ජ්‍යොතිෂය අර්ථ දැක්වීම

අප ජීවත්වන විශ්වය හෙවත් අවකාශය තුල පවතින්නා වූ වස්තූන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කර දැක්විය හැකි ය. කෙසේ වෙතත් මෙම වස්තූන්ගේ බෙදා වෙන්කර දැක්වීම ජ්‍යොතිෂයේ දී සිදුකර ඇත්තේ අප ජීවත්වන පෘතුවියට සාපේක්ෂව බව දත යුතු විශේෂ කරුණක් වනු ඇත. අප ජීවත්වන මෙම විශ්වය හෙවත් අවකාශය තුල නිෂ්චලව පවතින වස්තූන් සහ චලනය වන වස්තූන් ලෙසින් මෙම වස්තූන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන්කර දැක්විය හැකි ය. මේ අකාරයට විශ්වය හෙවත් අවකාශය තුල නිෂ්චලව පවතින වස්තූන් “තාරකා,, හෙවත් “තාරා,, වස්තූන් ලෙසින් අර්ථ දක්වා ඇති අතර කිසිඳු චලනය වීමකින් තොරව විශ්වය හෙවත් අවකාශය තුල නිෂ්චලව පවතින මෙම තාරුකා කණ්ඩායම් ලෙස එකතු වි නැකත් තරු හෙවත් නක්ෂත්‍ර නිර්මාණය වී ඇත.

එම නක්ෂත්‍ර කිහිපයක් එකතු වී රාශි නිර්මාණය වී ඇත. ඊට අමතරව මෙම විශ්වය හෙවත් අවකාශය තුල චලනය වන වස්තූන් “ග්‍රහ,, ලෙසින් අර්ථ දක්වා ඇත. තව දුරටත් බැලීමේදී අප අවට පවතින මෙම විශ්වයේ පවතින්නා වූ මෙම චංචල වස්තූන් වූ “ග්‍රහ,, සහ නිෂ්චල වස්තූන් වූ “තාරා,, ප්‍රධාන වශයෙන් “ජ්‍යොතීර් භිම්භ,, හෙවත් “ජ්‍යොතීර් මණ්ඩල,, යන නමින් පරාශර සෘෂි වරයා හඳුන්වා දී ඇත. මෙහිදි ජ්‍යොති යනුවෙන් “ආලෝකය” යන අර්ථය ගෙනහැර දක්වා ඇති අතර “භිම්බ” යනු කිරණ පරාවර්තනය යන අර්ථය ගෙන හැර දක්වා ඇත.

අප ජීවත්වන මෙම විශ්ව අවකාශය තුල තාරකා විද්‍යාවට අනුව චලනය වන ග්‍රහ ලෝක ලෙසින් හැඳින්වෙන ආකාශ වස්තූන් විශාල ප්‍රමාණයක් දැකිය හැකි නමුදු පරාශර සෘෂිවරයා විසින් ජ්‍යොතිෂයේදී අර්ථ දක්වා ඇත්තේ මෙම ග්‍රහලෝක නොව “ග්‍රහ,, අර්ථය ගෙන දෙන ග්‍රහ මණ්ඩල වල ග්‍රහ කිරණ වන අතර නිෂ්චලව පවතින තාරකා නොව “තාරා,, වශයෙන් හැඳින්වෙන තාරකා මණ්ඩල බව අප හොඳින් අවබෝධ කර ගත යුතුව ඇත. මෙහිදි “ග්‍රහ,, යන වචනයේ අර්ථය අප ඉතා හොඳින් වටහා ගත යුතුව ඇත. ග්‍රහ යනු යම් කිසි දෙයක් අල්ලා ගැනීම,  යම්කිසි දෙයකින් ආවරණය වීම, යමකට මුලා වීම යන අර්ථය නිරූපනය කරන අතර “තාරා,, යන්නේ අර්ථය යමකින් අලවා ගැනීම ය.

මේ අනුව යමක් තවත් යමකින් අලවා ගැනීම තුල අළුත් නිර්මාණයක් බිහිවනු ඇත. මෙසේ යමක් තවත් යමක් අලවා ගැනීම තුල බිහිවන අළුත් නිර්මාණ ලෞකික උත්පාදනයන් ලෙස පරාශර සෘෂිවරයා හඳුන්වා දී ඇත. මේ ආකාරයෙන් බිහිවන සෑම ලෞකික උත්පාදනයක් ම “ත්‍රිවිධ ගුණයකින්,, සහ “පංච භූත තත්වයකින්,, යුතු වන බව ද පරාශර සෘෂිවරයා පවසා ඇත. සෑම ලෞකික උත්පාදනයක් තුලම ඇති ත්‍රිවිධ ගුණය රජස්, තමස් සහ සාත්වික ලෙසින් බෙදා දක්වා ඇති අතර “රජස්” ගුණයෙන් අර්ථ කථනය වනුයේ යමක් වෙනුවෙන් ඇතිවන ඇලීම හෙවත් යමක් වෙනුවෙන් සිත තුල හටගන්නා ලෝභය යි. එලෙසම “තමස්” ගුණයෙන් අර්ථ කථනය වනුයේ අල්ලා ගත් යමක් වෙනුවෙන් ගැටීම නිසා උපදවා ගන්නා ද්වේශ සහගත තත්වයන් වන අතර  “සත්ව” හෙවත් “සාත්වික” ගුණයෙන් අර්ථ කථනය වනුයේ යමක් වෙනුවෙන් ඇලීම සහ ඒ වෙනුවෙන් ගැටීමට යාම නිසා උපදවාගන්නා මෝහ සහගත බව ය. මේ අනුව අප හොඳින් තේරුම් ගත යුතු කාරණාවක් මේ තුල ගැබ් වී ඇත. එය මෙසේ පැහැදිලි කල හැකි වනු ඇත. යමක් තවත් යමක් වෙනුවෙන් අලවා ගැනීමට උපදවා ගන්නා ලෝභ මූලය හෙවත් රජස් ගුණය තුල උත්පාදනයන් ඇතිවන බව ද, එම උපදවා ගත් උත්පාදනයන් වෙනුවෙන් දක්වන ගැටීම නිසා ද්වේශ මූලයන් ද, එම බැඳීම් කෙරෙහි දක්වන ගැටීම නිසා මතුවන තමස් ගුණයන් නිසා එකී උත්පාදනයන් විනාශ මුඛය කරා යොමුවන බව ද, එමෙන්ම එකී උත්පාදනයට දායක වුන ලෝභ මූලය හෙවත් රජස් ගුණයට හෝ එම උත්පාදනය විනාශමුඛය කරා රැගෙන ගිය ද්වේශ මූලය හෙවත් තමස් ගුණය ට ප්‍රතිචාර දැක්වීමට යාම නිසා ඇතිකරගන්නා සාත්වික ගුණය තුල ජන්මීන් මෝහයට හෙවත් මෝඩකමට හසුවන බව ද, කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වන තත්වය තුල උදාවන උපේක්ෂා සහගත තත්වය හෙවත් සාත්වික ගුණය තුලින් මධ්‍යස්ථ බව හෙවත් මධ්‍යම ප්‍රතිපදාව නිවේදනය කරවන බවද අවබෝධ කර ගත යුතුව ඇත.

කෙසේ වෙතත් මනස තුල උත්පාදනය වන සියළුම ලෞකික උත්පාදනයන් ඉහත කී ත්‍රිවිධ ගුණයෙන් සහ පංච භූත තත්වයෙන් යුතු වනු ඇත. පංච භූත තත්වය පඨවි, ආපෝ, තේජෝ, ආකාශ සහ වායු යන කොටස් පහට හිමිකම් කියන අතර මෙම පංච භූත තත්වය ඉහත කී ත්‍රිවිධ ගුණය හා මුසු වීම තුල හෙවත් “ඒකීයත්වයක්,, හරහා සියළුම ලෞකික උත්පාදනයන් සිදුවන බව ද, මෙම පංච භූත තත්වයට ත්‍රිවිධ ගුණ එකතු වීම හරහා “ආත්මය,, හෙවත් “මම,, යන සංකල්පයක් ඇතිවන බවත් අප හොඳින් තේරුම් ගත යුතුව ඇත.

කෙසේ වුවද සත්‍ය තත්වය හෙවත් ලෝකෝත්තර තත්වය යනු නැවත උත්පාදනයකට හසු නොවීම ය. එනම් බැඳීමකට හසු නොවීම ය. මේ අනුව උත්පාදනයක් නොමැති ලෝකොත්තර හෙවත් සත්‍ය තත්වය තුල පංච භූත තත්වයන් ත්‍රිවිධ ගුණයට හසු නොවීම තුල තත්වයක් නොමැති, ගුණයක් නොමැති, තත්වය තුල උපතක් හෝ පැවැත්මක් හෝ විනාශයක් නොමැති කල්හී පංච භූත තත්වයනට කිසිඳු ආකාරයක හැඩ තලයක් හිමි නොවන හෙයින් “නිර්ගුණ,, හෙවත් “නිබ්බාණය” උදාවන බව අප තේරුම් ගත යුතු ය.

