෘහත්පරාශරයේ උතුරු දිශාව ලෙසින් ද, ජීවිතය හා ග්‍රහයෝ ග්‍රන්ථයේ යම් වැරදීමකින් බස්නාහිර ලෙසින්ද, උතුරු දිශාවට පර්යාය නාමයන් ඉදිරිපත් කර ඇත.) එමෙන්ම සිදුරු සහිත බිමෙහි වාසය කරන බවද, තව දුරටත් බැලීමේදී වෘශ්චික රාශිය දිවා කාලයට බලවත් බවද කියා ඇත. මීට අමතරව රාශින්ට අදාලව වෘශ්චික රාශිය ජල ගුණ ඇති රාශියක් බව පවසා ඇත.

වෘෂ්චික සහ ධනු රාශිය සම්බන්ධව පරාශර මතය
බෘහත් පරාශර හෝරා සාරංශශේඛරයේ ප්‍රථම භාගයේ තුන්වන ආධ්‍යායේ

ශ්ලෝක අංක 17/18 මෙසේ දක්වා ඇත.
ශ්ලෝක අංක 17
රොමස්වාඩ්යො’ති තීක්ෂණාංගො වෘශ්චිකස්‍ය කුජාධිප:
පෘෂ්ඨද්වයි ත්වථ ධනුර්ගුරුස්වාමීච සාත්වික:

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
රෝම අධිකව ඇත. අති තියුණු ශරීරයකි. කුජ ග්‍රහයා අධිපතීත්වය දරනු ඇත.
ධනු රාශිය පිටින් උදාවන රාශියකි. ගුරු අධිපති වන අතර සාත්වික ගුණයෙන් යුක්තය.

ශ්ලෝක අංක 18
පිංගලො නිශි වීර්යාඪ්‍ය: පාචක: ක්ෂත්‍රීයො ද්විපාත්
ආදාවංතෙ චතුෂ්පාද: සමගාත්‍රො ධනුර්ධර:

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
ධනු රාශිය පිඟුවන් පැහැය හෙවත් රතට හුරු දුඹුරු පැහැයෙන් යුක්තයි. රාත්‍රී බල ඇති රාශියකි. අග්නි භූතයට හිමිකම් කියයි. ක්ෂත්‍රීය වංශිකයි. ආදියෙහි දෙපාදයි. අන්තයෙහි චතුෂ්පාදයි. සම රාශියකි. දුනු දරයි.

මේ අනුව වෘශ්චික රාශිය
01 සංකේතය හිසින් උදාවන හිස ප්‍රදේශය ඉහලටත් වල්ග ප්‍රදේශය පහලටත් සිටින සේ නිර්මාණය වු ගෝනුස්සෙකුගේ ලක්ෂණ පෙන්වන රූපයකි.
02 කුජ ග්‍රහයා අධිපතීත්වය දරණු ඇත.
03 උතුරු දිශාවට හෙවත් සොමි දිග දිශාවට බලවත් වේ.
04 සිදුරු සහිත භූමිය සමීපයේ හෝ ගල් ගොඩවල් ඇති ස්ථානවල විෂ සහිත පනුවන් ගැවසෙන වලවල් අසල සැරි සැරීම වාස භවන බව ද පැවසේ.
05 හිසින් උදාවන රාශියකි.
06 සෞම්‍ය රාශියකි.
07 බහු පාද සහිත කීට රාශියකි.
08 ස්ත්‍රී රාශියකි.
09 දිවා බලයෙන් යුතු රාශියකි.
10 සම හෙවත් ඉරට්ටේ රාශියකි.
11 රන්වන් වර්ණය නිවේදනය කරයි.
12 තිර රාශියකි.
13 ජල ගති ඇති රාශියකි.
14 බාහිර ගත රාශියකි.
15 දීර්ඝ රාශියකි.
16 ඌර්ධව මුඛ රාශියකි.
17 ”මූල” හෙවත් ශාක ආදියක් නිවේදනය කරයි.
18 බ්‍රාහ්මණ හෙවත් උපදේශණ කරන පන්තිය නිවේදනය කරයි.
19 තමස් ගති ඇති රාශියකි.
20 ”වා” ධාතුව නිවේදනය කරයි.

කවි අංක 25 ධනු රාශියේ ස්වරූපය

 

 

 

 

 

 

 

 

 

 

25
දුනු ගත් නරයෙකුගෙ උඩු කය පෙරට         ඇ         ති
අපර බාගෙ තුරඟෙකුගෙ කඳින්                  යු          ති
පිටින් උදා පිඟු පැහැ පෙරදිග                     වෙසෙ   ති
දනු රැස රෑට බලවෙයි පිතට                       අදිප      ති

ධනු රාශියෙන් මිනිස් හිස ප්‍රදේශය පසුපසටත් අශ්වයාගේ වල්ග ප්‍රදේශය ඉදිරිපසටත් සිටින සේ ඉදිරිපස කාය චතුෂ්පාද අශ්ව කඳකින් ද, පසුපස කාය දුන්නක් අත දරාගත් මිනිස් කායකින්ද නිර්මාණය වු රූපයක් නිරූපණය කරන අතර ධනු රාශියට හිමි වර්ණය ”පිඟුවන් පැහැය හෙවත් රතට හුරු දුඹුරු පැහැයෙන් යුක්ත” බව ද, දක්වා ඇත. එමෙන්ම ධනු රාශිය පිටින් උදාවන රාශියක් බව දක්වා ඇති අතර ඒ නිසාම ධනු රාශිය නිරූපණය කල අශ්වයාගේ පසුපස කාය ඉදිරියටත් දුනු දරාගත් මිනිස් අර්ධ කාය පසුපසටත් පවතින සේ නිර්මාණය වී ඇත. ”පෙර දිග” ලෙසින් දක්වා ඇත්තේ ධනු රාශිය නැගෙනහිර දිශාවට බලවත් බව ය. (මෙහිදි විවිධ ජ්‍යොතිෂ ග්‍රන්ථවල නැගෙනහිර දිශාව නිවේදනය කරන විවිධ නම් දැකිය හැකි අතර ජාතක රත්නාකරයේ ”පෙර දිග” ලෙසින්ද, ජාතක පරිජාතකයේ පූර්ව දිශාව ලෙසින්ද, බෘහත්පරාශරයේ පෙරදිග දිශාව ලෙසින් ද, ජීවිතය හා ග්‍රහයෝ ග්‍රන්ථයේ යම් වැරදීමකින් වයඹ දිශාව ලෙසින්ද, නැගෙනහිර දිශාවට පර්යාය නාමයන් ඉදිරිපත් කර ඇත.) එමෙන්ම ඇත්, අස්, රථ වාහනයන්ගෙන් ගැවසුන සාමාන්‍ය බිමෙහි වාසය කරන බවද, තව දුරටත් බැලීමේදී ධනු රාශිය රාත්‍රී කාලයට බලවත් බවද කියා ඇත. මීට අමතරව රාශින්ට අදාලව ධනු රාශිය පිතට අධිපති බව පෙන්වන රාශියක් බවද පවසා ඇත.

ධනු සහ මකර රාශිය සම්බන්ධව පරාශර මතය
බෘහත් පරාශර හෝරා සාරංශශේඛරයේ ප්‍රථම භාගයේ තුන්වන ආධ්‍යායේ

ශ්ලෝක අංක 19/20 මෙසේ දක්වා ඇත.
ශ්ලෝක අංක 19
පූර්වස්ථො වසුධාවාරි තෙජ ස්වන්පෘෂ්ටතාද්ගමා
මදාධිපස්තමි භෞමි යාම්‍යෙව ච නිශි වීර්යවාන්

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
ධනු රාශිය නැගෙනහිරට බලවත් වේ. භූමියේ හැසිරේ. තේජවන්තයි. පිටින් උදාවන රාශියකි.
මකර රාශියට සෙනසුරු අධිපති වේ. තමස් ගුණයෙන් යුක්තයි. දකුණු දිශාවට බලවත් වේ. රාත්‍රී බලය සහිතයි.

මේ අනුව ධනු රාශිය
01 සංකේතය පිටින් උදාවන මිනිස් අර්ධකාය ප්‍රදේශය පසු පසටත් අශ්ව අර්ධකාය ප්‍රදේශය ඉදිරියටත් සිටින සේ
නිර්මාණය වු දුනු දරාගත් අර්ධ මිනිස් සහ චතුර්පාද අර්ධ අශ්ව ලක්ෂණ පෙන්වන රූපයකි.
02 ගුරු ග්‍රහයා අධිපතීත්වය දරණු ඇත.
03 නැගෙනහිර දිශාවට හෙවත් පෙරදිග දිශාවට බලවත් වේ.
04 ඇත්, අස්, රථ වාහන ආදියෙන් ගැවසුන  සටන් සහිත භූමිය සමීපයේ සැරිසැරීම වාස භවන බව ද පැවසේ.
05 පිටින් උදාවන රාශියකි.
06 කෲර රාශියකි.
07 චතුස් පාද සහිත නර සත්ව රාශියකි.
08 පුරුෂ රාශියකි.
09 රාත්‍රී බලයෙන් යුතු රාශියකි.
10 විසම හෙවත් ඔත්තේ රාශියකි.
11 රතට හුරු දුඹුරු වර්ණය නිවේදනය කරයි.
12 උභය රාශියකි.
13 ගිනි ගති ඇති රාශියකි.
14 ගර්භ ගත රාශියකි.
15 මධ්‍යම රාශියකි.
16 අධෝ මුඛ රාශියකි.
17 ”ජීව” හෙවත් ප්‍රාණ ආදියක් නිවේදනය කරයි.
18 පාළක හෙවත් ක්ෂත්‍රීය පන්තිය නිවේදනය කරයි.
19 සාත්වික ගති ඇති රාශියකි.
20 ”සෙම්” ධාතුව නිවේදනය කරයි.

