ආයු බල විනිශ්චය හෙවත් මරණය ‌

ආයු බල විනිශ්චය හෙවත් මරණය

              වෛදික ජ්‍යොතිශයේ ඉතාමත් ගැඹුරු මෙන්ම ජ්‍යොතිශඥයන් වශයෙන් ඉතාම ඕනැකමකින් හා කැපවීමකින් අධ්‍යනය කළ යුතු විෂය පථයක් වූ ආයු බල විනිශ්චය පාරම්පරික රහස් මෙන්ම මහා සෘෂීන් විසින් ලොවට දායාද කළ මුළික සෘෂි සිද්ධාන්ත සහිත ග්‍රන්ථ තුල මේ පිළිබඳව සිද්ධාන්ත බොහොමයක් පෙන්වා දී ඇත. එම කරුණු ඉතා ප්‍රවේශමෙන් සහ නිවැරදිව භාවිතා කිරීමෙන් ඉතාම වැදගත් වූ කරුණු රාශියක් ජන්ම පත්‍රය තුලින් හෙලිකර ගත හැකි වනු ඇත.

              අපට කිසියම් කාර්යක් නිවැරදිව ඉටුකර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍යය වූ දැණුම, අවබෝධය සහ ඒ සඳහා භාවිතා කල යුතු මෙවලම් මොනවාද යන්න දැණගැනීම ඉතා අත්‍යාවශ්‍යය වනු ඇත. උදාහරණයක් වශයෙන් ඔබ වෛද්‍ය වරයෙකු නම් කිසියම් රෝගියෙක් පරීක්ෂාකර නිවැරදිවම රෝගය හඳුනාගැනීම සඳහා මූලික වශයෙන් එම වෛද්‍යවරයාට,  වෛද්‍යවරයෙකු සතු දැණුම, අවබෝධය, අත්දැකීම් හා පර්යේෂණයන්ද, වෛද්‍ය උපකරණද අවශ්‍යවනු ඇත. එසේම ජ්‍යොතිශඥයෙකුටද කිසියම් කරුණක් හෝ විෂයක් සම්බන්ධව දීර්ඝ ලෙස නිවැරදිව පරීක්ෂා කිරීමට ඉහත කී කරුණු අත්‍යාවශ්‍යම බව කිව යුතු නොවේ. මෙම ලිපියෙන් බොහෝ රහස් ප්‍රමාණයක් ඔබගේ දැණුමට එකතු වෙනු ඇතැයි මම විශ්වාස කරමි.

                  කෙසේ වෙතත් පරතෙරක් නොපෙනෙන ජ්‍යොතිෂ විෂයෙහි ආයු බල විනිශ්චය එක් පැති කඩකි. ඒ සඳහා අවශ්‍යය වන්නාවූ සිද්ධාන්ත හා නීතී බොහෝ ප්‍රමාණයක් පවතින අතර එම කරුණු ස්වල්පයක් ඔබ වෙත අද දින හෙලි කිරීමට අදහස් කරමි. යම් යම් සිද්ධාන්ත හා නීතී ඉතාමත් සැලකිල්ලෙන් අධ්‍යනය කර පරීක්ෂණ ගණනාවකින් පසු ප්‍රත්‍යක්ෂ කර ගන්නා මෙන් ඉල්ලා සිටින අතර බොහෝ විට අපට වැරදීමක් සිදු වුවද, සිද්ධාන්ත ගැඹුරින් නිවැරදිව භාවිතා කිරීමෙන් පමණක් එම වැරදීමට හේතුව ඔබට ප්‍රත්‍යක්ෂ වනු ඇත. මේ සඳහා (ගුරු) ප්‍රඥාව වර්ධනය කර ගැනීම ඔබ සතු කාර්යක් වනු ඇත. මාතෘකාව වෙත අප දැන් නැවත යොමු වෙමු.