මේ අනුව අපට ජීවන ගමනේ දී සත්‍ය හෙවත් නිබ්බාණය අවබෝධ කරගැනීමට අපොහොසත් වනුයේ අපගේ මනස ඉහත කී පංච භූත තත්වයන් ත්‍රිවිධ ගුණයන් විසින් අල්ලා බැඳ ගැනීම, ආවරණය කර ගැනීම (කම්මාවරණ) තුල ඇතිවන ගැටීම නිසා මුලාවට හසුවීම නිසා බැවින්, මනස ඉහත කී පංච භූත තත්වයන් සහ ත්‍රිවිධ ගුණයන්ගෙන් ග්‍රහණය කරන නිසා ඉහත කී මේ ගුණයන් සහ තත්වයන් පරාශර සෘෂිවරයා විසින් “ග්‍රහ,, ලෙසින් අර්ථ දක්වා ඇත.
මෙකී පංච ගුණ තත්වයන් සහ ත්‍රිවිධ ගුණයන් බුද, සිකුරු, කුජ, ගුරු සහ සෙනසුරු විසින් නිවේදනය කරන අතර, මනස දෙපැත්තකට ඇද බැඳ තබන අන්ත දෙක වන ලෞකික බව සහ ලෝකෝත්තර බව සඳුගේ උදාවන සහ බැසයන ලක්ෂ දෙක වූ රාහු සහ කේතු වනු ඇත. මනස රාහුගෙන් භෝග මාර්ගය හෙවත් ලෞකික සිතුවිලි උත්පාදනයට ද, කේතුගෙන් සත්‍ය හෙවත් නිබ්බාණය හෙවත් මෝක්ෂය ටත් මනස රැගෙන යන බව පැහැදිලි කර ඇත. මේ නිසා පරාශර සෘෂි විසින් පවසා ඇත්තේ ජ්‍යොතිෂයට අදාල වනුයේ ග්‍රහ ලෝක වන ග්‍රහ වස්තූන් නොව එම ග්‍රහ වස්තූන්ගේ කිරණ හරහා ඇතිවන ප්‍රතිබිම්බ හෙවත් ග්‍රහ මණ්ඩල හෙවත් ග්‍රහ මණ්ඩල වලින් නිවේදිත පංච භූත තත්වයන් සහ ත්‍රිවිධ ගුණයන් බව “ග්‍රහ,, යනුවෙන් අපට පවසා ඇත.

සූර්යා සියලුම කරුනු කාරණා උදෙසා කේන්ද්‍ර ස්ථාන ගතව කටයුතු කරන බැවින් සූර්යා යනු ලෝකෝත්තර දැණුමෙන් හෙවත් ආලෝකයෙන් ආත්මය බබලවන අතර සඳු මනස නිවේදනය කරමින් ආත්මයට බැඳීම් ලඟා කරවනු ඇත. මෙසේ සඳු මනසට බැඳීම් ලඟා කරද්දී මනස දෙපැත්තකට ඇද බැඳ තබන අන්ත දෙක වන සඳුගේ උදාවන සහ බැසයන ලක්ෂ දෙක වූ රාහු සහ කේතු මනස, රාහුගෙන් භෝග මාර්ගය හෙවත් සිතුවිලි උත්පාදනයට ද, කේතුගෙන් සත්‍ය හෙවත් නිබ්බාණය හෙවත් මෝක්ෂය ටත් මනස රැගෙන යන බව පැහැදිලි කර ඇත.
තාරකා විද්‍යාව තුල කථා කරන ග්‍රහ ලෝක සහ ජ්‍යොතිෂයේ දි කථා කරන ග්‍රහ අතර වෙනස හඳුනා ගන්නේ කෙසේ ද?

මෙහි දී අප පළමුවෙන්ම පෘතුවියට ඉහලින් පවතින වායුගෝලයේ ස්ථරයන් ගැන අවබෝධයක් ලබා ගත යුතුව ඇත. පලමුව මා තාරකා විද්‍යාවට අදාලව වායුගෝලයේ පවතින මෙම ස්ථරයන් හඳුන්වා දෙන්නම්. ඉන් පසුව එම කරුනු කාරණා ජ්‍යොතිෂයට සම්බන්ධකර පෙන්වන්නම්. ඇයිද පවසනවා නම් මා කියන සමහර කරුනු ලියලා තේරුම් ගැනීමට අපහසු එහෙත් මනසින් අවභෝධකර ගත යුතු කරුනු පවතින බැවිණි. ඒ නිසා මෙය ඉතා අවබෝධයෙන් යුතුව නිරීක්ෂණය කර ඉගෙන ගත යුතු කාරණාවක් වනු ඇත. පෘතුවියේ මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් කිලෝ මීටර් 10 ත් 12 ත් අතර ප්‍රදේශය පෘතුවියේ වායු ගෝලයට අදාලව පහලම ස්ථරය හෙවත් පරිවර්තී ගෝලය (Troposphere) වශයෙන් හඳුන්වනු ලැබේ. මෙම පරිවර්තී වායුගෝලයේ මුහුදු මට්ටමේ සිට උසම කඳු වැටිය වන එවරස්ට් කන්ද පිහිටා තිබෙනවා. එහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 9000 ක් හෙවත් ආසන්න වශයෙන් කිලෝ මීටර් 09 ක් විතර වනවා. මෙම පරිවර්තී වායු ගෝලයට අයත් මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 12 ක් අතර සීමාව තුල මගී ප්‍රවාහන ගුවන් යානා ගමන් කරන බව දත යුතු ය. මෙම වායුගෝලයේ පහලම ස්ථරය වූ පරිවර්තී ගෝලයේ මුහුදු මට්ටමේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 60 ක් හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 15.5 ක් වනු ඇත. කෙසේ වෙතත් මුහුදු මට්ටමේ සිට ඉහලට යත්ම එනම් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 09 ක් 10 ක් ඉහලට යන විම මෙම පෘතුවියේ පහලම ස්ථරය වු පරිවර්තී වායු ගෝලයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32 ක් හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 0 දක්වා අඩුවනු ඇත.

මී ලඟට මෙම පරිවර්තී වායුගෝලයට ඉහලින් එනම් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 14 ත් 18 ත් අතර ප්‍රදේශය තුල තවත් සියුම් ස්ථරයක් පිහිටා ඇත. එය පරිවර්තී මණ්ඩලය (Tropopause) නමින් තාරකා විද්‍යාව තුල හඳුන්වා ඇත. මෙය ස්ථර දෙකක් වෙන්කර තබන මණ්ඩලයකි. මෙම මණ්ඩලය තුල ඝණ වලාකුළු, චණ්ඩ මාරුත, ජල චක්‍රය ආදිය ක්‍රියාත්මක වී ඇත. මෙම පරිවර්තී මණ්ඩලය ආරම්භ වන මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 14 ප්‍රදේශයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 0 වන අතර මෙම පරිවර්තී මණ්ඩලය අවසාන වන මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 18 ප්‍රදේශයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක -80 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක -62.5 ක් වනු ඇත.

මී ලඟට මෙම පරිවර්තී මන්ඩලයට ඉහලින් එනම් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 18 සිට කිලෝමීටර් 50 අතර ඊ ලඟ වායුගෝල ස්ථරය වූ ස්ථර ගෝලය හෙවත් අපරිවර්තී ගෝලය (Stratosphere) පිහිටා ඇත. මෙම අපරිවර්තී වායු ගෝලයේ ආරම්භය පවතින මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 18 ප්‍රදේශයේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක -80 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක -62.5 ක් වනු ඇති අතර මෙම අපරිවර්තී වායු ගෝලයේ අවසානය පවතින මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 50 ප්‍රදේශයේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 0 ක් වනු ඇත. ඕසෝන් ස්ථරය (Ozone Layer) පවතිනුයේ ද මෙම අපරිවර්තී වායු ගොලයේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 40 ත් 50 ත් අතර ය. මෙම පරිවර්තී වායු ගෝලයේ විශේෂත්වය වනුයේ කාලගුණ විද්‍යා බැලූන, ජෙට් යානා ආදිය ස්ථාන ගත කර ඇත්තේ සහ ගමන් කරනුයේ මෙම ස්ථරය තුල ය. ජල චක්‍රයේ ක්‍රියාකාරීත්වයට ද අනෙකුත් ග්‍රහ වස්තූන්ගෙන් එල්ලවන අහිතකර කිරණවලින් ආරක්ෂාව ලබා දීමට ද, මෙම ස්ථරය බලපෑම් එල්ල කරන බව දැකිය හැකි ය.

මී ලඟට මෙම අපරිවර්තී ගෝලයට ඉහලින් එනම් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 50 සිට කිලෝමීටර් 90 දක්වා ප්‍රදේශය තුල මධ්‍ය වායු ගෝලය (Mesosphere) පිහිටා ඇත. මෙම මධ්‍ය වායු ගෝලයේ ආරම්භය පවතින මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 50 ප්‍රදේශයේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 0 ක් වනු ඇති අතර මෙම මධ්‍ය වායු ගෝලයේ අවසානය පවතින මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 90 ප්‍රදේශයේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක -121 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක -85 ක් වනු ඇත. මෙම ස්ථරයේ විශේෂත්වය වනුයේ උල්කාවන් පැවතිම ය. එපමණක් නොව පෘතුවියේ සිට සම්ප්‍රේෂණය කරන සියළුම ගුවන් විදුලි, රූපවාහිණි ආදි නොයෙකුත් තරංගයන් නැවත පෘතුවිය කරා හැරවීමේ හැකියාවක් මෙම ස්ථරයේ අවසානයේ පවතින මිලඟ ස්ථරය වන අයන ගෝලයට තිබීම ය.

මී ලඟට මධ්‍ය ගෝලයට ඉහලින් එනම් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 90 සිට කිලෝමීටර් 480 දක්වා අයන ගෝලය හෙවත් තාප ගෝලය (Ionosphere) පිහිටා ඇත. මෙම මධ්‍ය වායු ගෝලයේ ආරම්භය පවතින මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 90 ප්‍රදේශයේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක -121 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක -85 ක් වනු ඇති අතර මෙම මධ්‍ය වායු ගෝලයේ අවසානය පවතින මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 480 ප්‍රදේශයේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 2732 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 1500 ක් දක්වා වැඩිවනු ඇත. අරුණාලෝක කදම්භයන් මෙහි දැකිය හැකි අතර අභ්‍යවකාශ යානාවන් ද මෙහි ගමන් කරවනු ඇත.