කවි අංක 26 මකර රාශියේ ස්වරූපය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


26
මුව මුහුණින් යුත් මෝරෙකුගේ කඳ            වෙ         ති
පිටින් උදාවෙයි විසිතුරු පැහැය                  ඇ           ති
රෑට බලය වැඩිවෙයි යම දිග                       වෙසෙ    ති
රාසිය මකර වාදොසි බූමි දා                       වෙ         ති

මකර රාශියෙන් ඉදිරිපස ප්‍රදේශය පාද රහිත මෝරෙකුගේ වල්ගය සහ කඳින්ද, පසුපස ප්‍රදේශය ද්විපාද මුව මුහුණක්ද සිටිනසේ  නිර්මාණය වු රූපයක් නිරූපණය කරන අතර මකර රාශියට හිමි වර්ණය ”විචිත්‍ර වර්ණ පැහැයෙන් යුක්ත” බව ද, දක්වා ඇත. එමෙන්ම මකර රාශිය පිටින් උදාවන රාශියක් බව දක්වා ඇති අතර ඒ නිසාම මකර රාශිය නිරූපණය කල මෝරාගේ වල්ගය සහිත කඳ ඉදිරියටත් ද්විපාද මුව සහිත අර්ධකාය කාය පසුපසටත් පවතින සේ නිර්මාණය වී ඇත. ”යම දිග” වෙසෙති ලෙසින් දක්වා ඇත්තේ මකර රාශිය දකුණු දිශාවට බලවත් බව ය. (මෙහිදි විවිධ ජ්‍යොතිෂ ග්‍රන්ථවල දකුනු දිශාව නිවේදනය කරන විවිධ නම් දැකිය හැකි අතර ජාතක රත්නාකරයේ ”යම දිග” ලෙසින්ද, ජාතක පරිජාතකයේ දක්ෂිනේ ලෙසින්ද, බෘහත්පරාශරයේ දකුණු දිග දිශාව ලෙසින් ද, ජීවිතය හා ග්‍රහයෝ ග්‍රන්ථයේ යම් වැරදීමකින් උතුරු දිශාව ලෙසින්ද, දකුණු දිශාවට පර්යාය නාමයන් ඉදිරිපත් කර ඇත.) එමෙන්ම ගංගා, ඇල, දොළ. වතු සහ වනගත ප්‍රදේශ ආදියේ වාසය කරන බවද, තව දුරටත් බැලීමේදී මකර රාශිය රාත්‍රී කාලයට බලවත් බවද කියා ඇත.

ශ්ලෝක අංක 20
පෘෂ්ටොදයි බෘහද්ගාත්‍ර:කර්බුරො වනභුවර:
ආදෞ චතුෂ්පාදංතෙ තු ද්විපාදො ජල ගොමත:

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
මකරය පිටින් උදාවන රාශියකි. දීර්ග ශරීරයකි. ”කඹුරු පැහැය” හෙවත් මද සුදු පැහැයට හුරු කහ පැහැයෙන් යුක්තයි. වන භූමියෙහි හැසිරේ. පසුපස සිවු පාදයි. ඉදිරියෙහි පාද රහිත බව කියවේ. ජල භූතයට හිමි වේ.

මේ අනුව මකර රාශිය
01 සංකේතය පිටින් උදාවන ඉදිරිපස ප්‍රදේශය පාද රහිත මෝරෙකුගේ වල්ගය සහ කඳින්ද, පසුපස ප්‍රදේශය ද්විපාද මුව මුහුණක්ද සිටිනසේ  නිර්මාණය වු ලක්ෂණ පෙන්වන රූපයකි.
02 සෙනසුරු ග්‍රහයා අධිපතීත්වය දරණු ඇත.
03 දකුණු දිශාවට හෙවත් යමදිග දිශාවට බලවත් වේ.
04 ගංගා, ඇල, දොළ. වතු සහ වනගත ප්‍රදේශ සහිත භූමිය සමීපයේ සැරිසැරීම වාස භවන බව ද පැවසේ.
05 පිටින් උදාවන රාශියකි.
06 සෞම්‍ය රාශියකි.
07 ද්වි පාද සහිත සත්ව රාශියකි.
08 ස්ත්‍රී රාශියකි.
09 රාත්‍රී බලයෙන් යුතු රාශියකි.
10 සම හෙවත් ඉරට්ටේ රාශියකි.
11 විචිත්‍ර වර්ණය නිවේදනය කරයි.
12 චර රාශියකි.
13 පඨවි ගති ඇති රාශියකි.
14 ද්වාර ගත රාශියකි.
15 මධ්‍යම රාශියකි.
16 තීර්යක් මුඛ රාශියකි.
17 ”ධාතු” හෙවත් පොළොවෙන් ලැබෙන ඛණිජ ද්‍රව්‍ය සහ බඩු භාණ්ඩ නිවේදනය කරයි.
18 ශුද්‍ර හෙවත් කම්කරු පන්තිය නිවේදනය කරයි.
19 රජස් ගති ඇති රාශියකි.
20 ”පිත්” ධාතුව නිවේදනය කරයි.

පිටුව අංක 05
කවි අංක 27 සහ කවි අංක 28 රාශි ස්වරූප

කවි අංක 27 කුම්භ රාශියේ ස්වරූපය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

27
නරයෙකු බඳුවෙ හිස් කලයක් කරෙහි         ඇ          ති

සිරසින් උදාවෙයි දහවල් බල                     වැඩෙ     ති
වරුණෙන් දුඹුරු යුතු වෙයි පෑල දිග            වෙසෙ   ති
කුඹු රැස වායු දාතු ය තිදොස් හිමි                වෙ        ති

කුම්භ රාශියෙන් හිස් කලයක් කර තබා ගත් මිනිසෙකු සිටිනසේ  නිර්මාණය වු රූපයක් නිරූපණය කරන අතර කුම්භ රාශියට හිමි වර්ණය ”පිඟුවන් වර්ණ හෙවත් දුඹුරු වර්ණ පැහැයෙන් යුක්ත” බව ද, දක්වා ඇත. එමෙන්ම කුම්භ රාශිය හිසින් උදාවන රාශියක් බව දක්වා ඇති අතර ඒ නිසාම කුම්භ රාශිය නිරූපණය හිස් කළයක් කර තබා ගත් මිනිසාගේ හිස ඉහලටත් ඔහුගේ දෙපා පහලටත් පවතින සේ නිර්මාණය වී ඇත. ”පෑල දිග” වෙසෙති ලෙසින් දක්වා ඇත්තේ කුම්භ රාශිය බස්නාහිර දිශාවට බලවත් බව ය. (මෙහිදි විවිධ ජ්‍යොතිෂ ග්‍රන්ථවල බස්නාහිර දිශාව නිවේදනය කරන විවිධ නම් දැකිය හැකි අතර ජාතක රත්නාකරයේ ”පෑල දිග” ලෙසින්ද, ජාතක පරිජාතකයේ පශ්චිම ලෙසින්ද, බෘහත්පරාශරයේ පශ්චිම දිශාව ලෙසින් ද, ජීවිතය හා ග්‍රහයෝ ග්‍රන්ථයේ යම් වැරදීමකින් උතුරු දිශාව ලෙසින්ද, බස්නාහිර දිශාවට පර්යාය නාමයන් ඉදිරිපත් කර ඇත.) එමෙන්ම ගෙපිල් ආදියේ හෝ ජල මැද ප්‍රදේශ ආදියේ වාසය කරන බවද, තව දුරටත් බැලීමේදී කුම්භ රාශිය දිවා කාලයට බලවත් බවද කියා ඇත.

කුම්භ සහ මීන රාශිය සම්බන්ධව පරාශර මතය
බෘහත් පරාශර හෝරා සාරංශශේඛරයේ ප්‍රථම භාගයේ තුන්වන ආධ්‍යායේ
ශ්ලෝක අංක 21/22 මෙසේ දක්වා ඇත.