                 “ආයුහ් පීතෲ දිනේශාභ්‍යාම්”

                 ජෛමිණී සෘෂීන් විසින්, ලග්නය සහ අටවැන්න අධිපතිගෙන් ආයුෂ විමසිය යුතු බව ප්‍රකාශ කර ඇත. මෙම ශ්ලෝකයෙන් අටවැන්න අධිපති ගැන කියවේ. සාමාන්‍යයෙන් අටවැන්න අධිපති ලග්නයෙන් වාමාවෘතව ගැනීම ප්‍රසිද්ධ කරුණක් වුවද, ආයුෂ සම්බන්ධව අටවැන්න අධිපති සෙවීමේ විශේෂ ක්‍රමයක් පවතින බවද එය පහත පරිදි වේ.

ඔජ රාශියක් වී එය චර නම් වාමාවෘතව අටවැන්නද
ඔජ රාශියක් වී එය තිර නම් සත්වැන්නෙන්දක්ෂිණාවෘතව අටවැන්නද
ඔජ රාශියක් වී එය උභය නම් වාමාවෘතව අටවැන්නද
යුග්ම රාශියක් වී එය චර නම් දක්ෂිණාවෘතව අටවැන්නද
යුග්ම රාශියක් වී එය තිර නම් වාමාවෘතව හත්වැන්නෙන් අටවැන්නද
යුග්ම රාශියක් වී එය උභය නම් දක්ෂිණාවෘතව අටවැන්නද

 

ඔජ රාශි යුග්ම රාශි චර රාශි තිර රාශි උභය රාශි
මේෂ වෘෂභ මේෂ වෘෂභ මිතුන
මිතුන කටක කටක සිංහ කන්‍යා
සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු
තුලා වෘශ්චික මකර කුම්භ මීන
ධනු මකර
කුම්භ මීන

විශේෂ නීතී :-

                මේෂ, තුලා, කුම්භ යන මෙම රාශි තුනටම අටවැන්න අධිපතීන් වනුයේ ලග්නාධිපතිම වේ. එවිට ලග්නාධිපතිගෙන් අටවැන්න ගත යුතු අතර එසේ වුවද එම ග්‍රහයන්ද එකම ග්‍රහයා වන්නේ නම් එම රාශි වලින් අටවැන්න අධිපති ලෙස ගත යුතුය. එනම් අටවැන්නෙන් අටවැන්න ගත යුතුව ඇත.

උදා :-

                කුම්භ ලග්නය වී දොලොස්වැන්නේ සෙනසුරු වේ නම් අට අධිපතීන් දෙදෙනාම එකම ග්‍රහයාට අයත්වේ. මේ නිසා මකර රාශියට අදාල අටවැන්න වන මිතුන රාශිය හිමි බුද අට අධිපති ලෙස සුදුසුකම් ලබයි.

ආයුෂ කාණ්ඩ තීරණය කිරීම

චර උත්පාත බ්‍රහ්ම
උභය තිථි විශ්ණු
තිර භංග ශිව (රුද්‍ර)

                  චර රාශි වලින් උත්පාදන න්‍යාය පෙන්වන අතර, මෙකී රාශි අධික ශක්තියකින් යුක්ත බව කලින් අප ඉගෙනගෙන ඇත. එසේම උභය රාශීන් මධ්‍යම ශක්ති ප්‍රමාණයෙන්ද, තිර රාශි අල්ප ශක්තියකින්ද යුක්තවේ. මෙම සිද්ධාන්තය මත චර රාශින් දීර්ඝායුෂ නිවේදනය කරන අතර උභය රාශීන් මධ්‍ය ආයුෂද, තිර රාශින් අල්ප ආයුෂ නිවේදනය කිරීමේ මූලීක සිද්ධාන්තය නිර්මාණය වී ඇත.