මී ලඟට අයන ගෝලයට ඉහලින් එනම් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 480 සිට කිලෝමීටර් 700 ක් දක්වා චුම්භක ගෝලය පිහිටා ඇත. මෙම චුම්භක ගෝලයේ ආරම්භය පවතින මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 480 ප්‍රදේශයේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 2732 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 1500 ක් වනු ඇති අතර මෙම චුම්භක වායු ගෝලයේ අවසානය පවතින මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 700 ප්‍රදේශයේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 3632 හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 2000 ක් ඉක්මවනු ඇත. උඩුගුවනට යවන ලද චන්ද්‍රිකා කක්ෂ ගත කර ඇත්තේ මෙම චුම්භක ගෝලය තුල ය.

දැන ඔබට තාරකා විද්‍යාවට අදාලව පෘතුවියේ වටා ඉහලින් ඇති වායු ගෝලයේ සංයුතිය පිළිබඳව යම් අවබෝධයක් ලැබෙන්නට ඇත. දැන් මෙහිදී ඔබට අවබෝධකරගත යුතු කරුණක් පවතී. පෘතුවි වායු ගෝලයේ ඉහලම ස්ථරය වන චුම්භක වායු ගෝලයේ සිට ක්‍රමයෙන් පෘතුවිය ආසන්නයේ මුහුදු මට්ටම දක්වා ඇති වායු ස්ථරවලදී උෂ්ණත්ව වෙනස් වීම ගැන අවධානය යොමු කරන්න. දැන් ඉහලම ස්ථරයේ සිට පහල මුහුදු මට්ටම දක්වා එම වෙනස්වීම සිදුවන අනුපිළිවෙල බලමු.

වායු ස්ථරයේ නම උෂ්ණත්වය
01 චුම්භක වායු ගෝලය සෙන්ටිග්‍රේඩ් අංශක 2000 ඉක්මවනු ඇත.
02 අයන හෙවත් තාප ගෝලය සෙන්ටිග්‍රේඩ් අංශක 1500 කි.
03 මධ්‍ය ගෝලය සෙන්ටිග්‍රේඩ් අංශක – 85 කි.
ඕසෝන් ස්ථරය ඇත්තේ මේ ආසන්නයේය.
04 ස්ථර ගෝලය හෙවත් අපරිවර්තී ගෝලය සෙන්ටිග්‍රේඩ් අංශක -62.5 කි.
පරිවර්තී මණ්ඩලය ඇත්තේ මේ ආසන්නයේය.
05 පරිවර්තී ගෝලය හෙවත් පහල ස්ථරය සෙන්ටිග්‍රේඩ් අංශක 0 කි
06 මුහුදු මට්ටමේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 15.5 කි

දැන් මෙහිදි ඔබට දැකිය හැකි වනුයේ පෘතුවි වායු ගෝලයේ ඉහලම ස්ථරයේ උෂ්ණත්වය ඉතා වැඩි වී නැවත මුහුදු මට්ටද දක්වා යද්දී ක්‍රමක් ක්‍රමයෙන් උෂ්ණත්වය අවුවී නැවත සෘණ අගයන් සඳහා ද ගොස් නැවත මුහුදු මට්ටමෙදී නැවත ක්‍රමයෙන් වැඩිවන බව ය.

දැන් අප සූර්යා උදාහරණයකට ගනිමු. සුර්යාගේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 6000 කි. සුර්යාගේ සිට සුර්ය කිරණයක් පෘතුවියට පතිතවනවා යයි සිතන්න. එම සුර්ය කිරණය මුලින්ම පතිත වනුයේ චුම්භක ගෝලය මතය. එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 2000 ඉක්මවා ඇත. නමුත් මේ සුර්ය කිරණය ක්‍රම ක්‍රමයෙන් මුහුදු මට්ටම කරා ඒමේදී එහි තිබු උෂ්ණත්වය නැති බව ඔබට දැනෙනු ඇත. නමුත් ඔබ දවල් 12.00 ට ගෝල්ෆේස් එකට ගිහින් අව්ව තියන දවසක හිටගෙන හිටියා යයි සිතන්න. ඔබට මුහුදු මට්ටමේදී තදින් අවු රශ්මිය දැණෙනවා ඇත. නමුත් ඔබ දවල් 12.00 ට අව්ව තිබෙන දවසක පිදුරුතලාගල කන්ද මුදුනේ සිටියොතින් ගෝල්ෆේස් එකේ දවල් 12.00 ට තිබු උණුසුම නොදැණෙනු ඇත. දැනෙන්නේ තද සීතල කි. එසේම හොඳින් අව්ව ඇති දවසක දවල් 12.00 ට එවරස්ට් කන්ද මුදුනේ සිටි යයි සිතන්න. ගෝල්ෆේස් එකේ දවල් 12.00 ට තිබු උණුසුම කොහෙත්ම නොදැණෙනු ඇත. අයිස් මිදී ඇති සෘණ උෂණත්වයක් දැකිය හැකි වනු ඇත. එසේ නම් මුහුදු මට්ටමේ සිට වායු ස්ථර ඔස්සේ ඉහලට යන විට මේ වෙනස ඇති වූයේ කෙසේ දැයි සිතන්න.සෙන්ටිග්‍රේඩ් අංශක 6000 ක උෂ්ණත්වයක් සහිත සුර්යාගේ අරුණාලෝක කදම්භයන් පෘතුවි වායු ගෝලයේ චුම්භක වායු ගෝලයේ මතුපිට ස්ථරය මත පතිත වූ විට එම සූර්යාගේ අරුණාලෝක කදම්භයන් එක එල්ලේ පෘතුවි තලයට නොවැටෙනු ඇත. මන්ද යත් චුම්භක ස්ථරය මත පතිත වූ සූර්ය කිරණ පරාවර්ථනය කිරීමේ චුම්භක ශක්තිය ඊට ඇති බැවිනි. මේ නිසා මෙම වායු ස්ථරය මතට වැටුණු සූර්ය ප්‍රතිබිම්භය පෘතුවියේ සිටින අපට දර්ශණය වනවා ඇත. එසේ නම් අප සූර්යා කියා දකිනුයේ සත්‍ය සුර්යා නොව වායු ගෝලයේ ඉහලම ස්ථරය මතට වැටුනු සූර්ය බිම්භයකි. මේ නිසා තමයි ජ්‍යොතිෂයෙදී ග්‍රහ ගණිතය සම්බන්ධයෙන් අප භාවිතා කරනුයේ ග්‍රහයන්ගේ සත්‍ය පිහිටීම නොව පෘතුවියේ සිටින අපට පෙනෙන පිහිටීම ලෙස ය. එසේ නම් අප මේ දුටුවේ රවි ග්‍රහ ලෝකය නොව රවි මණ්ඩලයයි. දැන් ඔබ සූර්යා ලේසර් විදුලි පන්දමක් කියා සිතන්න. එම සුර්යා නැමැති ලේසර් විදුලි පන්දමෙන් පෘතුවියේ චුම්භක වායුගෝලයේ මතුපිට බිත්තියට ලේසර් කරණයක් එව්වා යයි සිතන්න.

ලේසර් විදුලි පන්දම සූර්යා නම් චුම්භක බිත්තියේ වැදුනු කිරණයේ ප්‍රතිබිම්භය සූර්ය මණ්ඩලය වනු ඇත. දැන් මෙම පෘතුවි වායු ගෝලයේ ඉහලම ස්ථරය වූ චුම්භක ගෝලයට පතිත වූ සූර්ය බිම්භයේ කිරණ පෘතුවියේ සිටින අපට දැක ගත හැකි වනු ඇත. එම කිරණ පෘතුවි තලයේ සිටින අප වෙත පැමිනෙනුයේ අනෙකුත් වායු ස්ථරවල ගැටෙමිනි. මුහුදු මට්ටමේ ඉහල සිට පහලට මෙම සූර්ය බිම්භ කිරණ පැමිණෙන විට ඉහල ස්ථරවලදී වායු අංශුවල ගැටීම අඩු නිසා ඉහලදි උෂ්ණත්වය නොදැනෙන අතර මුහුදු මට්ටම දක්වා පහලට ඒමේ දී වායු ස්ථර හා ගැටීම වැඩි නිසා මුහුදු මට්ටමේ දී අපට උෂ්ණත්වය වැඩියෙන් දැණෙනවා ඇත. ඒ ග්‍රහ බිම්භ කිරණ වායු අංශු සමග ගැටීමේදී ඇතිවන ඝර්ෂණය මුහුදු මට්ටමට ඉහලදී අඩුවීමත් පහල මුහුදු මට්ටමට එන විට ගැටීම වැඩි නිසා ඝර්ෂණය වැඩිමත් නිසා ඉහලදීට වඩා පහලදී උෂ්ණත්වය වැඩිවන්නේ ඒ නිසා ය.