ශ්ලෝක අංක 21
කුංභ: කුංහි නරො බහ්‍රැවර්ණ මධ්‍ය තනුර්ද්විපාත්
ද්‍යුවීර්යා ජල මධ්‍යස්ථො වාතශීර්ශොදයි තම:

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
හිස් කලයක් කර තබාගත් මිනිසෙකු නිවේදනය කරයි. රතට හුරු දුඹුරු පැහැති පිඟුවන් වර්ණය නිවේදනය කරයි. සම රාශියකි. ද්වීපාද යි. දිවා බල ඇති රාශියකි. ජලය මධ්‍යයේ වාසය කරයි. වායෝ භූතයෙන් යුක්තයි. තමස් ගුණ ඇති හිසින් උදාවන රාශියකි.

ශ්ලෝක අංක 22
ශුද්‍ර: පශ්චිම දෙශස්‍ය ස්වාමි දෛවාකරි: ස්මෘත:
මීනෞ පුච්ඡාස්‍ය සංලග්නෞ මීන රාශිර්දිවා බලි

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
කුම්භය ශුද්‍ර වංශය නිවේදනය කරයි. බටහිර දිශාවට බලවත් වේ. සෙනසුරු අධිපතිත්වය දරනු ඇත.
මීනය මත්ස්‍ය යුවලක වාලධිය සම්බන්ධ ලග්න යුග්මයි. එක් මතස්‍යයෙකුගේ මුඛය අනික් මතස්‍යාගේ වලිගය දෙසට හරවා විපර්යාසයෙන් සිටින මත්ස්‍ය යුගලකට සමාන රූපයක් නිවේදනය වේ. මීනය දිවා බල රාශියකි.

මේ අනුව කුම්භ රාශිය
01 සංකේතය හිසින් උදාවන හිස් කළයක් කර තබාගත් මිනිසෙකු සිටිනසේ  නිර්මාණය වු ලක්ෂණ පෙන්වන රූපයකි.
02 සෙනසුරු ග්‍රහයා අධිපතීත්වය දරණු ඇත.
03 බටහිර දිශාවට හෙවත් පෑලදිග දිශාවට බලවත් වේ.
04 ගෙපිලේ හෝ ජල මැද ප්‍රදේශ සහිත භූමිය සමීපයේ සැරිසැරීම වාස භවන බව ද පැවසේ.
05 හිසින් උදාවන රාශියකි.
06 කෲර රාශියකි.
07 ද්වි පාද සහිත නර රාශියකි.
08 පුරුෂ රාශියකි.
09 දිවා බලයෙන් යුතු රාශියකි.
10 විසම හෙවත් ඔත්තේ රාශියකි.
11 රතට හුරු දුඹුරු පැහැති පිඟුවන් වර්ණය නිවේදනය කරයි.
12 තිර රාශියකි.
13 වායෝ ගති ඇති රාශියකි.
14 බාහිර ගත රාශියකි.
15 භ්‍රෂ්ව හෙවත් කෙටි රාශියකි.
16 ඌර්ධව මුඛ රාශියකි.
17 ”මූල” හෙවත් ශාක ආදියක් නිවේදනය කරයි.
18 ශුද්‍ර වංශය නිවේදනය කරන බව පරාශරය පවසයි. නමුත් වෛශ්‍ය හෙවත් වෙළඳ පන්තිය නිවේදනය කරන බව ජාතක පරිජාතකය ප්‍රකාශ කරයි.
19 තමස් ගති ඇති රාශියකි.
20 ”වා” ධාතුව නිවේදනය කරයි.

කවි අංක 28 මීන රාශියේ ස්වරූපය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

28
මින් යුවලක් බඳුවෙ අග මුල මාරූ               ඇ          ති

ගංගා මුහුදු වල වාසය සුදු                          පැහැ      ති
සැන් දෑ දෙකේ බලවෙ දෙපසින් උදා           වෙ        ති
තුන්දොස් සමවෙ මීනය ජලදාතු                 ග           ති

මීන රාශියෙන් විපරීත ලෙසින් උඩ යට මාරුවී සිටින එකෙකුගේ මුවින් අනිකාගේ වල්ගය අල්ලාගෙන සිටින මාළුවන් දෙදෙනෙකුගෙන් නිර්මාණය වු රූපයක් නිරූපණය කරන අතර මීන රාශියට හිමි වර්ණය ”සුදු පැහැයෙන් යුක්ත” බව ද, දක්වා ඇත. එමෙන්ම මීන රාශිය හිසින් සහ පිටින් උදාවන ද්විත්ව ගති සහිත රාශියක් බවද දක්වා ඇති අතර ඒ නිසාම මීන රාශිය නිරූපණය කරන මාළුවන් දෙදෙනා එකිනෙකාට විපරීත ලෙසින් උඩ යට මාරු වී හිසවල් දෙක සහ වල්ග දෙකද  විපරීත ලෙසින් දෙපැත්තට පවතින සේ නිර්මාණය වී ඇත. ”සැන්දෑ දෙකෙ” බලවත් වෙති ලෙසින් දක්වා ඇත්තේ මීන රාශිය දිවා සහ රාත්‍රී යන කාල දෙකේම බලවත් බව ය. එමෙන්ම ගංගා මුහුදු ආදියේ ආදියේ වාසය කරන බවද , තව දුරටත් බැලීමේදී මීන රාශිය තුල ජල ගතිය බලවත් බවද කියා ඇත.

මීන රාශිය සම්බන්ධව පරාශර මතය
බෘහත් පරාශර හෝරා සාරංශශේඛරයේ ප්‍රථම භාගයේ තුන්වන ආධ්‍යායේ
ශ්ලෝක අංක 23/24 මෙසේ දක්වා ඇත.

ශ්ලෝක අංක 23
ජලී සත්ව ගුණාඪ්‍යශ්ව ස්වස්ථො ජලචරො ද්විජ
අපදො මධ්‍ය දෙහීව සෞම්‍යස්ථොද්‍යු භයොදයි

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
මීන රාශිය ජල භූතයට හිමියි. සාත්වික ගුණයෙන් යුක්තයි. සුඛිතයි. ජලයේ වාසය කරයි. බ්‍රාහ්මණ වංගීකයි. පාද රහිතයි. සම රාශියකි. උතුරු දිශාවට බලවත් වේ. දිවා බලයෙන් (සන්ධ්‍යා බලයෙන්) යුක්ත අතර පිටින් හා හිසින් උදාවන ද්විස්වභා රාශියකි.

ශ්ලෝක අංක 24
සුරාචාර්යාධි පශ්චාස්‍ය රාශිනාං ගදිතංමයා
ත්‍රිංශද්භ ගණාත්මක: ස්ථුල සූක්ෂ්මාකර ඵලායව

මෙහි අර්ථය මෙසේ දක්වා ඇත.
මීන රාශිය ගුරුට හිමියි. ඉහතින් දැක්වූයේ රාශි දොළොසේ ගුණ සමුදායයි.

මේ අනුව මීන රාශිය
01 සංකේතය විපරීත ලෙසින් උඩ යට මාරුවී සිටින එකෙකුගේ මුවින් අනිකාගේ වල්ගය අල්ලාගෙන සිටින මාළුවන්  දෙදෙනෙකුගෙන් නිර්මාණය වු ලක්ෂණ පෙන්වන රූපයකි.
02 ගුරු ග්‍රහයා අධිපතීත්වය දරණු ඇත.
03 උතුරු දිශාවට බලවත් වේ.
04 ගංගා මුහුදු සහ ජලාශවල සැරිසැරීම වාස භවන බව ද පැවසේ.
05 හිසින් සහ පිටින් උදාවන ද්වි ස්වභා රාශියකි.
06 සෞම්‍ය රාශියකි.
07 පාද රහිත රාශියකි.
08 ස්ත්‍රී රාශියකි.
09 දිවා සහ සැන්දෑ බලයෙන් යුතු රාශියකි.
10 සම හෙවත් ඉරට්ටේ රාශියකි.
11 සුදු පැහැති වර්ණය නිවේදනය කරයි. නිර්වර්ණ බවද සමහර තැන්වල දැක්වේ.
12 උභය රාශියකි.
13 ජල ගති ඇති රාශියකි.
14 ගර්භ ගත රාශියකි.
15 භ්‍රෂ්ව හෙවත් කෙටි රාශියකි.
16 අධෝ මුඛ රාශියකි.
17 ”ජීව” හෙවත් ප්‍රාණ ආදියක් නිවේදනය කරයි.
18 බ්‍රාහ්මණ හෙවත් උපදේශණ කරන පන්තිය නිවේදනය කරයි.
19 සාත්වික ගති ඇති රාශියකි.
20 ”සෙම්” ධාතුව නිවේදනය කරයි.

ජාතක රත්නාකරයේ කවි අංක 29 රාශිවලට හිමි දිශා

29       
අජ කේසර දුනු රැස් ඉඳුරේ                        වෙසෙ    ති
වෘෂභ කන්නි මකරය දකුණු දිග                 වෙසෙ   ති
මිතුන තුලා කුම්භය වරුණ හිමි                  වෙ        ති
කටක නුහුසු මීනය උතුරු දිග                    වෙ        ති

මේෂ (අජ) රාශිය, සිංහ (කේසර) රාශිය, ධනු (දුනු) රාශිය යන ගිනි රාශි තුන නැගෙනහිර (ඉඳුරු)  දිශාවට ද,
වෘෂභ රාශිය, කන්‍යා (කන්නි) රාශිය, මකර රාශිය යන පඨවි රාශි තුන දකුණු දිශාවට ද,
මිතුන රාශිය, තුලා රාශිය, කුම්භ රාශිය යන වායු රාශි තුන බස්නාහිර (වරුණ) දිශාවට ද,
කටක රාශිය, වෘෂ්චික (නුහුසු) රාශිය, මීන රාශිය යන ජල රාශි තුන උතුරු දිශාවට ද බලවත් වන බව මෙයින් කිය වේ.