”පීතෲ කාලත්ශ්ව”

                    ජන්ම ලග්නයෙන් සහ හෝරා ලග්නයෙන් ආයුෂ විමසිය යුතු බව නැවත මෙම ශ්ලෝකයෙන් පැහැදිලි කරයි. මෙහි සිද්ධාන්තය විමසමු. ලග්නය භෞතික ශරීරය නිවේදනය කරන බව අප දනිමු. හෝරා ලග්නයෙන් ධනය ගැන කියවේ. ලග්නයේ පැවැත්ම සඳහා අවශ්‍යය පෝෂණය හෙවත් (ධනය) දුර්වල වූ විට ලග්නය වූ භෞතික ශරීරය දුර්වලවේ. මෙම කරුණ මනාව අධ්‍යනය කිරීමෙන් ජෛමිණි මහා සෘෂීන් එක් වචනයකින් ප්‍රකාශ කල දේ කෙතරම් ගැඹුරු දැයි සිතා බලන්න. මේ අනුව හෝරා ලග්නයට කාරක ග්‍රහයා වනුයේ සඳු වේ.

“ඒවං මන්ද චන්ද්‍රභ්‍යාම්”  “( සඳු සහ සෙනසුරුගෙන් විමසිය යුතුය)”

සඳු මනස නිවේදනය කරයි. මනස පීඩා වූ විට භෞතික ශරීරය පීඩාවේ. රෝග පීඩා ඇතිවේ. මේ නිසා ශරීර සෞඛ්‍යය දුර්වල වීම අනිවාර්ය වේ.

සෙනසුරු ආයුෂ සඳහා කාරකවේ. හේතු පැහැදිලි කරන්න?

                සෙනසුරුගේ ස්වක්ෂේත්‍ර මෙන්ම මූලත්‍රීකෝණ රාශියද කුම්භ වේ. කුම්භ රාශියත් සෙනසුරුත් වායු තත්වය නිවේදනය කරයි. ප්‍රාණය නිරුද්ධ වීම මරණය වශයෙන් අපි පිළිගනිමු. මෙහිදී වායු තත්වය නොහොත් ආශ්වාස ප්‍රාශ්වාසය සඳහා සෙනසුරුගේ දායකත්වය ගැන සැලකිලිමත් වීමේදී කිසියම් මොහොතක ආශ්වාස ප්‍රාශ්වාසය නතරවූ කල්හී අප මරණයට පත්වෙනු ඇත. සෙනසුරු ආයුෂ සඳහා කාරක වන සිද්ධාන්තය මෙලෙස පැහැදිලි කර ගන්න.

ඉහත කරුණ අනුව යුගල තුනක් ආයු විනිශ්චය සඳහා උපයෝගී කරගත යුතු බැවින් ඒවා පහත සඳහන් වේ.

01           ලග්නාධිපති සහ අට අධිපති තැන්පත් රාශිය
02           සඳු සහ ශනි
03           උදා ලග්නය සහ හෝරා ලග්නය

විශේෂ නීති 01 :-

මේ අනුව චර රාශීන් දීර්ඝ ආයුෂද, උභය රාශීන් මධ්‍ය ආයුෂද, තිර රාශීන් අල්ප ආයුෂද  නිවේදනය කරන බව කලින් සඳහන් කර ඇත. මෙම නියමය මත යුගලයෙන් පෙන්වන රාශීන් එකම වුවහොත් ඉන් නිරූපනය කරන ආයුෂ පෙන්වන අතර යුගලයන් දෙක වෙනස් වූ විට මඟ හැරුණ ආයු කාණ්ඩය ඒ සඳහා ලැබෙනු ඇත.

උදා:-
ලග්නය චර රාශියක් වී හෝරා ලග්නය තිර රාශියක් නම් මග හැරී ඇති රාශිය උභය වේ. ඉන් නිවේදනය වන මධ්‍ය ආයු ප්‍රමාණය එම කාණ්ඩයෙන් ලැබෙන බව ගත යුතුය.