පෙර සෘෂිවරු මෙකී වායු ගෝලය වේරම්භ වායුව ලෙස සැලකු අතර මේ වේරම්භ වායුවේ ඇති අරුම පුදුම ගුප්ත ගති සම්බන්ධව මනා අධ්‍යයනයක් කර ඇත. ඉහත කී වේරම්භ වායුවේ මතුපිට පෘෂ්ඨය මත පතිතවන රවි, සඳු, කුජ, බුද, ගුරු, සිකුරු සහ ශනි යන ග්‍රහයන් හත්දෙනාගේ කිරණ කදම්බයන් මෙම වේරම්භ වායුවේ මතු පිට පෘෂ්ඨය ග්‍රහණය කරගනු ඇත. මෙහිදී අප ග්‍රහණය යන වචනය පදපරම අර්ථයෙන් වටහා ගත යුතුව ඇත. ග්‍රහණය යන වචනය නිර්මාණය වී ඇත්තේ ග්‍රහ + ණය යන වචන දෙක එක්වීම තුල ය. ග්‍රහ යනු යම් දෙයක් අල්ලා ගැනීම යන අර්ථය ගෙනදෙන අතර යම් දෙයක් අල්ලා ගත හොත් ඒ වෙනුවෙන් ණයක් ගෙවන්නට සිදුවන බව මෙම ග්‍රහණය යන වචනයේ පදපරම අර්ථය වනු ඇත. මෙහිදි පිළිවෙලින්

රවිගෙන් ගිණි ගතිය අල්ලා ගන්නා අතර
සඳුගෙන් ජල ගතිය අල්ලා ගනු ඇත.
එමෙන්ම මේ ආකාරයට
බුදගෙන් පඨවි ගතිය ද,
සිකුරුගෙන් ජල ගතිය ද,
කුජගෙන් ගිණි ගතිය ද,
ගුරුගෙන් ආකාශ ගතිය ද,
සෙනසුරුගෙන් වායු ගතිය ද, යන පංච භූත තත්වයන් අල්ලා ගනු ඇත.

මේ ආකාරයට වේරම්භ වායුවේ මතුපිට පෘෂඨයෙන් අල්ලාගත් ඉහත කී ග්‍රහයන් සත්දෙනාගේ කිරණ කදම්භයන්ගේ ප්‍රතිබිම්භයන් පෘතුවි පෘෂ්ඨයේ සිටින ජීවී, අජීවි සියළු වස්තූන් කෙරෙහි බලපෑමක් ඇති කරනු ඇත. මේ නිසා ඔබ ඇසෙන් දකින ආලෝකය ප්‍රධාන වර්ණ හතකින් යුක්ත වී ඇත. කර්ණ රසයට හෙවත් ශ්‍රවණ රසයට ප්‍රධාන වශයෙන් මුල්වන ස්වර සප්තකයක් හෙවත් ස්වර හතක් ඇත. ද, දිවෙන් රස බැලීමට ප්‍රධාන රස හතක් ඇත. මේ සියල්ල අපේ මනසට දැනෙනා දේවල් වන අතර මේ සියල්ල ග්‍රහ හෙවත් අල්ලාගනු ලබන්නේ මනස මගිනි. මනසට සඳු කාරක වන්නේ ඒ නිසාය. සඳු ජල ගතිය නිවේදනය කරන නිසාද, ජලයේ ස්වභාවය හසුවන හැම තැනක්ම ස්පර්ෂකරගෙන යාම නිසාද, පවතින ස්වභාවයේ හැඩයට අනුරූපව හැඩගැසෙන නිසා ද, මනස තුල මේ ගතිගුණ නිවේදනය වනු ඇත. මනසින් අල්ලා ගත් මේ දේවල් නැවත අල්ලාගෙන රැගෙන යන්නේ ආත්මය නිවේදනය කරන රවි විසිනි. මේ නිසා මනසින් ආත්මය පෝෂණය වන බව දැන් ඔබට තේරුම් ගත හැකි වනු ඇත. මේ අනුව ආත්මය පෝෂණය කිරිමට මනසින් යම් යම් දේ අල්ලා දෙනවා මෙන්ම එලෙස දුන් දෑ ආත්මයෙන් නැවත ආපසු උදුරා ගැනීමද සිදුවන බව අප තේරුම් ගත යුතු ය. යම් යම් දෑ අපට ලබා දීම සහ ආපසු ගැනීම යන ද්වයිතය හෙවත් දෙපැත්ත කාලය යන සංකල්පය මත පාදක වී ඇත. මේ අනුව කාලය විසින් අපේ මනසට හා ආත්මයට යම් යම් දේ ලබා දෙනවා මෙන්ම එම කාලය විසින්ම ඒ දුන් දේවල් නැවත අපෙන් උදුරා ගැනීම ද සිදුවන බව අප තේරුම් ගත යුතු ය. මේ කාලය නැමැති සංකල්පයට සතියේ දින හත ආදේශ කර ඇත්තේ මේ නිසා බව දැන් ඔබට තේරුම් ගත හැකි වනු ඇත. දැන් මේ සියල්ල සිදුවූයේ වෙරම්භ වාතයේ මතුපිට ස්ථරය මත පතිත වූ ග්‍රහ බිම්භයන් නිසා බව ඔබට තේරුම් ගත හැකි වනු ඇත.

මෙකි මේ අල්ලා ගැනීමේ ශක්තිය කාලය නැමැති සංකල්පය සමග අපට ලබා දෙනුයේ දේව නැමැති සංකල්පයක් හරහා වන අතර මෙම දේව සංකල්පය “දේව” සහ “ප්‍රත්‍යාරී” දේව ලෙසින් ජ්‍යොතිෂයේ සඳහන් වේ. මෙම වේරම්භ වායුවේ ජීව ශක්තිය මේ දේව සහ ප්‍රත්‍යාරී දේව හරහා ක්‍රියාත්මක වන අතර ඒ ගැන අප පසුව අධ්‍යනය කරමු. මන්ද යත් මතෘකාව පිටතට යොමු වීමේ ඉඩකඩ ඉන් ඇතිවන නිසා ය. සප්ත ලෝක ගැන ඉගෙනීම ද අප පංචාංගයේ දිනය ගැන කථා කිරීමේ දී අධ්‍යනය කරමු.
මේ ආකාරයට ග්‍රහ මන්ඩල විසින් අල්ලා ගැනීම ප්‍රධාන ක්‍රම වේදයන් තුනක් තුනක් ඔස්සේ සම්ප්‍රේෂණය වනු ඇත. ඒවා පිළිවෙලින්

01 රජස් ගුණය (රාක්ෂ) අල්ලා ගැනීම
02 තමස් ගුණය (මනුෂ්‍ය) අල්ලාගත් දේ සමග ගැටීම
03 සාත්වික ගුණය (දේව) අල්ලාගත් සිතුවිලි සහ ගැටීම් සම්බන්ධව දක්වන මෝහය (අල්ලා ගත් දෑ සම්බන්ධයෙන් ප්‍රිය බව හා අප්‍රිය බව අතර මැන බැලීම)

මේ අනුව ඉහත කී පංච භූත තත්වයන් රජස්, තමස් සහ සාත්වික යන ගුණ හා ගැටීමක් වේරම්භ වායුව තුල සිදුවන අතර එකී ගැටීම් පෘතුවි තලය මත සිටින සියළු ජීවි සහ අජීවී යන වස්තු කෙරෙහි බලපානා බව අප තේරුම් ගත යුතු ය.

මෙය ද තේරුම් කර දීම උදාහරණයකින් ම ආරම්භ කරන්නම්. අප සැවොම අසා ඇති දෙයක් තමයි ඉන්ධන. මොනවාද මේ ඉන්ධන කියන්නේ ? ඉන්න තැනින් ලැබෙන ධනය හෙවත් අල්ලගත්ත තැනින් උපයන ධනය. මේවායේ පද පරම අර්ථයන් හොඳින් අවභෝධකර ගත යුතු ය. ඒ වගේම ඔය ගොල්ලන් හැමෝටම ආදරය කරන අය ඉන්නවානේ. ඔය ගොල්ලන ප්‍රේම කරපු කාලය සිහියට නගන්න. තමාව අල්ල ගත්ත කෙනාගෙන් ලැබුණ ධනය මොකක්ද? ආදරය, ආදරය කියන්නේ මොකක්ද? ඇලෙන දෙයක්. මේ ආකාරයෙන් අප හැම දේකටම තියෙන්නේ ඇලීමක්. ඉන්ධන ඒ කියන්නේ ඔය ගොල්ලන් ඉන්ධන කියලා නිතර තේරුම් ගන්න පැට්ට්‍රල්, ඩීසල් ආදිය ශුද්ධ කරගෙන ශුද්ධකරගෙන ගියහොත් අවසානයට ලැබෙන්නේ තාර, එකෙත් තියෙන්නේ ඇලෙන ගති ය. මේ ග්‍රහලෝක වලට ඈතින් ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් තමයි මේ තාරකා තිබෙන්නේ. එසේනම් මේ ග්‍රහ ලෝක අවසානයේ කෙළවරම තිබෙන්නේ තාරකා ය. මේ තාරකාවලින් නිකුත්වන කිරණ කදම්භයන් ද ඇවිත් පතිත වනුයේ ද මේ වේරම්භ වායුවේ පෘෂ්ඨය මත ය. මේ ආකාරයට වේරම්භවාතයේ පෘෂ්ඨය මත පතිත වූ තාරකාවල ප්‍රතිබිම්භයන් පෘතුවි පෘෂ්ඨයට එල්ලවන බව තේරුම් ගත යුතු ය. මේ නිසා පෘතුවි තලය මත සිටින අප දකිනුයේ තාරකා නොව පෙනෙන පිහිටීමට අදාල තාරා බිම්භ හෙවත් තාරා මණ්ඩල වනු ඇත. මේ තාරා මණ්ඩලවල පවතිනුයේ මා පෙර කී පරිදි තාර මෙන් ඇලෙන ගුණය කි. මේ තාරා එකක් හෝ කිහිපයක් එකතු වී නැකත් තරු නිර්මාණය වී ඇති අතර එවැනි නැකත් 27 ක් අදට භාවිතයේ පවතින බව ඔබලාට දැකිය හැකි වනු ඇත. මෙවැනි නැකත් තාරුකා මණ්ඩල තුනක සබඳතාවක් ගොඩනගාගෙන රාශි දොලොස නිර්මාණය වී ඇත. එසේ නම් තාරා මුල්කරගෙන නිර්මාණය වු නැකැත් තාරා වල සහ රාශි තාරා වල පවතිනුයේ ඇලෙන ගුණයක් බව දැන් ඔබට තේරුම් ගත හැකි වනු ඇත. මේ ඇලන ගුණ අතරේ පවතින

01 “අර්ථ” වෙනුවෙන් ඇලීම
02 “ධර්ම” වෙනුවෙන් ඇලීම
03 “කාම” වෙනුවෙන් ඇලීම සහ
04 “මෝක්ෂ” වෙනුවෙන් ඇලීම ලෙස ආකාර හතරක ඇලීමක් පවතිනු ඇත.