ජාතක රත්නාකරයේ කවි අංක 30 සහ 31  ග්‍රහයන්ට හිමි උච්ච නීච රාශි

30       
ඉරුට මේස සඳු හට වේ ගව                       රා         සී
කුජට මකර බුදහට කන්නෑ                       රා          සී
ගුරුට කටක සිකුරුට මීනය                       රා         සී
සනිට තුලා වෙයි මෙලෙසින තඟු               රා         සී

මේෂ රාශියට රවි ද, වෘෂභ (ගව) රාශියට සඳු ද, මකර රාශියට කුජ ද, කන්‍යා රාශියට බුද ද, කටක රාශියට ගුරු ද, මීන රාශියට සිකුරු ද, තුලා රාශීයට සෙනසුරු ද, උච්ච (තඟු) රාශි බව මින් කිය වී ඇත.

31       
උච්ච රැසින් සත්වැන්නට පැමිණි                රැ          ස
නීච රැස වේය සැමටම එක                        විල        ස
පනිට මිතුනයද කේතුට දනු                       රා          ස
කියති පොරණැදුරො තඟු රාසිය                 විල       ස

සෑම උච්ච රාශියකින්ම හත්වැනි රාශිය එකී අදාල ග්‍රහයාට නීච රාශිය බව ද, මිතුන රාශිය රාහුට (පනිට) ද, ධනු රාශිය කේතුට ද, උච්ච(තඟු) රාශිය බව මින් දක්වා ඇත.

රාශින්ගේ ස්වරූපය පිළිබඳව ජාතක පරිජාතකයේ මතය

ජාතක පරිජාතකයේ පිටු අංක 08 ශ්ලෝක අංක 09  මෙසේ සඳහන් වේ.
ව්‍යත්‍යස්තොභයපුච්ඡ මස්තකයුතෞ මීනෞ ස කුම්භො නරතෞස්ලී
චාපධරස්තුරංඝජඝනො නක්‍රො මෘගාස්‌්‍යො භවේත්
වීණාඪ්‍යං සගදං නෘයුග්මමබලා නෞස්ථා සසස්‍යානලා
ශෙෂා: ස්වස්වගුණාභිධානසදෘශා: සර්වෙ ස්වදෙශාශ්‍රයා:

එක මාළුවෙකුගේ මුඛය අනෙක් මාළුවාගේ වලිගය දෙසට හරවාගෙන උඩින් සහ යටින් විපර්යාස ලෙසින් සිටින මාළු යුවලකගේ ස්වරූපයක් මීන රාශිය නිරූපණය කරයි. හිස් කළයක් කර තබාගෙන සිටින මිනිසෙකු කුම්භ රාශියෙන් නිරූපණය කරයි. තරාදියක් අතින් ගත් මිනිසෙකු තුලා රාශියෙන් නිරූපණය කරයි.
දුන්නක අතින ගත් මිනිස් අර්ධකායක් සමග පශ්චාත් කාය පාද හතරකින් යුත් අශ්ව කායක් ධනු රාශියෙන් නිරූපණය කරයි. මුව හිසක් පෙරටුකරගත් පසුපස කාය මෝරෙකුට සමවූ රූපයක් තුලින් මකර රාශිය නිරූපණය වේ.
වීණාවක් සහ ගදාවක් අතින් ගත් මෛතුණ්‍යට සැරසුන ස්ත්‍රී පුරුෂ යුවලක් මිතුන රාශියෙන් නිරූපණය වේ. වී කරල් මිටියක් සහ පහණක් අතින් ගත් නැව් නැගි කාන්තාවක් කන්‍යා රාශියෙන් නිරූපණය වේ.
මෙහි සඳහන් නොවු අනිකුත් රාශීන් ස්වකීය ගුණයට හා නාමයට අදාලවූ ස්වරූප දරණ බවද, ස්වකීය පරිසරයට අයත් ගුණ ඇසුරු කරන බව ද දක්නට හැකි ය.

රාශින්ගේ ස්ථාන නිරූපණය පිළිබඳව ජාතක පරිජාතකයේ මතය

ජාතක පරිජාතකයේ පිටු අංක 09 ශ්ලෝක අංක 10 – 11 – 12 මෙසේ සඳහන් වේ.
ජාතක පරිජාතකයේ ශ්ලොක අංක 10
මෙෂස්‍ය ධාතුකරරත්නධරාතලං ස්‍යාත්
උක්ෂ්ණස්තු සානුකෘෂිගොකුලකානනානි
ද්‍යුතක්‍රියාරතිවිහාරම්හි යුගස්‍ය
වාපිතටාකපුලිනානි කුලීරරාශෙ:

මේෂ රාශිය එළුවෙකුගේ රුවට සමාන බව ද, වනරොදවල් ආශ්‍රිතව හැසිරෙන බව ද, කියා ඇත.
වෘෂභ රාශිය ගවයෙකුගේ රුවට සමාන බව ද, ගවගාල් සහ තණබිම් ආදියේ හැසිරෙන බව ද,
කටක රාශිය කකුළුවෙකුගේ රුවට සමාන බව ද, ජලයේ හෝ ජලය ආශ්‍රිතව හැසිරෙන බව ද,
සිංහ රාශිය සිංහයෙකුගේ රුවට සමාන බව ද, වනාන්තර හා ගල් ගුහා ආශ්‍රිතව සැරිසරන බව ද,
වෘශ්චික රාශිය ගෝනුස්සෙකුගේ රුවට සමාන බව ද, සිදුරු සහිත වැලි තලාවල සැරිසරන බව ද,
තත්කාල ප්‍රශ්ණ විමසීමේදී විමසුමට ලක්වූ භාණ්ඩයේ හෝ සත්වයාගේ හෝ ශාක ආදියක ස්වරූපය සහ එම දෑ පවතින ස්ථානය දැන ගැනීම උදෙසා මෙම රාශින්ගේ ස්වරූප සහ රාශින් සැරිසරන ස්ථාන ඉතා වැදගත් බව  සඳහන් වේ.

ජාතක පරිජාතකයේ ශ්ලොක අංක 11
කණ්ඨීරවස්‍ය ඝනශෛලගුහාවනානි
ෂෂ්ඨස්‍ය ශාද්බලවධූරතිශිල්පභූමි:
සර්වාර්ථසාර පුරපණ්‍යමහී තුලායා:
කීටස්‍ය චාෂ්මවිෂකීටබිලප්‍රදෙශා:

රන්, රිදී, තඹ, පිත්තල ආදී වූ ධාතු වර්ගයන් පවතින ස්ථානයන් ද, මැණික් පවතින රත්න භූමීන් ද, මේෂ රාශියේ වාසස්ථාන ලෙස නිරූපණය වේ. ගොවි ජනපදයන් ද, ගවගාල් ද, ගව රංවු සැරිසරනා ස්ථාන ද සහ වනාන්තර ආදිය වෘෂභ රාශියේ වාසස්ථානයන් ලෙස නිරූපණය වේ.
සූදූ පොළවල් ද, ස්ත්‍රී පුරුෂයන් මෛතුන්‍ය සේවනයේ හැසිරෙන ස්ථානයන් ද, මිතුන රාශියේ වාසස්ථාන ලෙස නිරූපණය වේ.
වැව් පොකුනු ආදි ජලාශයන් ද, ජලාශ්‍රිත වැලි තලාවන් ද, කටක රාශියේ වාසස්ථාන ලෙස නිරූපණය වේ.

ජාතක පරිජාතකයේ ශ්ලොක අංක 12
ඡාපස්‍ය වාජිරථවාරණවාසභූමි:

ඵණානනස්‍ය සරිදම්බුවන ප්‍රදේශා:
කුම්භස්‍ය තොයඝටභාණ්ඩගෘහස්ථලානි
මීනාධිවාසසරිදම්බුධිතොයරාශි:

ගණ වනාන්තර සහ ගල් ගුහා ආදිය සිංහ රාශියේ වාසස්ථාන ලෙස නිරූපණය වේ. නීල වර්ණ තෘණ භූමී, ක්‍රීඩාංගණ, සියළු අධ්‍යාපනික කටයුතු සිදුකරන ස්ථානයන් කන්‍යා රාශියේ වාසස්ථාන ලෙස නිරූපණය වේ.
සියළු බඩුභාණ්ඩ සපිරි නාගරික වෙළඳපොළ සහිත භූමිය තුලා රාශියේ වාසස්ථාන ලෙස නිරූපණය වේ. ගල් ගොඩවල් සහ විෂ සහිත පණුවන් ගැවසෙන වලවල් සහිත බූමී භාගයන් වෘශ්චික රාශියේ වාසස්ථානය ලෙස නිරූපණය වේ.
ඇත්, අශ්ව ආදි රථවාහන ආදියෙන් පිරි ස්ථානයන් ධනු රාශියේ වාසස්ථාන ලෙස නිරූපණය වේ. ගංගා ඇළදොල ආදී ජල පෝෂිත වන ප්‍රදේශ මකර රාශියේ වාසස්ථාන වේ. එමෙන්ම ජලය පිරි කළ ගෙඩි, ගෙපිල් ආදි ස්ථානයන් කුම්භ රාශියේ වාසස්ථාන ලෙස නිරූපණය වේ. මාළුවන් සැරිසරන ගංගා ඇළදොල මුහුදු ආදී ජල ආශ්‍රීත ස්ථානයන් මීන රාශියේ වාසස්ථාන ලෙස නිරූපණය වේ.

