ආරූඪ ලග්නය සහ ආරූඪ පද ගණනය කිරීමේ ක්‍රම වේදය පළමු කොටස

ජන්ම පත‍්‍රයක ආරූඩ පද ගණනය කරන ආකාරය

                ජන්ම සටහනක ආරූඩ පද ගණනය කිරීමේ දී ජෛමිණි සෘෂිවරයා විසින් භාවිත කල යුතු බවට නිර්දේශ කල රීතින් පහක් ලබා දී ඇත. එකී රීතීන් පහට අදාලව ආරූඩ පද ගණනය කරන්නේ කෙසේ දැයි යන්න අප දැන් විමසා බලමු. මේ අනුව ඊට අදාල රීතීන් පහ කුමක් දැයි යන්න අප පළමුව විමසා බලමු.

රීතී අංක 01
                 ජන්ම පත‍්‍රයක යම් කිසි භාවයකට අදාල එකී භාවයේ භාවාධිපතියා එම භාවයට හිමි රාශියේ සිට යම් රාශි ප‍්‍රමාණයක් ඉදිරියට ගමන් කර ඇත් ද, එතැන් සිට එවැනිම රාශි ප‍්‍රමාණයක් ඉදිරියට ගමන් කරන්න. එම රාශිය එකී භාවයේ ආරූඩ පද රාශිය වනු ඇත.

රීතී අංක 02
                ජන්ම පත‍්‍රයක යම් කිසි භාවයකට අධිපති වූ ග‍්‍රහයා එම භාවයටම හිමි රාශියේ තැන්පත්ව සිටියේ නම් එම භාවය හිමි රාශියම අරූඩ පදය ලෙසින් නොගත යුතුව ඇත. එවන් අවස්ථාවක එකී භාවයේ ආරූඩ පදය වනුයේ එම භාවයට අධිපතී වූ ග‍්‍රහයා තැන්පත්ව සිටි එකී රාශියෙන් දසවන රාශිය බව දත යුතුව ඇත.

රීතී අංක 03
              ජන්ම පත‍්‍රයක යම් භාවයකට අධිපති වූ ග‍්‍රහයා එකී භාවයෙන් හත්වන භාවයට හිමි රාශියේ තැන්පත්ව සිටියේ නම් එකී භාවයෙන් හත්වැන්න වූ රාශිය එකී භාවයේ ආරූඩ පද රාශිය ලෙසින් නොගත යුතු ය. එවන් අවස්ථාවක දී ආරූඩ පදය සෙවිය යුතු භාවයෙන් දසවන රාශිය හෙවත් එකී ආරූඩ පදය සෙවිය යුතු භාවයෙන් හත්වැන්නේ සිට හතරවන රාශිය එකී භාවයේ ආරූඩ පදය විය යුතු ය.

                එමෙන්ම ජන්ම පත්‍රයක යම් භාවයකට අධිපති වූ ග්‍රහයා එකී භාවයෙන් දසවැන්න තුල තැන්පත්ව සිටි විට එම තැන්පත් භාවයෙන් දසවන භාවය වූ ආරූඪය සෙවීමට අදාල භාවයෙන් හත්වන භාවය කිසි විටෙකත් ඊට අදාල ආරූඪ පදය ලෙස නොගත යුතුය. එවන් අවස්ථාවක ආරූඪය සෙවිය යුතු භාවයෙන් හතරවන භාවය එහි ආරූඪ පදය ලෙස ගත යුතුව ඇත. 

රීතී අංක 04
            ජන්ම පත‍්‍රයක යම් භාවයකට අධිපති වූ ග‍්‍රහයා එකී භාවයට හිමි රාශියෙන් හතරවැන්න වූ රාශිය තුල තැන්පත්ව සිටියේ නම් එතැන් සිට රාශි හතරක් ඉදිරියට ගැන හත්වැන්න වූ රාශිය ආරූඩ පදය ලෙසින් නොගත යුතු ය. එවන් අවස්ථාවක දී එම භාවයට අධිපති ග‍්‍රහයා එම භාවයට හිමි රාශියෙන් හතර වැන්නේ සිටියේ නම් එම හතරවැන්න වූ රාශියම එම භාවයේ ආරූඩ පදය ලෙසින් ගත යුතුව ඇත.