එපමණක් නොව ඉහත කී හතර ආකාර ඇලීම නැවත වරක් පහත පරිදි ද ඇලීමකට භාජනය වනු ඇත. එය පිළිවෙලින් මෙසේ දැක්විය හැකි ය.
01 “රජස්” හෙවත් ඇල්ලීමට ඇති ඇලෙන ගතිය
02 “තමස්” හෙවත් ගැටීමට ඇති ඇලෙන ගතිය සහ
03 “මෝක්ෂ” හෙවත් මෝහයට ඇති ඇලෙන ගතිය ලෙස ය.(ප්‍රිය-අප්‍රිය අතර මැනීම)

එපමණක් නොව ඉහත කී හතර ආකාර ඇලීම නැවත වරක් පස් ආකාරයකට එනම් පංච භූත තත්වයට ආදාලව ද ඇලීමකට භාජනය වන බව පහත පරිදි කිව යුතුව ඇත.

01 තේජෝ ගතිය හෙවත් ගිණි ගතියට ඇති ඇලීම
02 ආපෝ ගතිය හෙවත් ජල ගතියට ඇති ඇලීම
03 පඨවි ගතිය හෙවත් තද ගතියට ඇති ඇලීම
04 වායෝ ගතිය හෙවත් පැතිරී සිටීමට ඇති ඇලීම
05 ආකාශ ගතිය හෙවත් ඉඩක් වෙන්කර ගැනීමට ඇති ඇලීම ලෙස ය.

මේ අනුව විශ්ව අවකාශයේ තාරා මණ්ඩල, නැකත් තාරා මණ්ඩල සහ රාශි තාරා මණ්ඩල නිෂ්චලව පවතින අතර විශ්ව අවකාශයේ මෙකී නිෂ්චලව පවතින නැකත් මණ්ඩල සහ රාශි මණ්ඩල මතින් ග්‍රහ මණ්ඩල චලිත වන හෙවත් ගමන් කරන බව දත යුතු ය. මේ අවස්ථාවේ දී ග්‍රහ මණ්ඩලවල අල්ලා ගන්නා ගතියක් නිරූපණය වන අතර නැකත් මණ්ඩල සහ රාශි මන්ඩල මත අලවා ගන්නා ගතියක් ඇති බැවින් නැකතක් සහ රාශියක් මත ග්‍රහ ගමනකදී ප්‍රබල ග්‍රහණයක් හෙවත් අල්ලා ගැනීමක් සහ අලවා ගැනීමක් සිදුවන නිසා ණය ගනුදෙනුවකට පැටලැවෙන බ ව දැන් ඔබට තේරුම් යනවා ඇතැයි මම සිතමි.

ජ්‍යොතිෂට සම්බන්ධ සෘෂිවරයන් සම්බන්ධ මූලාශ්‍ර

ජ්‍යොතිර් විද්‍යාව අර්ථකථනය කිරීමේ දී පළමුව ප්‍රකාශ කල යුතුව ඇත්තේ මෙය මහා සාගරයකට සමාන කල හැකි විෂය පථයකින් යුක්ත බව ය. මේ ජ්‍යොතීර්විද්‍යාව ප්‍රධාන අංග තුනකින් සමන්විත වන බවත් ඒවා පිළිවෙලින්

01 ගණිත සිද්ධාන්ත
02 සංහිතා
03 හෝරා ලෙසින් දැක්වෙනවා.

මෙහි ගණිත සිද්ධාන්ත කොටසට ඇතුලත්ව පවතිනුයේ තාරකා ශාස්ත්‍රයට අදාල වූ ගණිතමය කොටස යි. මේ ගණිතමය සිද්ධාන්ත ගැන ලියවුන ගණිත සිද්ධාන්ත ග්‍රන්ථ පහක් තිබිලා තියෙනවා. ඒ සිද්ධාන්ත ග්‍රන්ථ පහ මෙලෙසින් දැක්විය හැකි ය.
01 පෞක්‍ර සිද්ධාන්තය
02 රෝමක සිද්ධාන්තය
03 වශිෂ්ඨ සිද්ධාන්තය
04 සූර්ය සිද්ධාන්තය
05 පිතාමහ සිද්ධාන්තය ලෙසිනි.

මෙයින් ගණිත කොටස යටතේ අද කාලය තුල වැදගත්ම ග්‍රන්ථය වී ඇත්තේ සූර්ය සිද්ධාන්තය බව දත යුතු ය. ඊට ප්‍රධානම හේතුව අපේ දැනුමට ගෝචරවන පරිදි දැනට ඉතිරිව ඇත්තේ මෙය නිසා විය හැකි ය. මෙම සූර්ය සිද්ධාන්තයේ පරිවර්ථන ග්‍රන්ථයක් ඉන්දියාවේ තිබෙනවා. එය ඔයගොල්ලන්ට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහි නම සහ කතුවරුන්ගේ නම් පහතින් දක්වමු. මෙම ග්‍රන්ථය තුල ඉතා වටිනා ජ්‍යොතිෂ ගණිත සිද්ධාන්ත අන්තර්ගතව පවතිනවා.

මී ලඟට මෙම තාරකා ශාස්ත්‍රයට අදාලව තාරා මණ්ඩල අතර ග්‍රහ මණ්ඩලයන්හී සිදුවන චලනයන් නිසා ඇතිවන කුණාටු, භූමිකම්පා, ජලගැලීම්, වසංගත රෝග පැතිරීම්, සාගතවලට හසුවීම්, යුද්ධ ආදි කළකෝළහල ඇතිවීම, විවිධ කාලගුණික විපර්යාසයන්ට ලක් වීම නිසා ඇතිවිය හැකි පලාඵලයන් ආදිය සංහිතා කොටසට අයත්වන අතර ඒගැන කරුණුකාරණා සංහිතා ග්‍රන්ථවල දැක්වේ. මේ ආකාරයට ලියවුන දැනට අපට දැකිය හැකි සංහිතා ග්‍රන්ථ කිහිපයක් පහතින් දක්වමු.
01 වරහාමිහිරාචාර්යන්ගේ බෘහත් සංහිතාව
02 වශිෂ්ඨාචාර්යන්ගේ වශිෂ්ඨ සංහිතාව
03 ගර්ගාචාර්යන්ගේ ගර්ග සංහිතාව
04 පරාශරාචාර්යන්ගේ පරාශර සංහිතාව
05 නාරදාචාර්යන්ගේ නාරද සංහිතාව දැක්විය හැකි ය.

මෙයින් වරහාමිහිරාචාර්යන්ගේ බෘහත් සංහිතාව සහ නාරදාචාර්යන්ගේ නාරද සංහිතාව දැනට අප අතර ප්‍රකට වුවද අනෙකුත් සංහිතා ග්‍රන්ථ මේ කාලය තුල එතරම් ප්‍රකටව නැත.

මී ලඟට මෙම තාරකා ශාස්ත්‍රයට අදාලව තාරා මණ්ඩල අතර ග්‍රහ මණ්ඩලයන්හී සිදුවන චලනයන් උපයෝගී කරගනිමින් ශුභ මුහුර්ථ ආදිය සාදා ගැනීමේ කොටස හෝරා කොටසට අයත් වනු ඇත.

වේද ශාස්ත්‍රය යනු දැණුම සොයන ශාස්ත්‍රයක් වන අතර මෙකී වේද ශාස්ත්‍රය ප්‍රධාන අංග හයකින් සමන්විත වී ඇති බව පැරණි පොතපතේ සඳහන්ව ඇත. එම වේද ශාස්ත්‍රයේ හතරවන කොටස ජ්‍යොති: ශාස්ත්‍රයට හිමිව ඇති අතර එකී වේදාංගයන් සය ඔබ සියළු දෙනාගේ දැන ගැනීම පිණිස පහතින් දක්වමු.
01 ඡන්දස් ශාස්ත්‍රය අක්ෂර ගැලපීමේ නීතී වේදාංගයේ දෙපා
02 ශෝභා භාෂා ශාස්ත්‍රය වේදාංගයේ මුහුණ
03 කල්ප ශාස්ත්‍ර අනුගමනය කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර වේදාංගයේ අත්
04 ජ්‍යොති: ශාස්ත්‍ර ආලෝක ශාස්ත්‍රය වේදාංගයේ ඇස
05 ශික්ෂා ශාස්ත්‍රය ව්‍යාකරන නීතී වේදාංගයේ නාසය
06 නිරුක්ත ශාස්ත්‍රය වචනවල ශබ්ධාර්තය වේදාංගයේ කන්

මෙහිදී අපට ජ්‍යොතිෂ් ශාස්ත්‍රයට අදාල වූ ප්‍රධාන සෘෂිවරුන් දහඅට දෙනෙකු ගැන කියවෙන අතර ඒ ගැන නාරද සංහිතාවේ දෙවන සහ තුන්වන ශ්ලෝකවලින් මෙසේ දක්වා ඇත.