රාශින්ගේ භ්‍රස්ව දීර්ඝ සහ ස්ත්‍රී පුරුෂ ආදිය නිරූපණය පිළිබඳව ජාතක පරිජාතකයේ මතය

ජාතක පරිජාතකයේ පිටු අංක 10 – 11 මෙසේ සඳහන් වේ.
ජාතක පරිජාතකයේ ශ්ලොක අංක 13

භ්‍රස්වා ගො’ජඝටා: සමා මෘගනෘයුක්චාපාන්ත්‍යකර්කාටාකා:
දීර්ඝා වෘශ්චිකකන්‍යකාහරිතුලා මේෂාදිපුංයොෂිතෞ
ප්‍රාගාදික්‍රියගොනෘයුක්කටකභාන්‍යෙතානි කොණාන්විතා
න්‍යාහු: ක්‍රෑරශුභෞ චරස්ථිරතරද්වන් ද්වානි තානි ක්‍රමාත්

වෘෂභ, මේෂ, කුම්භ සහ මීන යන රාශීන් භ්‍රෂ්ව හෙවත් ලඝු හෙවත් කෙටි ශරීරයක් සහිත රාශින් වේ. මකර, මිතුන, කටක සහ ධනු යන රාශින් සම ශරීරයක් සහිත රාශින් වේ. වෘෂ්චික, කන්‍යා, සිංහ, තුලා යන රාශි දීර්ඝ හෙවත් මහත ශරීරයකට හිමිකම් කියන බවද කියවේ.
මේෂ, වෘෂභ ආදී රාශින් අනුපිළිවෙලින් පුරුෂ සහ ස්ත්‍රී ලෙසින් නිරූපණය වේ. ඒ අනුව මේෂ, මිතුන, සිංහ, තුලා, ධනු, කුම්භ යන රාශි හය පුරුෂ රාශි ලෙස ද, වෘෂභ, කටක, කන්‍යා, වෘෂ්චික, මකර සහ මීන යන රාශි හය ස්ත්‍රී රාශි ලෙසින් ද නිරූපණය වේ.
මේෂ, සිංහ සහ ධනු යන එකිනෙකට ත්‍රිකෝණවන ගිනි හෙවත් තේජෝ රාශි තුන නැගෙනහිර දිශාවට බලවත් බව ද, වෘෂභ, කන්‍යා සහ මකර යන එකිනෙකට ත්‍රිකෝණවන පඨවි රාශි තුන දකුණු දිශාවට බලවත් බව ද, මිතුන, තුලා සහ කුම්භ යන එකිනෙකට ත්‍රිකෝණවන වායු රාශි තුන බස්නාහිරට බලවත් බව ද, කටක, වෘශ්චික සහ මීන යන එකිනෙකට ත්‍රිකෝණවන ජල රාශි තුන උතුරු දිශාවට බලවත් බව ද, දැක්වේ.
මී ලඟට මේෂ වෘෂභ ආදී වු රාශි දොළොස පිළිවෙලන් කෲර සහ සෞම්‍ය ලෙසින් ද නිවේදනය වේ. මේ අනුව මේෂ, මිතුන, සිංහ, තුලා, ධනු, කුම්භ යන රාශි හය කෲර රාශි ලෙස ද, වෘෂභ, කටක, කන්‍යා, වෘෂ්චික, මකර සහ මීන යන රාශි හය සෞම්‍ය රාශි ලෙසින් ද නිරූපණය වේ.
එලෙසින්ම මේෂ, වෘෂභ, මිතුන ආදි රාශි දොළොස පිළිවෙලින් චර, තිර සහ උභය ලෙසින් ද නිරූපණය වේ. මේ අනුව මේෂ, කටක, තුලා සහ මකර යන එකිනෙකට කේන්ද්‍ර ගත වූ රාශි හතර චර රාශි ලෙසින් ද, වෘෂභ, සිංහ, කන්‍යා සහ කුම්භ යන එකිනෙකට කේන්ද්‍ර ගත වූ රාශි හතර තිර රාශි ලෙසින් ද, මිතුන, කන්‍යා, ධනු සහ මීන යන එකිනෙකට කේන්ද්‍ර ගත වූ රාශි හතර උභය රාශි ලෙසින් ද නිරූපණය වේ.
යම් කිසි රාශියක් නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවීමට වැඩි කාලයක් අත්පත් කර ගනී නම් එවැනි රාශින් දීර්ඝ රාශි ලෙසින් හැඳින්වේ. එමෙන්ම යම් කිසි රාශියක් නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවීමට සමාන්‍ය කාලයක් පමණක් අත්පත් කර ගනී නම් එවැනි රාශි සම රාශි ලෙසින් ද, එමෙන්ම යම් කිසි රාශියක් නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවීමට ඉතා අඩු  කාලයක් පමණක් අත්පත් කර ගනී නම් එවැනි රාශි භ්‍රෂ‍්ව හෙවත් කෙටි රාශි ලෙසින් ද, හැඳින්වේ. කෙසේ වෙතත් නැගෙනහිර ක්ෂිතිජයෙන් රාශියක් උදාවීමට ගතවන කාලය කොපමණදැයි බලා ගන්නේ කෙසේ ද යන්න ඔබට ගැටළුවක් විය හැකියි. එය නිවැරදිව තේරුම් ගැනීමට ජාතක පරිජාතකයේ පිටු අංක 55 දක්වා ඇති රාශ‌්‍යෝදය ප්‍රමාණයන් අධ්‍යනය කරන්න. ජාතක පරිජාතකයේ රාශ‌්‍යෝදයට අනුව රාශ‌්‍යෝද ප්‍රමාණය මෙලෙස දක්වා ඇත.
මේෂ සහ මීන රාශි දෙකට භාග 20 (සිංහල පැය 03 විනාඩි 20) (භ්‍රෂ්ව හෙවත් කෙටි රාශි)
වෘෂභ සහ කුම්භ රාශි දෙට භාග 24 (සිංහල පැය 04 විනාඩි 00) (භ්‍රෂ්ව හෙවත් කෙටි රාශි)
මිතුන සහ මකර රාශි දෙකට භාග 28 (සිංහල පැය 04 විනාඩි 40) (සම රාශි)
කටක සහ ධනු රාශි දෙකට භාග 32 (සිංහල පැය 05 විනාඩි 20) (සම රාශි)
සිංහ සහ වෘෂ්චික රාශි දෙකට භාග 36 (සිංහල පැය 06 විනාඩි 00) (දීර්ඝ රාශි)
කන්‍යා සහ තුලා රාශි දෙකට භාග 40 (සිංහල පැය 06 විනාඩි 40) (දීර්ඝ රාශි)
(භාග ගණනක් සිංහල පැය විනාඩි ආදියට පරිවර්ථනය කිරීමට භාග ගණන 10 න් වැඩි කර ලැබෙන පිළිතුර නැවත 60 න් බෙදිය යුතුය. එවිට අදාල භාග ගණනට අදාල සිංහල පැය විනාඩි ගණන ලැබෙනු ඇත.)
උපන් තැනැත්තෙකුගේ ඒ ඒ රාශි වලට අදාල අවයවයන්හි දිග වැඩි බව, සාමාන්‍ය බව හෝ කෙටි බව දැන ගැනීමට මෙන්ම තත්කාල ප්‍රශ්ණ වලදී අදාල භාණ්ඩවල දිග, පළල, උස ආදිය දැන ගැනීමට මෙම රාශීන්ගේ දීර්ඝ, සම, සහ භ්‍රෂ්ව හෙවත් කෙටි යන ස්වරූපයන් ඉතා වැදගත් වනු ඇත.
එමෙන්ම පුරුෂ රාශියක උපන් අයගේ තේජස උපරීම බව ද, ස්ත්‍රී රාශියක උපන් අය මෘදු ගුණයෙන් යුක්ත බව ද රාශින්ගේ ස්ත්‍රී, පුරුෂ ස්වභාවය අනුව අවබෝධ කර ගත හැකි වනු ඇත.
අස්ථාන ගතවු භාණ්ඩ ඇති දිශාව, සොරුන් පැන ගිය දිශාව, ගමන යා යුතු දිශාව, අර්ථ සිද්ධියක් සහිතව ගමනක් යා යුත්තේ කොයි දිශාවට ද යන්න රාශින්ට බලවත් වු දිශා අනුව නිගමනය කල හැකි වනු ඇත.
කෲර රාශියෙන් උපන්නා තුල කෲර ගති පවතින බවද, සෞම්‍ය රාශියකින් උපන්නා තුල සෞම්‍ය ගති පවතින බවද රාශින් තුල පවතින කෲර සෞම්‍ය ගුණ තුලින් නිගමනය කල හැකි වනු ඇත.
චර රාශියකින් උපන්නාගේ සිත නිතර චංචල ස්වභාවයෙන් පවතින බව ද, තිර රාශියකින් උපන්නාගේ සිත නිතර ස්ථිර ගති වලින් යුක්ත බව ද, උභය රාශියකින් උපන්නාගේ සිත නිතර තීරණයක් ගත නොහැකි වැනෙන ස්වරූපයකින් පවතින බව ද, අපට රාශින් තුල පවතින චර, තිර සහ උභය යන ගුණ තුලින් නිගමනය කළ හැකි වනු ඇත.