රීතී අංක 05
            වෘශ්චික සහ කුම්භ යන රාශි දෙකට ආරූඩ පද ගණනය කරන විට එම රාශි දෙකටම අධිපතීන් දෙදෙනෙකු බැගින් සිටින නිසා එම භාවයට හිමි නිවැරදිම අධිපතියා කවුදැයි යන්න හඳුනාගැනීමට ජෛමිණි සෘෂිවරයා විශේෂ නීති හයක් දී ඇත. මේ අනුව වෘශ්චික රාශියට අධිපතියා ලෙසින් කුජ සහ කේතු ක‍්‍රියාත්මක වන අතර කුම්භ රාශියට අධිපතියා ලෙස සෙනසුරු සහ රාහු ක‍්‍රියාත්මක වනු ඇත. මේ අනුව මෙම රාශි දෙකට අදාලව නිවැරදී අධිපතීත්වය හිමි වනුයේ කාටදැයි යන්න නිවැරදිව හඳුනාගැනීමට ජෛමිණි සෘෂිවරයා රීතින් හයක් දක්වා ඇත. දැන් අප එම රීතීන් හය නිවැරදිව පිළිවෙලින් හඳුනා ගනිමු.

05.01
           අදාල භාවයට අධිපතීත්වය හිමිවන ග‍්‍රහයන් දෙදෙනාගෙන් එක් ග‍්‍රහයෙකු එම භාවය තුල සිටියේ නම් එම භාවය තුල නොසිටි ග‍්‍රහයාට එම භාවයේ අධිපති කම හිමි වනු ඇත. (මෙම නීතියට අදාල නොමැති නම් පමණක් ඊ ලඟ නීතියට යොමු වන්න.)

05.02
           අදාල භාවයට අධිපතීත්වය හිමිවන ග‍්‍රහයන් දෙදෙනාගෙන් යම් කිසි ග‍්‍රහයෙක් වැඩිම ග‍්‍රහයන් ගණනක් සමග යෝග වී ඇති නම් එම ග‍්‍රහයාට අධීපතීත්වය හිමි වනු ඇත. (මෙම නීතියට අදාල නොමැති නම් පමණක් ඊ ලඟ නීතියට යොමු වන්න.)

05.03
          අදාල භාවයට අධිපතීත්වය හිමිවන ග‍්‍රහයන් දෙදෙනාගෙන් යම් කිසි ග‍්‍රහයෙක් වැඩි වශයෙන් ගුරුගේ සහ බුදගේ දෘෂ්ඨියට ලක් වූයේ නම් හෝ බුද හෝ ගුරු සිටි රාශිය අධිපති එකී ග‍්‍රහයාට දෘෂ්ඨි හෙළුවේ නම් එම ග‍්‍රහයාට අධිපතීත්වය හිමි වනු ඇත. (මෙම නීතියට අදාල නොමැති නම් පමණක් ඊ ලඟ නීතියට යොමු වන්න.)

05.04
           අදාල භාවයට අධිපතීත්වය හිමිවන ග‍්‍රහයන් දෙදෙනාගෙන් යම් කිසි ග‍්‍රහයෙක් උච්ච, ස්වක්ෂේත‍්‍ර, මූල ත‍්‍රිකෝණ, මිත‍්‍ර, සම, සතුරු, මූඨ, නීච යන අනු පිළිවෙල පරිදි වැඩිම බලය හිමි කෙනාට අධිපතීත්වය හිමි වනු ඇත. (මෙම නීතියට අදාල නොමැති නම් පමණක් ඊ ලඟ නීතියට යොමු වන්න.)

05.05
          අදාල භාවයට අධිපතීත්වය හිමිවන ග‍්‍රහයන් දෙදෙනාගෙන් යම් එක් ග‍්‍රහයෙක් එම ග්‍රහයා තැන්පත් රාශිය තුල වැඩිම අංශක ගණනක් ඉදිරියට ගිය ග‍්‍රහයා වූයේ නම් එම ග්‍රහයාට එකී භාවයේ අධිපතීත්වය හිමි වනු ඇත. (මෙම නීතියට අදාල නොමැති නම් පමණක් ඊ ලඟ නීතියට යොමු වන්න.)