බ්‍රහ්මාචර්යෝවසිෂ්ඨෝ ත්‍රිර්මනු: පෞලස්ත්‍යෙලොමශෞ
මරීචරංගිරා ව්‍යාසෝ නාරද: ශෞනකෝ භෘගු:

ව්‍යවතෝ යවනොගර්ක: කාශ්‍යපශ්ව පරාශර:
අෂ්ට ද ශෛතේ ගංභීරා ජ්‍යොති: ශාස්ත්‍ර ප්‍රවර්තකා:

01 බ්‍රහ්ම 02 ආචාර්ය 03 වශිෂ්ඨ
04 අත්‍රී 05 මනු 06 පුලස්ති
07 ලෝමෂ 08 මරීච 09 අංගීර
10 වේදට්‍යාස 11 නාරද 12 ශෝනක
13 භෘගු 14 ව්‍යවන 15 යවනාචාර්ය
16 ගර්ග 17 කාශ්‍යප 18 පරාශර යනාදි ලෙස ය.

එමෙන්ම නාරද සංහිතාවේ හතරවන ශ්ලෝකයෙන්

සිද්ධාන්ත සංහිතා හෝරා රූපං ස්කන්ධත්‍රයාත්මකම්
වේදස්‍ය නිර්මලං චක්ෂූර්ජ්‍යොති: ශාස්ත්‍ර මනුත්තමම්

මෙසේ දක්වා ඇත. මෙහි අදහස වී ඇත්තේ සිද්ධාන්ත, සංහිතා හෝරා යන ස්නක්ධ තුන උතුම් වූ ජ්‍යොතිෂ් ශාස්ත්‍රයේ නිර්මල නෙත් බව ය. එනම් ජ්‍යොතිෂ නම් ආලෝකය බැලීමට නම් ඉහත කී ස්ක්න්ධත්‍ර තුනේ නෙත් විවර කර ගත යුතු බව ය.

එමෙන්ම නාරද සංහිතාවේ පස්වන ශ්ලෝකයෙන්

අස්‍ය ශාස්ත්‍රස්‍ය සංඛංධො වේදාංගමිති කත්‍යයතේ
අභිධෙයංච ජගත: ශුභාශුභ නිරූපනම්

මෙසේ දක්වා ඇත. ඉහත කී මේ වේද සබඳතාවයන් ලෝකයාගේ ශුභඅශුභ කියා දීම උදෙසා භාවිතයට යොදා ගත හැකි යයි එයින් කියැවී ඇත.
මීට අමතරව සප්ත සෘෂිවරුන් ලෙසින් සෘෂිවරුන් හත්දෙනෙකුගේ නම් ද ජ්‍යොතිෂය බැඳී පවතී. ඒ සත් දෙනා පිළිවෙලින් මෙසේ දැක්විය හැකි ය.
01 අත්‍රී
02 අගස්ත්‍යය
03 ජෛමිණි
04 සොන්ගිනාර්
05 නාරද
06 වශිෂ්ඨ
07 විශ්ව මිත්‍ර ලෙසින් සප්ත සෘෂිවරුන් දක්වා ඇත.

පහතින් දක්වා ඇත්තේ ජ්‍යොතිෂයට අදාලව නොව අග්නි පුරාණයට අනුව වාස්තු ශාස්ත්‍රය පෝෂණය කල සෘෂිවරුන් දහඅට දෙනා බව දත යුතු ය.

අග්නි පුරාණයට අනුව වාස්තු ශාස්ත්‍රය පෝෂණය කළ අටළොස් ගුරුකුලයක් පිළිබඳව තොරතුරු හමුවේ.

භෘගුරත්‍රීවශිෂ්ටස්ච විශ්ව කර්ම මයස්තථා
නාරදෝ නග්නජිච්චෛව විශාලාක්ෂ: පුරන්දර:
බ්‍රහ්මා කුමාරෝ නන්දිශ: ශෞනකෝ ගර්ග ඒව ච
වාසුදේවෝ නිරුද්ධශ්ව තථා ශුක්‍ර බෘහස්පති
අෂ්ටාදශෛතේ වීඛ්යතා වාස්තුශාස්ත්‍රෝපදේශක:

මෙම ප්‍රකාශයට අනුව එම අටලොස් වාස්තු විශාරදයෝ මෙසේ දැක්විය හැකිය.
1 භaගු 2 අත්‍රී 3 වසිෂ්ට 4 විශ්වකර්ම 5 මය 6 නාරද
7 නග්නජිත් 8 විශාලාක්ෂ 9 පුරන්දර 10 බ්‍රහ්ම 11 කුමාර 12 නන්දීෂ
13 ශෞනක 14 ගර්ග 15 වාසුදේව 16 අනිරුද්ද 17 ශුක්‍ර 18 බෘහස්පති

මෙම සෘෂිවරු බොහෝ දෙනෙක් ජ්‍යොතිෂ්ශාස්ත්‍රය, ආයුර්වේදය ඇතුළු බොහෝ පෙරදිග ශාස්ත්‍රයන් හී පෝෂණයට කටයුතු කළ අය වෙති. මොවුන්ගේ කර්තෘත්වයට අයත්කොට ඇති මූල ග්‍රන්ථ 25 ක නම් අග්නි පුරාණයේ සඳහන් ව තිබුණ ද, එයින් බොහෝමයක් කෘති වර්ථමානය වන විට නාමාවශේෂභාවෝපගතව ඇත.

වෛදික ජ්‍යොතිෂයට අදාලව රාශි හැඳින්වීම සහ රාශි නිර්වචනය කිරීම

වෛදික ජ්‍යොතිෂයට අදාලව පෘතුවියේ දක්ෂිණ ධ්‍රැවයේ සිට උත්තර ධ්‍රැවය දක්වා ඇති මධ්‍ය රේඛාවේ උත්තර ධ්‍රැවයේ මතුපිට සිට යම් අයෙක් පෘතුවිය වටා ඇති පෙදෙස නීරීක්ෂණය කලහොත් එම උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය යන ලක්ෂ දෙක හරහා වන මධ්‍ය රේඛාව කේන්ද්‍ර කරගෙන ඒ වටා ඇති මෙම අභ්‍යවකාශය හෙවත් අංශක 360 ක පෙදෙස සමාන කොටස් දොලොසකට බෙදූ විට රාශි දොලොස නිර්මාණය වී ඇති බවක් දැකිය හැකිය.

නමුත් මෙම රාශි දොලොසේ නිර්මාණය මීට වඩා කරුණු කාරණා සහිතව වෛදික ජ්‍යොතිෂයේ දී ඉගෙන ගත යුතුව ඇත. අප ජීවත්වන මෙම පෘතුවි තලය හෙවත් මෘත්‍යු ලෝකය වටා ඇති පෙදෙස හෙවත් අවකාශය නැමැති සංකල්පය කාලය නැමැති සංකල්පය හා එක්වී මෙම රාශි දොලොස නිර්මාණය වී ඇති බව පැවසුවහොත් ඔබ මවිත විය හැකි ය. පෘතුවිය වටා ඇති පෙදෙස හෙවත් අවකාශය අංශක 360 කින් යුක්තය. සත්‍ය වශයෙන්ම එය සංකල්පයකි. මෙම පෘතුවිය වටා ඇති අංශක 360 ක අවකාශය වටා පෘතුවියේ උප ග්‍රහයෙකු ලෙසින් සඳු ගමන් ගන්නා අතර පෘතුවිය වටා සඳුට එක් වටයක් ගමන් කිරීමට ආසන්න වශයෙන් දින 28 ක් හෝ දින 29.5 ක් ගත වනු ඇත. මෙම දින ගණන ප්‍රකාශ කලේ කාලය නැමැති සංකල්පය පදනම් කරගෙන ය. මෙම කාලය නැමැති සංකල්පයට ප්‍රමුඛවම දායකත්වය ලබා දෙන්නේ රවි ග්‍රහයා ය. මෙම රවිට පෘතුවිය වටා එක් වටයක් යාමට දින 365.25 ක් හෙවත් සූර්ය වර්ෂයක් ගත වනු ඇත. මේ අනුව අවකාශය සහ කාලය නැමැති සංකල්පයන් දෙක මත මෙම රාශි දොලොස නිර්මාණය වූයේ කෙසේ දැයි දැන් අප සලකා බලමු.

පෘතුවිය වටා සූර්යා එක් වටයක් ගමන් කරන කාලය තුල එනම් සුර්ය වර්ෂයක් තුල චන්ද්‍රයා හෙවත් සඳු දින 29 කට වරක් පෘතුවිය වටා එක් වටයක් ගමන් කරන නිසා මෙම සඳු, සුර්යා සමග සංයෝග වන අවස්ථා 12 ක් උදා වනු ඇත. මෙම සුර්යා සහ සඳු සංයෝග වන අවස්ථාව අමාවක දවසක් ලෙස හැඳිනවෙන අතර මෙම සුර්යා සහ සඳු සංයෝග වු අවස්ථා දොලොස නිසා අවකාශය තුල නිර්මාණය වුනු සීමාවන් දොලොස නිසා රාශි දොලොස නිර්මාණය වී ඇත. මේ නිසා මෙම රවි සඳුගේ සංයෝග වීම සුර්ය වර්ෂයක් තුල දොලොස් වතාවක් වන අතර එය කිසිම දිනෙක් එකොළොසක් හෝ දහ තුනක් නොවනු ඇත. මේ නිසා මෙම රාශි දොලොසේ නිර්මාතෘවරුන් වනුයේ රවි සහ සඳු යන දෙදෙනා ය. මෙම රවි සහ සඳු යන දෙදෙනාගේ එක් වීම හෙවත් සංයෝගය මත මේ ලෝකයේ හෙවත් මෘත්‍යු ලෝකයේ ලෞකික උත්පාදන ශක්තිය බිහිවී ඇත. මෙම ලෞකික උත්පාදන ශක්තිය බිහිවී ඇත්තේ මෙම රාශි දොලොස සමග ය. විශේෂයෙන්ම මෙම ලෞකික උත්පාදනය සිදුව ඇත්තේ කාලය සහ අවකාශය යන සංකල්ප දෙක මත බව දැන් ඔබට තේරුම් ගත හැකි ය. එය තව දුරටත් මෙසේ විග්‍රහ කල හැකි ය.