රාශින්ගේ උදා විධි සහ දිවා‌ රාත්‍රී බලය ආදිය නිරූපණය පිළිබඳව ජාතක පරිජාතකයේ මතය

ජාතක පරිජාතකයේ පිටු අංක 11 – 12 මෙසේ සඳහන් වේ.
ජාතක පරිජාතකයේ ශ්ලොක අංක 14
වීර්යෝපෙතා නිශි වෘෂනෘයුක්කර්කිචාපාජනක්‍රා:

හිත්වා යුග්මං භවන මපරෙ පෘෂ්ඨපූර්වොදයාශ්ව
ශෙෂා: ශීර්ෂොදය දිනබලා: ශ්‍රෙෂ්ඨතා රාශයස්තෙ
මීනාකාරද්වයමුභයත: කාලලග්නං සමෙති

වෘෂභ, මිතුන, කටක, ධනු, මේෂ, මකර යන රාශීන් රාත්‍රී කාලයේ බලවත් වෙති.
වෘෂභ, කටක, ධනු, මේෂ, මකර යන රාශි පිටින් උදාවන රාශි වන්නේය.
මිතුන, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, කුම්භ යන රාශි හිසින් උදාවන්නේ ය.
සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, කුම්භ යන රාශි දිවා කාලයේ බලවත් වන්නේ ය.
මීන රාශිය පමණක් හිසින් සහ පිටින් යන දෙපැත්තෙන්ම උදාවේ.
එ මෙන්ම මීන රාශිය සන්ධ්‍යා කාලයේ බලවත් වේ.
මෙම රාශින් තමන්ට හිමි  කාලයන් තුල ශ්‍රේෂ්ඨත්වයට පත්වන අතර තත්කාල ප්‍රශ්ණ විචාරයේදී භාණ්ඩ රැගෙන ගියේ ඉදිරිපසින්ද, නැතිනම් පිටුපසින්ද යන්න මෙන්ම අදාල පුද්ගලයන් පැමිණියේ ඉදිරිපසින්ද, පිටුපසින්ද යන්න විමසා බැලීමට මෙම උදා විධි සහ දිවා රාත්‍රී බල තුලින් නිගමනය කල හැකි වනු ඇත.

රාශින්ගේ ජලචර ආදී රාශි සංඥා නිරූපණය පිළිබඳව ජාතක පරිජාතකයේ මතය

ජාතක පරිජාතකයේ පිටු අංක 13 මෙසේ සඳහන් වේ.
ජාතක පරිජාතකයේ ශ්ලොක අංක 15
මිනාලීකර්කටමෘගා: සලීලාභිධානා

ස්තොයාශ්‍රයා ඝටවධූයුගගොපසං:ඥා:
නිස්තොයභුතලවරා: ක්‍රියචාපතෞලි
කණ්ඨිරවාශ්ව බභව: ප්‍රවදන්ති සන්ත:

මීන, වෘශ්චික, කටක, මකර යන රාශීන් ජලචර රාශීන් වේ.
කුම්භ, කන්‍යා, මිතුන, වෘෂභ යන රාශීන් ජලාශ්‍රිත රාශීන් වේ.
මේෂ, ධනු, තුලා, සිංහ යන රාශීන් නිර්ජල ස්වභාවය සහිත ගොඩබිම හැසිරෙන භූමීචාරී රාශි නම් වේ.

රාශින්ගේ චතුෂ්පාද ආදී රාශි සංඥා නිරූපණය පිළිබඳව ජාතක පරිජාතකයේ මතය

ජාතක පරිජාතකයේ පිටු අංක 13 මෙසේ සඳහන් වේ.
ජාතක පරිජාතකයේ ශ්ලොක අංක 16
චාපාපරාර්ධ හරි ගො මකරාදි මේෂා
මානසර්වතා බලයුතාශ්ව චතුෂ්පාදාඛ්‍යා:
කන්‍යා නෘයුග්මඝටතෞලිශරාසනාද්‍යා
ලග්නාන්විතා යදි නරා ද්විපදා බලාඪ්‍යා:

ධනු රාශියේ අපර අර්ධය ද,  සිංහ සහ වෘෂභ යන රාශි දෙක ද, මකර රාශියේ පූර්ව අර්ධය ද, මේෂ රාශිය ද චතුෂ්පාද හෙවත් සිවුපා රාශි වේ. මෙකී සිවුපා රාශි සය ජන්ම සටහනක දසවැන්නේ යෙදුන කල්හී ඉතා බලවත් බවින් යුක්ත වනු ඇත.
කන්‍යා, මිතුන, කුම්භ, තුලා, යන රාශින් ද, ධනු රාශියේ පූර්වාර්ධය ද ද්වී පාද වූ නර රාශින් වේ. මෙකී ද්වී පාද වූ නර රාශීන් පහ ලග්න රාශිය තුල යෙදුන කල්හී ඉතා බලවත් වේ.

ජාතක පරිජාතකයේ ශ්ලොක අංක 17
මෘගාපාරාර්ධන්ත්‍ය කුලීරසංඥා
ජලාභිධානා බලීනශ්වතුර්තෙ
ජලාශ්‍රයො වෘශ්චිකනාමධෙය:
ස සප්තමස්ථානගතො බලී ස්‍යාත්

මකර රාශියේ පූර්ව අර්ධය ද, මීන, කටක යන රාශි දෙක ද, ජලචර රාශි වේ. මෙකී ජලචර රාශි තුන ජන් සටහනක් තුල හතරවැන්නේ යෙදුන කල ඉතා බලවත් වේ.  
වෘශ්චික රාශිය ජලාශ්‍රිත වේ. ජලාශ්‍රිත රාශියක් වූ වෘශ්චිකය යම් ජන්ම සටහනක හත්වැන්නේ යෙදුන කල ඉතා බලවත් වේ.

රාශින්ගේ දිවාරාත්‍රී බලය පිළිබඳව ගර්ගාචාර්ය මතය සහ ජාතක පරිජාතකයේ මතය

ජාතක පරිජාතකයේ පිටු අංක 15 මෙසේ සඳහන් වේ.
ගර්ගාචාර්ය මතය

නෘයුක්තුලා ඝට: කන්‍යා පූර්වමර්ධං ව ධන්වින:
ලග්නස්ථා බලිතො නිත්‍යමෙතෙ හි නර රාශය:
චතුර්ථෙ කර්කටො මීනො මකරාර්ධං ච පශ්චිමේ
විඥෙයා බලිතො නිත්‍යමෙතෙ හි ජලරාශය:
සප්තමේ වෘශ්චික: කීටෝ බලවාන් පරිකීර්තිත:
ධනුෂොර්ධාජගොසිංහා බලිත: ඛෙ චතුෂ්පාද:
ප්‍රාගර්ධෙ නක්‍රාරාශෙශ්ව කෛශ්විද්දිග්බලමේව හි

ජාතක පරිජාතකයේ ශ්ලොක අංක 18

කේන්ද්‍රං ගතොහ්නි ද්විපාදො බලාඪ්‍ය:
චතුෂ්පාද: කේනද්‍රගතා රජන්‍යාම්
කීටාස්තු සර්වෙ යදි කණ්ටකස්ථා:
සන්ධිද්වයේ වීර්යයුතා භවන්ති

මෙම ශ්ලොකයෙන් කියවෙන්නේ 01,04,07,10 යන කේන්ද්‍ර ස්ථානවලට යෙදුන නර රාශීන් දිවා කාලයේ බලවත් වන බව ද,  එමෙන්ම 01,04,07,10 යන කේන්ද්‍ර ස්ථානවට යෙදුන සිවුපා රාශි රාත්‍රී කාලයේ බලවත් වන බව ද, එමෙන්ම කීට රාශියක් ලෙසින් අර්ථ ගැන්වුන වෘශ්චික රාශිය පමණක් නොව 01,04,07,10 යන කේන්ද්‍ර ස්ථානවල යෙදුන වෘශ්චික, කටක, මීන සහ මකර අපර අර්ධය ද, දෙසැන්දෑවේ (එළිවෙන පාන්දර යාමයේ සහ සවස ඉර බැසගෙන යන යාමයේ) බලවත් වන බව ය.