05.06
          අදාල භාවයට අධිපතීත්වය හිමිවන ග‍්‍රහයන් දෙදෙනාගෙන් යම් කිසි ග‍්‍රහයෙක් මෙලෙසින් පුරුෂ රාශියක සිටින ස්ත‍්‍රී ග‍්‍රහයාද, ස්ත‍්‍රී රාශියක සිටින පුරුෂ ග‍්‍රහයාද වඩා බලවත් බව සිතා අධිපතීත්වය හිමිකර දිය යුතු ය.

පුරුෂ රාශි ලෙසින් ‌මේෂ, මිතුන, සිංහ, තුලා, ධනු සහ කුම්භ යන රාශි හය දැක්විය හැකි අතර
ස්ත්‍රී රාශි ලෙසින් වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර සහ මීන යන රාශි හය දක්වා ඇත.

***(පස්වන රීතියට අදාලව වූ මෙම අනු නීතී හය අනු පිළිවෙලින් සලකා බැලිය යුතු අතර අතරින් පතර ඇති මැද නීතී අනුව අධිපතීත්වය දීම කිසි විටෙක නොකල යුතුව ඇත.)***

යම් කිසි ජන්ම පත‍්‍රයක ආරූඩ පද දක්වන ආකාරය මෙලෙසින් දැක්විය හැකිය.

01     පළමුවන භාවයේ ආරූඩය –           ආරූඩ ලග්නය, ලග්න පදය, ආරූඩ පදය AL
02     දෙවන භාවයේ ආරූඩය –              ධන ආරූඩය, චිත්තාරූඪය, විත්ත පදය, ධන පදය A2
03     තුන්වැනි භාවයේ ආරූඩය –           වික‍්‍රමාරූඩය, භාත‍්‍රාරූඩය, සහජාරූඩය, සහජ පදය භාතෲ පදය, වික‍්‍රම පදය A3
04     හතරවන භාවයේ ආරූඩය –           සුඛාරූඩය, මාත‍්‍රීආරූඩය, වාහනාරූඩය, වාහන පදය, සුඛ පදය, මාත‍්‍රී පදය, A4
05     පස්වන භාවයේ ආරූඩය –             මන්ත‍්‍රාරූඩය, පුත‍්‍රාරූඩය, බුද්ධි ආරූඩය, බුද්ධි පදය, මන්ත‍්‍ර පදය, පුත‍්‍ර පදය A5
06     හයවන භාවයේ ආරූඩය –             ශතෘආරූඩය, රෝගාරූඩය, රෝග පදය, ශතෲ පදය A6
07     හත්වන භාවයේ ආරූඩය –             දාරාරූඩය, කලත‍්‍රාරූඩය, දාර පදය, කලත‍්‍ර පදය A7
08     අටවන භාවයේ ආරූඩය –             මෘත්‍යුආරූඩය, කෂ්ථාරූඩය, රන්ද්‍රාරූඩය, මෘත්‍යු පදය, කෂ්ඨ පදය, රන්ද්‍ර පදය A8
09     නවවන භාවයේ ආරූඩය –            ධර්මාරූඩය, පීතෲආරූඩය, ගුරුආරූඩය, භාග්‍යාරූඩය, ධර්ම පදය, පීතෲ පදය, ගුරු පදය, භාග්‍ය පදය A9
10     දසවන භාවයේ ආරූඩය –              කර්මාරූඩය, ස්වර්ගාරූඩය, රාජ්‍යාරූඩය, කර්ම පදය, ස්වර්ග පදය, රාජ්‍ය පදය A10
11      එකොළොස්වන භාව ආරූඩය –    ලාභාරූඩය, ලාභ පදය A11
12     දොළොස්වන ශාවයේ ආරූඩය –   ගෞනාරූඩය, උපාරූඩය, ව්‍යයආරූඩය, ගෞන පදය, උප පදය, ව්‍යය පදය UL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>