පෘතුවිය වටා ඇති අංශක 360 ක ප්‍රමාණය අවකාශය වන අතර එම අංශක 360 ක අවකාශයකින් යුත් එම ප්‍රමාණය තම අක්ෂය වටා එක් වටයක් ගමන් කිරීමට ගතවන දින 01 ක ප්‍රමාණය කාළය වනු ඇත. මෙම කාලය හා අවකාශය මත උත්පාදනය වන සියළුම ලෞකික සැපයන්ගේ උපත, පැවැත්ම සහ විනාශය පාළණය කරනුයේ මෙම කාලය නැමැති සංකල්පයට ප්‍රධාන දායකත්වයක් ලබා දුන් රවි ග්‍රහයා ය. එමෙන්ම මෙම විශ්වයේ එනම් මෘත්‍යු ලෝකයේ පියා රවි වන අතර මව වනුයේ අවකාශය නැමැති සංකල්පයට දායකත්වය සැපයු සඳු ය. මෙම දෙදෙනාගේ එක් වීම මත සියළු ලෞකික උත්පාදනයන් සිදුවන බව අප තේරුම් ගත යුතුව ඇත. මෙම මෘත්‍යු ලෝකයේ සියළුම සජීවි සත්ව, ශාක සහ මිනිස් උත්පාදනයන් ද, අජීවි මේස, පුටු, යාන වාහන ආදියේ නිර්මාණය ද මෙම උත්පාදන න්‍යාය මත සිදුවන බව අප තේරුම් ගත යුතුව ඇත. මෙම රාශි දොලොසේ හිමි කාරකත්වය හෙවත් ප්‍රධාන අධිපතිත්වය පියා නිවේදනය කරන රවිට අයත් වන අතර මේ අනුව මෙම රවි සහ සඳු යන දෙදෙනාගේ එක් වීම මත නිර්මාණය වුනු රාශි දොලොසෙන් අපගේ ලෞකික අවශ්‍යතා ඉටුකර දෙනු ඇත. මෙම අපට අවශ්‍යය ලෞකික අවශ්‍යතා අප ඉල්ලා සිටිනුයේ මෙම විශ්වය හෙවත් මෘත්‍යු ලෝකයේ මව වන සඳුගෙනි. මේ නිසා සඳුට වෛදික ජ්‍යොතිෂයේ දී “අදිති,, යන නාමය භාවිතා කර ඇත. මෙම මවගෙන් හෙවත් සඳුගෙන් ඉල්ලූ ලෞකික උත්පානයන් ලබා දෙන්නේ මෘත්‍යු ලෝකයේ පියා වන රවි නිසා මෙම රවිට වෛදික ජ්‍යොතිෂයේ දී “ආදිත්‍ය,, යන නම භාවිත කර ඇත. මෙහිදි අවකාශය හා කාලය උත්පාදන න්‍යායට දායක්තවයක් සපයන නිසා මාතෘෘත්වය සදු නිවේදනය කරන එම ලෞකික උත්පාදනයේ උපත, පැවැත්ම සහ විනාශය පාළණය කරන්නේ රවි නිසා එම රවි පීතෘෘත්වය නිවේදනය කරනු ඇත. මෙම පීතෘත්වය නිවේනය කල රවි මෙම රාශි දොලොසේ දී ආකාර දොළසකින් හැසිරෙන අතර එම රවිගේ අවස්ථා දොළොස රවිගේ ද්වාදස ආදිත්‍ය ලෙස ජ්‍යොතිෂයේ දී අර්ථ දක්වා ඇත. මෙම ද්වාදස ආදිත්‍ය හැසිරීම පිළිබඳව ඉදිරියේදී කාල පුරුෂ න්‍යාය යටතේ ඉගෙන ගනිමු.

මෙම ලෞකික උත්පාදන න්‍යායට දායකත්වය සැපයු රවි සඳු දෙදෙනාගේ එක් වීම මත මෘත්‍යු ලෝකයේ ලෞකික සැප ලබා දෙන මේෂ, වෘෂභ, මිතුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ සහ මීන යන රාශි දොලොස නිර්මාණය වූ ආකාරය දැන් අපට පැහැදිලි ව තේරුම් ගත හැකි වනු ඇත. නමුත් මෙම රාශි නම් කිරීමේ දී නිශ්චිත වශයෙන්ම මේෂ රාශිය ආරම්භ වනුයේ කොතනින් ද යන්නත් න්‍යායාත්මකව තෝරා බේරා ගත යුතුව ඇත. මේ නිසා අප මෙම රාශි චක්‍රෙය් ආරම්භක ස්ථානය සඳහා නිශ්චිත ලක්ෂයක් තෝරා බේරා ගත යුතුව ඇත. එම ලක්ෂය න්‍යායාත්මකව තෝරා බේරා ගන්නේ කෙසේද යන්න දැන් අප පරීක්ෂා කර බලමු.
මෙහිදී පෘතුවියේ භූගෝලීය පිහිටීම සම්බන්ධයෙන් අප අවධානය යොමු කල යුතුව ඇත. පෘතුවිය තම අක්ෂය වටා භ්‍රමණය වනුයේ අංශක 23.4 ක ඇලයක් සහිතවය. මෙහිදි උත්තර ධ්‍රැවයේ ලම්භක අක්ෂය සහ දක්ෂිණ ධ්‍රැවයේ ලම්භක අක්ෂය යෙදුන ආකාරයත්, දක්ෂිණ ධ්‍රැවයේ ආනතිය සහිත අක්ෂය සහ උත්තර ධ්‍රැවයේ ආනතිය සහිත අක්ෂයත් අතර යෙදුන අංශක 23.4 ක ඇලය දී ඇති රූපයෙන් නිරීක්ෂණය කරන්න. මෙහිදි පෘතුවිය වටා සුර්යා ගමන් ගන්නා කක්ෂ තලය හෙවත් ක්‍රාන්ති වෘත්තය සහ පෘතුවිය අංශක 23.4 ක ඇලය සමග තම අක්ෂ වටා කැරකැවීම නිසා ආකාශ තලයේ නිර්මාණය වු ක්‍රාන්ති වෘත්තය යන වෘත්ත දෙක යෙදී ඇති ආකාරය දී ඇති රූප සටහනේ හොඳින් නීරීක්ෂණය කරන්න. එම වෘත්ත හෙවත් තල දෙක එකිනෙක කැපී යන ලක්ෂ දෙකක් ඔබට දැක ගත හැකි වනු ඇත. මෙහිදී උත්තර ධ්‍රැවයේ දී එක් ලක්ෂයකුත් දක්ෂිණ ධ්‍රැවයේ දී එක් ලක්ෂයකුත් පවතින බව ඔබට දැක ගත හැකි වනු ඇත. මෙහිදී උත්තර ධ්‍රැවයේදී මෙම තල දෙක කැපී යන නිත්‍ය ලක්ෂය මේෂ රාශිය වන අතර දක්ෂිණ ධ්‍රැවයේදී මෙම තල දෙක කැපී යන ලක්ෂය තුලා රාශිය වනු ඇත.

මේ අනුව අප මෙම උත්තර ධ්‍රැවයේ ඇති වෙනස් නොවන නිශ්චිත ලක්ෂයක් ලෙස සුර්ය පථයත් නාඩි වෘත්තයත් කැපීයන ස්ථානය ලෙස ගෙන මේෂ රාශියේ ආරම්භය සටහන් කලද, සත්‍ය වශයෙන්ම පෘතුවිය අංශක 23.4ක ඇලය සමග අවකාශ තලය තුල පවතින නිසා එම ඇලය සමග ඇති අක්ෂය පෘතුවියේ ලම්භක අක්ෂයට සාපේක්ෂවද වෘත්තාකාර සෙමින් ගමනක යෙදෙන බැවින් මෙම නිශ්චිත ලක්ෂයේ ද යම් වෙනසක් සෙමින් සිදුවන බව පැවසිය යුතු ය. නමුත් මෙම පෘතුවියේ ලම්භක තලයට සාපේක්ෂව සිදුවන වෘත්තාකාර ගමන අංශක 360 ක් සම්පූර්ණ කිරීමට වසර 25850 ක්

ගතවන අතර මෙම ගමන ඉතා සෙමින් සිදුවන නිසා වසරකට මෙම වෙනස ආසන්න වශයෙන් කලා 01 ක් පමණ වනු ඇත. මෙම වෙනස අප ජ්‍යොතිෂයේ දී අයනාම්ශය ලෙසින් හඳුන්වා ඇත.