ශ්‍රී දේවකීර්ති ආචාර්යවරයාද පහත ශ්ලොකයෙන් එය සනාථකර ඇත.
මිතුනතුලකුම්භකන්‍යා දිවා බලා ධන්විනශ්ව පූර්යාර්ධම්
අජවෘෂසිංහා රාත්‍රෞ මෘගභයයො: පූර්වපශ්චාර්ධෙ
වෘශ්චිකමීනකුලීරා මකරාන්ත්‍යර්ධෙ ච සන්ධ්‍යායාම්

රාශින්ගේ ධාතු, මූල, ජීව ආදී සංඥා නිරූපණය පිළිබඳව ජාතක පරිජාතකයේ මතය

ජාතක පරිජාතකයේ පිටු අංක 16 මෙසේ සඳහන් වේ.
ජාතක පරිජාතකයේ ශ්ලොක අංක 19
ධාතුර්මූලං ජීවමිත්‍යාහුරාර්යා
මෙෂාදීනාමොජයුග්මෙ තතෛව

ස්වර්ණාද්ධාතුර්මෘත්තිකාන්තං තෘණාන්තං
වෘක්ෂාන් මූලං ජීවකූට: සජීව:

මේෂ, වෘෂභ, මිතුන ආදී වූ රාශි දොළොස පිළිවෙලින් ධාතු, මූල, ජීව යන සංඥා වශයෙන් වෙන්කර දක්වා ඇත.
මේෂ, කටක, තුලා සහ මකර යන චර රාශි හතර ධාතු සංඥාවන් නිවේදනය කරයි. රත්ත්‍රං වල සිට පොළොවෙන් ලබා ගන්නා මැටි දක්වා ඇති පාශාණ සහ ඛණිජ ද්‍රව්‍ය සියල්ලම ධාතු සංඥාවන්ට හිමි කම් කියනු ඇත.
වෘෂභ, සිංහ, වෘශ්චික සහ කුම්භ යන තිර රාශි හතර මූල සංඥාවන් නිවේදනය කරයි. මහා වෘක්ෂයන්ගේ සිට ඉතාම කුඩා තණකොල ගස දක්වා ශාකමය කොටස් සියල්ලම මූල සංඥාවන්ට හිමිකම් කියනු ඇත.
මිතුන, කන්‍යා, ධනු සහ මීන යන උභය රාශි හතර ජීව සංඥාවන් නිවේදනය කරයි. ප්‍රාණයක් සහිත සියළුම ජීව සමූහයා මිනිස් සත්ව ආදින් ජීව සංඥාවන්ට හිමිකම් කියනු ඇත.
ජන්ම කාලයේ උපත ලත් ස්ථානයේ තිබූ දේවල් හෝ යම් සොරකමකදී අස්ථාන ගතවූ දේවල් මොනවාද යන්න දැන ගැනීමට රාශින්ගේ මෙම ධාතු, මූල, ජීව යන සංඥා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

රාශින්ගේ රැකියාව නිවේදනය කරන වර්ණ ආදී සංඥා නිරූපණය පිළිබඳව ජාතක පරිජාතකයේ මතය

ජාතක පරිජාතකයේ පිටු අංක 17 මෙසේ සඳහන් වේ.
ජාතක පරිජාතකයේ ශ්ලොක අංක 20

මීනාලිවෘෂභා විප්‍රාශ්වාපාජහරයො නෘපා:
කුම්භයුග්මතුලා වෛශ්‍යා: ශුද්‍රා: ස්ත්‍රීමෘගකර්කටා:

මීන, වෘශ්චික සහ වෘෂභ  යන රාශි තුන බ්‍රාහ්මණ වර්ණ හෙවත් උපදේශණ රැකියාවන් නිවේදනය කරයි.
ධනු, මේෂ සහ සිංහ යන ගිණි රාශි තුන ක්ෂත්‍රීය වර්ණ හෙවත් පාළක රැකියාවන් නිවේදනය කරයි.
කුම්භ, මිතුන සහ තුලා යන වායු රාශි තුන වෛශ්‍ය වර්ණ හෙවත් වෙළඳ රැකියාවන් නිවේදනය කරයි.
කන්‍යා, මකර සහ කටක යන රාශි තුන ශුද්‍ර වර්ණ හෙවත් කම්කරු රැකියාවන් නිවේදනය කරයි.
ඇතැම් ගුරුකුළ සහ ආචාර්ය මත පරිදි වෘෂභ රාශිය බ්‍රාහ්මණ වර්ණ නොව ශුද්‍ර වර්ණ ලෙසින් ද, කටක රාශිය ශුද්‍ර වර්ණ නොව බ්‍රාහ්මණ වර්ණ ලෙසින්ද අර්ථ දක්වා ඇත. ඒ බව ”ප්‍රපඤ්චසාරය” පුස්ථකයේ මෙලෙසින් දක්වා ඇත.
ස්‍යු: කර්කටො වෘශ්චිකමීනරාශි විප්‍රා නෘප: සිංහකධන්වමෙෂා:
තුලා සකුම්භා මිතුනංච වෛශ්‍යා: කන්‍යා වෘෂො ‘ථොමකරශ්වශුද්‍රා:’ යනුවෙන් දක්වා ඇත.
එවිට,
මීන, වෘශ්චික සහ කටක  යන ජල රාශි තුන බ්‍රාහ්මණ වර්ණ හෙවත් උපදේශණ රැකියාවන් නිවේදනය කරයි.
කන්‍යා, මකර සහ වෘෂභ යන පඨවි රාශි තුන ශුද්‍ර වර්ණ හෙවත් කම්කරු රැකියාවන් නිවේදනය කරයි. යනුවෙන් දක්වා ඇත.

රාශින්ගේ අන්ධ බධිරාදී කාලයන් නිවේදනය පිළිබඳව ජාතක පරිජාතකයේ මතය

ජාතක පරිජාතකයේ පිටු අංක 17 මෙසේ සඳහන් වේ.
ජාතක පරිජාතකයේ ශ්ලොක අංක 21

සදා නිශාන්ධා: ක්‍රියගොමෘගෙෂා
මධ්‍යන්දිනෙ කර්කටයුග්මකන්‍යා:
පූර්වාහ්ණකාලෙ බධිරෞ තුලාලී
ධන්වී මෘගාභ්‍යශ්ව තථා’පරාහ්ණෙ

මේෂ, වෘෂභ, සිංහ යන රාශි තුන රාත්‍රී කාලය තුල අන්ධයෝ වෙති.
කටක, මිතුන, කන්‍යා යන රාශි තුන දිවා කාලයේ මධ්‍ය භාගයේ අන්ධයෝ වෙති.
තුලා, වෘශ්චික රාශි දෙක පෙරවරු කාලයේ බිහිරෝ වෙති.
ධනු, මකර රාශි දෙක පස්වරු කාලයේ බිහිරෝ වෙති.

මෙහිදි දවසකට සිංහල පැය 60 ක් පවතින අතර දිවා පැය 30 ක් සහ රාත්‍රී පැය 30 ක් ලෙසින් වෙන්වේ. මෙහිදි දිවා සිංහල පැය 30 තුල පළමු පැය 10 ක, කාලය පෙරවරු ලෙසින් ද, ඊලඟ පැය 10 ක, කාලය මධ්‍යම කාලය ලෙස ද, අන්තිම පැය 10 ක, කාලය පස්වරු ලෙස ද දැන ගත යුතුව ඇත.

ජාතක පරිජාතකයේ ශ්ලොක අංක 22
මෘගානනශ්වාපධරශ්ව පංගු
සන්ධිද්වයේ නාශකරෞ භවෙතාම්
ස්‍යාදෘක්ෂසන්ධි: කටකාලිමීන
භාන්තං ප්‍රගණ්ඩාන්තමිති ප්‍රසිද්ධම්

ධනු, මකර රාශි දෙක දෙසැන්දෑවේ පාංගු සංඥා සහිතයි. පාංගු සංඥා ලෙසින් කියවෙන්නේ එක් පයක් කොර වී ඇති බවයි. මෙම කාලය තුල විනාශය සිදුවන බව කියවේ. කටක, වෘශ්චික සහ මීන යන රාශින්ගේ අන්තය හෙවත් අග කොටස සෘක්ෂ සන්ධි හෙවත් ගණ්ඩාන්ත දෝෂය යෙදේ.
ධනු සහ මකර රාශි දෙක යෙදෙන දෙසැන්දෑව තුල සහ කටක, වෘශ්චික සහ මීන යන ගණ්ඩාණ්ත සන්ධිවල යම් අයෙක් උපත ලැබුවහොත් එකෙණෙහිම ජීවිතක්ෂයට පත්වීම හෝ කුළය මරණයට පත්වීම සිදුවන බව සඳහන්වේ. මේ සම්බන්ධව ”සාරාවලිය” ද මේ ආකාරයෙන් එය අනුමත කර ඇත.
“ජාතො නජීවති නරො මාතුරපථ්‍යො භවේත් ස්වකුලහන්තා
යදි ජීවති ගණ්ඩාණ්තෙ බහුගජතුරගො භවේත් භූප:”