මෙහිදි කාලය නැමැති සංකල්පය සමග සසඳන කල පෘතුවියට සූර්යා වටා එක් වටයක් යාමට දින 365.25 ක් හෙවත් සුර්ය වර්ෂ 01 ක් ගතවන අතර එම සූර්ය වර්ෂ එකක කාලය තුල පෘතුවිය රාශි චක්‍රෙය් එක් වටයක් සම්පූර්ණ කරනු ඇත. මේ අනුව මේෂය මුල් කර ගත් විශ්ව කේන්දරයේ මකර රාශිය ට සූර්යා පැමිණිමත් සමගම සුර්යා සුර්ය පථයට සාපේක්ෂව නාඩි වෘත්තයේ ඉහලට හෙවත් උත්තර අර්ධය කරා ගමන් ඇරඹීම සිදු කරනු ඇත. මෙය උත්තර අයනය ලෙසින් හැඳින්වෙන අතර මෙම කාලය සුරයන් අවදිවන ශුභ කාලයක් ලෙස ජ්‍යොතිෂයේ හඳුන්වා ඇත. ජ්‍යොතිෂය බිහිවුන ඉන්දියාව වැනි රටවල මෙම දිනය තෛපොන්ගල් දිනය ලෙසින් ජනවාරී මාසයේ රවි මකර රාශියට සම්ප්‍රාප්ත වීමත් සමගම උත්සවාකාරයෙන් සමරනු ඇත. මෙහිදි අයනය යන වචනය ද නිර්වචනය කර ගත යුතු අතර අයනයෙන් නිවේදනය වනුයේ රවි ගමන් කරන දිශාව හෙවත් රවිගේ අරමුණ කරා ගමන් කිරීම බව තේරුම් ගත යුතුව ඇත. මකර රාශියට රවි ඇතුළු වූ දින සිට පුරා සූර්ය මාස හයක් සූර්යා උත්තර අයනයේ ගමන් කරන අතර සුර්යා මේෂය මුල් කර ගත් විශ්ව කේන්දරයේ කටක රාශියට ඇතුළු විමත් සමගම සුර්යා සුර්ය පථයට සාපේක්ෂව නාඩි වෘත්තයේ පහලට හෙවත් දක්ෂිණ අර්ධය කරා ගමන් ඇරඹීම සිදු කරනු ඇත. මෙය දක්ෂිණ අයනය ලෙසින් හැඳින්වෙයි. රවි මෙම දක්ෂිණ අයනයට හෙවත් කටක රාශියට ජූලී මාසයේ පැමීණිමත් සමගම ලෞකික සැප උත්පාදනයට මාතෘත්වය සැපයු සඳු පලමු වරට දර්ශණය වන දිනය මුස්ලිම් බැතිමතුන් රාමසාන් ලෙසින් උත්සවාකාරයෙන් සමරනු ඇත. ඉස්ලාම් ආගමිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන අල්කුර් ආනය ලොව පහල වීම සිදු වු කාලය සිහිපත් කිරීමේ අරමුණින් පුරා මාසයක් පුරා උපවාස සීලයක යෙදී එය අවසන් කරන්නේ රවි මෙම දක්ෂිණ අයනයට හෙවත් කටක රාශියට ජූලී මාසයේ පැමීණිමත් සමගම ලෞකික සැප උත්පාදනයට මාතෘත්වය සැපයු සඳු පලමු වරට දර්ශණය වන දිනය පදනම් කරගෙන ය.

විශ්ව කේන්දරයට සාපේක්ෂව සූර්ය පථයත් නාඩි වෘත්තයත් උත්තර අර්ධයේ එකිනෙකට කැපීයන ස්ථානය මේෂ රාශිය වනු ඇත. මෙයද අප්‍රේල් මාසයේ රවි මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමගම සිංහල අලුත් අවුරුද්ද ලෙසින් උත්සවාකාරයෙන් ශ්‍රී ලාංකියන් සමරනු ඇත. මෙය මේ ලෝක තලයට හෙවත් මෘත්‍යු ලෝක තලයට රවිගේ පැමීනීම සනිටුහන් කරන දිනය වනු ඇත.

එමෙන්ම විශ්ව කේන්දරයට සාපේක්ෂව සූර්ය පථයත් නාඩි වෘත්තයත් දක්ෂිණ අර්ධයේ එකිනෙකට කැපීයන ස්ථානය තුලා රාශිය වනු ඇත. මෙය ඔක්තොම්බර් මාසය තුල යෙදෙන වප් අව තුදුස්වක දිනය ඇරඹෙන කාලය තුල හින්දු, දෙමල සහ ශීක් ජාතීන් විසින් උත්සවාකාරයෙන් සමරනු ඇත. මෙහිදි රාවණා මරා දමා රාමගේ බිරිඳ වු සීතා සහ රාමගේ සහෝදරයා වූ ලක්ෂමණව රාවණාගෙන් බේරාගෙන නැවත රාමගේ අගනගරය වූ අයෝධයාවට නැවත පැමිණි දිනය සිහි කිරීමට මෙම උත්සවය පවත්වන බව සැලකේ. එමෙන්ම නරකට ඵරෙහිව ජයග්‍රහණය සැමරීම, අධ්‍යාත්මික ප්‍රබෝධය සැමරීමද මෙම උත්සවයේ එක අරමුණකි.
මීට අමතරව පෘතුවිය තමා වටා එක වටයක් භ්‍රමණය වීමට පැය 24 ක් හෙවත් දිනයක කාලයක් ගතවන අතර මෙම දිනයක කාලය තුල පෘතුවියද රාශි වලල්ලේ මේෂයේ සිට මීනය දක්වා එක් වටයක් ගමන් කරමින් නැවත මේෂ රාශියට පැමිණෙනු ඇත. මෙහිදී ද නැවත වරක් කාළය සහ අවකාශය යන සංකල්පය පදනම් කරගෙන සූර්යා කටක රාශියෙන් සිංහ රාශියට පැමීණෙන තැනත් සූර්යා මකර රාශියෙන් කුම්භ රාශියට පිවිසෙන ස්ථානයත් හරහා අර්ධ දෙකක් නිර්මාණය වන අතර එම අර්ධ දෙකෙන් කුම්භ රාශියේ අංශක 0 ත් සිංහ රාශියේ අංශක 0 ත් අතර දිනක් තුල යෙදෙන පූර්ව භාගයත්

අපර භාගයත් යන අර්ධ දෙක නිර්මාණය වී ඇත. මෙහිදී ද සූර්යා දිනක් තුල තම අරමුණ වෙනුවෙන් අයන දෙකක හෙවත් උත්තර අයනයේ සහ දක්ෂිණ අයනයේ ගමන් කරනු ඇත. මෙම අයන දෙක අඳුර සහ ආලෝකය යන අරමුණු දෙක නිවේදනය කර ඇත. මෙහිදි රවි දක්ෂිණ අයනයේ ගමන් කරන කාලය දිවාකාලය නිවේදනය කරන අතර රවි උත්තර අයනයේ ගමන් කරන කාලය රාත්‍රී කාලය නිවේදනය කරනු ඇත. මේ අනුව රාත්‍රී කාලය හෙවත් අපර භාගය නිවේදනය කරන උත්තර අයනය සඳු නිවේදනය කරන අතර දිවා කාලය හෙවත් පූර්ව භාගය නිවේදනය කරන දක්ෂිණ අයනය

රවිගෙන් නිවේදනය වනු ඇත. මේ අනුව රාශි චක්‍රය ප්‍රධාන වශයෙන් අර්ධ දෙකකට බෙදා දිවා අර්ධය රවිටත්, රාත්‍රී අර්ධය අර්ධය සඳුටත් වෙන් කර දී ඇත. මෙහිදි කටක රාශිය යෙදුන සඳුට හිමි අර්ධයෙන් කොටස් 05 ක් සඳුට ද, සිංහ රාශිය හිමි රවිට හිමි අර්ධයෙන් කොටස් 05 ක් රවිට ද වෙන්කර දී ඇත.

මේ අනුව සඳුට හිමි රාශි පහ තුල මිතුන රාශියට හිමි බුදගෙන් පඨවි තත්වය ද, වෘෂභ රාශියට හිමි සිකුරුගෙන් ජල තත්වය ද, මේෂ රාශියට හිමි කුජගෙන් අග්නි තත්වයද, මීන රාශියට හිමි ගුරුගෙන් ආකාශ තත්වයද, කුම්භයට හිමි සෙනසුරුගෙන් වායු තත්වයද යන පංච භූත තත්වයක් රාත්‍රී බලැති සඳුට අදාලව උත්පාදන න්‍යායට එක්වී ඇති අයුරු දැන් අපට දැක ගත හැකි ය.

මේ අනුව රවිට හිමි රාශි පහ තුල කන්‍යා රාශියට හිමි බුදගෙන් පඨවි තත්වය ද, තුලා රාශියට හිමි සිකුරුගෙන් ජල තත්වය ද, වෘශ්චික රාශියට හිමි කුජගෙන් අග්නි තත්වයද, ධනු රාශියට හිමි ගුරුගෙන් ආකාශ තත්වයද, මකරයට හිමි සෙනසුරුගෙන් වායු තත්වයද යන පංච භූත තත්වයක් දිවා බලැති රවිට අදාලව උත්පාදන න්‍යායට එක්වී ඇති අයුරුද දැන් අපට දැක ගත හැකි ය.

මේ අනුව රාශි නිර්මාණයේදී රවි සඳු දෙදෙනාගේ කාලය හා අවකාශය යන සංකල්පය මත යෝග වීමේදී මෘත්‍යු ලෝකයේ ලෞකික සැප රාශි මගින් අපට උත්පාදනය කරදෙන බව අප මුලින් ප්‍රකාශ කෙරුවෙමු. ඒ සඳහා රාත්‍රී බලැති මාතෘත්වය හිමි සඳුට රාශි පහකින් පංච භූත තත්වයක් යටතේ ලෞකික සැප උත්පාදනයට ශක්තියක් ලැබෙන අතර දිවා බලැති පීතෘත්වය හිමි රවිට රාශි පහකින් පංච භූත තත්වයක් යටතේ ලෞකික සැප උත්පාදනයට ශක්තියක් ලැබී රාශි දොලොස මගින් මෘත්‍යු ලෝකයේ ලෞකික සැපතට අදාල සියළු ජීවි අජීවී උත්පාදනයන් රවි සහ සඳු යෝග වීමෙන් නිර්මාණය වූ ආකාරය දැනි ඔබට හොඳින් වැටහෙනවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>