රාශින්ගේ පාට හෙවත් වර්ණයන් නිවේදනය පිළිබඳව ජාතක පරිජාතකයේ මතය

ජාතක පරිජාතකයේ පිටු අංක 19 මෙසේ සඳහන් වේ.
ජාතක පරිජාතකයේ ශ්ලොක අංක 23

රක්තගෞරශුකකාන්තිපාටලා:
පාණ්ඩුචිත්‍රරුචිනීලකාඤ්චනා:
පිංගලා: ශබලබභ්‍රැපාණ්ඩුරා
ස්තුම්බුරාදිභවනෙෂු කල්පිතා:

මෙම ශ්ලෝකයෙන් අර්ථ ගැන්වෙනුයේ
මේෂ රාශිය රක්ත හෙවත් රතු පැහැයෙන් යුතු බව ය.
වෘෂභ රාශිය ගෞර හෙවත් සුදු පැහැයෙන් යුතු බව ය.
මිතුන රාශිය ශුකකාන්ති හෙවත් ගිරා පැහැය හෙවත් කොළ පාටින් යුක්ත බව ය.
කටක රාශිය පාටල හෙවත් පළොල් මල් පැහැය හෙවත් පඬු පැහැයට හුරු දුඹුරු වර්ණයෙන් යුක්ත බව ය.
සිංහ රාශිය පාණ්ඩු පැහැය හෙවත් පඬු පැහැය හෙවත් වනගත භීක්ෂුන් වහන්සේලාගේ සිවුරු පාටින් යුක්ත බව ය.
කන්‍යා රාශිය චිත්‍රරුචි හෙවත් විසිතුරු පැහැය හෙවත් විචිත්‍ර වර්ණ ආදියෙන් යුක්ත බව ය.
තුලා රාශිය නීල හෙවත් නිල් පැහැයෙන් යුක්ත බව ය.
වෘශ්චික රාශිය කාඤ්චන හෙවත් රන්වන් පැහැයෙන් යුක්ත බව ය.
ධනු රාශිය පිංගල  හෙවත් කහ පාට මිශ්‍ර දුඹුරු පැහැයෙන් යුක්ත බව ය.
මකර රාශිය ශබල හෙවත් මද සුදු මිශ්‍ර කහ පැහැයෙන් යුක්ත බව ය.
කුම්භ රාශිය බභ්‍රෑ හෙවත් මුගටි වර්ණ හෙවත් තද දුඹුරු පැහැයෙන් යුක්ත බව ය.
මීන රාශිය පාණ්ඩුර හෙවත් ශුක්ල වර්ණ හෙවත් අවර්ණ පැහැයෙන් (අවර්ණ ජලයේ පාට) යුක්ත බව ය.

උපන් සත්වයාගේ වර්ණය දැන ගැනීමට, හැඳ සිටි වස්ත්‍රයේ වර්ණය පැවසීමට, තත්කාල ප්‍රශ්ණ විචාරයේදී නැතිවු භාණ්ඩයේ වර්ණය දැන ගැනීමට රාශිවල වර්ණ විභාගය ඉතා වැදගත් බව දත යුතු ය.

රාශින්ගේ ස්වාමි නිවේදනය පිළිබඳව ජාතක පරිජාතකයේ මතය

ජාතක පරිජාතකයේ පිටු අංක 21 මෙසේ සඳහන් වේ.
ජාතක පරිජාතකයේ ශ්ලොක අංක 25

ධරාජශුක්‍රඥශශීනසෞම්‍ය
සිතාරජිවාර්කජමන්දජීවා:
ක්‍රමේණ මේෂාදීෂු රාශිනාථා
සත්දංශපාශ්වෙති වදන්ති සන්ත:

කුජ මේෂයට ද, සිකුරු වෘෂභයට ද, බුද මිතුනයට ද, සඳු කටකයට ද, රවි සිංහයට ද, බුද කන්‍යාවට ද, සිකුරු තුලාවට ද, කුජ වෘශ්චිකයට ද, ගුරු ධනුවට ද, සෙනසුරු මකර සහ කුම්භයට ද, ගුරු මීනයට ද අධිපති වෙති. ඒ ඒ රාශින්ගේ නවාංශක වලට ද මේ පිළිවෙලටම රාශි අධිපතිත්වය දරණු ඇත.

රවි, චන්ද්‍ර දෙදෙනා රාශි චක්‍රයේ ඒක රාශ්‍යාධිපතියෝ (එක් රාශියකට පමණක්) අධිපති වෙති. කුජ, බුද, සිකුරු, ගුරු සහ ශනි යන ග්‍රහයන් පස්දෙනා ද්විරාශ්‍යාධිපතියෝ (එනම් රාශි දෙකකට) අධිපතියෝ වෙති.

මේ සම්බන්ධව පවතින පුරාවෘතය මෙසේ සඳහන් කර ඇත.
කණ්ඨිරවං වික්‍රමිණං විලොක්‍ය
සර්වයං පදං තත්‍ර වකාර සූර්ය:
මෛත්‍ර්‍යාතදාසන්නතයා කුළීරේ
නිජං බබන්ධාලයමෙන්ලක්ෂ්මා

අන‌්‍යෙ ගුහා ගෘහයියාවිෂයා ක්‍රමෙණ
ශීතාංශුතීග්මමහසො: සදනං සමීයු:
ප්‍රාප්තක්‍රමේණ දදතුර්භවනානී තෞ තු
තාරාග්‍රහා ද්විභවනාස්තත එව ජාතා:

මෙම පුරා වෘත්තයේ සරළ අදහස මෙලෙසින් දැක්විය හැකිය.
පෙර කාලයේ භගන නම් වූ රාශි චක්‍රයේ සිංහ රාශියේ පටන් ඉදිරියට ඇති පිළිවෙලින් රාශි පහ සමග රාශි හයටම රවි ප්‍රධාන වූ අතර කටක රාශියේ පටන් පසුපසට ඇති රාශි පහ සමග රාශි හයටම සඳු ප්‍රධාන වී අධිපතීත්වය දරා ඇත.
කල් යාමේදී රවි ග්‍රහයා ස්වකීය ප්‍රකෘති තත්වයට අනුරූපව ගිණි රාශියක් වූ සිංහ රාශිය ස්වකීය වාසස්ථානය කරගත් අතර ඊට අනුරූපව සඳු ග්‍රහයා ද ස්වකීය ප්‍රකෘති තත්වයට අනුරූපව ජල රාශියක් වූ  කටක රාශිය ස්වකීය වාසස්ථානය කර ගත් බව පැවසේ. මේ අයුරින් කල් ගත වීමත් සමගම ගෘහයක් බලාපොරොත්තුවෙන් සූර්යා ලඟට පැමිණි රාජ කුමාරයා වූ බුදට රවි ග්‍රහයා ස්වකීය සිංහ රාශිය සමීපයේම තිබු කන්‍යා රාශිය බුදට හිමිකර දුන් අතර සඳු ග්‍රහයාද තමාට සමීපයේම පවතින මිතුන රාශිය බුදට හිමිකර දී ඇත. මේ පිළිවෙලට අනුව සිකුරුට, කුජට, ගුරුට සහ සෙනසුරුට යාබද රාශීන් පවරා දීමට රවි සහ කුජ යොමු වීම නිසා බුද, සිකුරු, කුජ, ගුරු සහ සෙනසුරු යන ග්‍රහයන්ට රාශි දෙක බැගින් හිමි වී ද්විරාශ්‍යාධිපතියන් වූ අතර රවි සහ සඳු එක් රාශියක් පමණක් බැගින් හිමිකර ගැනීම නිසා රවි හා සඳු දෙදෙන ඒක රාශ්‍යාධිපති ග්‍රහයන් බවට පත්වූ බව සඳහන් වේ.

මේ සම්බන්ධව වැඩිදුර අධ්‍යනය උදෙසා මෙම පොත් සොයා ගැනීමට උත්සාහ කරන්න.
බෘහත් පරාශර හෝරා සාරංශශේඛරයේ ප්‍රථම භාගය
එම්. ඩී. ගුණසේන සමාගමේ මුද්‍රිත පොතක්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ජාතක රත්නාකරය
එම්. ඩී. ගුණසේන සමාගමේ මුද්‍රිත පොතක්.

 

 

 

 

 

 

 

 

 


ජාතක පරිජාතකය

නුගේගොඩ මොඩන් සමාගමේ මුද්‍රිත පොතක්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ජ්‍යොතීර්වේදී
නුමින්ද ශාන්තසිරි ද සිල්වා
ශ්‍රී ජයතු ලංකා ජ්‍යොතීර් විද්‍යා පර්යේෂණායතනය
අංක 71 ඒ, කැස්බෑව පාර,
බොරලැස්ගමුව.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

One thought on “රාශි දොලොස සම්බන්ධව මූල ග්‍රන්ථ ආදියේ මතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>