විශේෂ නීති 02 :-

  1. යුගල 3න් දෙකක් අල්පා යුෂ වේ නම් අල්පායුද
  2. යුගල 3න් දෙකක් දීර්ඝායුෂ නම් දීර්ඝායුද
  3. යුගල 3න් දෙකක් මධ්‍යායු නම් මධ්‍යායුෂද වේ.

එසේම දීර්ඝායුෂ වර්ෂ 108 ක් වන අතර නවාංශ දශාවක් වර්ෂ 9කි.  (රාශි 12 * 9) = 108 යන සිද්ධාන්තය මත මධ්‍ය ආයු 72 ක් හා අල්පායු වසර 36 කට සීමාවෙනු ඇත.

විශේෂ නීති 03 :-

                   යුගල දෙකෙන් එකම ආයු කාණ්ඩ පෙන්වුවද විශේෂ නීති යටතේ ආයු කාණ්ඩය වෙනස් වීමේ තත්වය ඉතිරිවූ අනෙක් ආයු කාණ්ඩය අනුව තීරණය වේ. එය මෙසේය. ආයු කාණ්ඩ දෙකක් දීර්ඝායුෂ පෙන්වුවද ඉතිරි කාණ්ඩය අල්පායුෂ වේනම් අල්ප + දීර්ඝ වශයෙන් වෙනස් වේ. එවිට ජන්මියාගේ උපරිම ආයුෂ ප්‍රමාණය වසර 96 කි. එසේම ආයු කාණ්ඩ දෙකක් දීර්ඝ වී අනෙක් ආයු ඛාණ්ඩය දීර්ඝ නම් උපරිම ආයුෂ වසර 120 ක් වශයෙන්  සැලකේ.

තෙවන යුගලය අල්ප වී ඉතිරියද අල්ප නම් උපරිම ආයුෂ වසර 32 කි.
තෙවන යුගලය අල්ප වී ඉතිරියද මධ්‍ය නම් උපරිම ආයුෂ වසර 64 කි.
තෙවන යුගලය අල්ප වී ඉතිරියද දීර්ඝ නම් උපරිම ආයුෂ වසර 96 කි.
තෙවන යුගලය මධ්‍ය වී ඉතිරියද අල්ප නම් උපරිම ආයුෂ වසර 36 කි.
තෙවන යුගලය මධ්‍ය වී ඉතිරියද මධ්‍ය නම් උපරිම ආයුෂ වසර 72 කි.
තෙවන යුගලය මධ්‍ය වී ඉතිරියද දීර්ඝ නම් උපරිම ආයුෂ වසර 108 කි.
තෙවන යුගලය දීර්ඝ වී ඉතිරියද අල්ප නම් උපරිම ආයුෂ වසර 40 කි.
තෙවන යුගලය දීර්ඝ වී ඉතිරියද මධ්‍ය නම් උපරිම ආයුෂ වසර 80 කි.
තෙවන යුගලය දීර්ඝ වී ඉතිරියද දීර්ඝ නම් උපරිම ආයුෂ වසර 120 කි.

විශේෂ නීති 04 :-

ආයු කාණ්ඩ එකිනෙකට වෙනස් නම්
01           (HL) හෝරා ලග්නයෙන් සහ ජන්ම ලග්නයෙන් නිවේදනය කරන ආයුෂ හිමිවේ.
02           ලග්නයේ හෝ හත්වැන්නේ සඳු වේ නම් ශනි + සඳු යුගලයේ ආයුෂ හිමිවේ.

“නෞ භෝග  පෞතෞ  මන්දේ  කක්ෂ්‍යා  භ්‍රසත්”

අවසානයේ යුගලයේ සිටිමෙන්  ශනි  කාණ්ඩ  අඩුවේ.

කක්ෂයක් යනු ආයු කාණ්ඩයකි. අවසාන යුගලය යනු
01             යුගල දෙකක් ආයුෂ ලබා දිමේදී වෙනස් කිරීමේ බලය ඇති යුගලයද,
02            යුගල තුනම වෙනස් ආයු කාන්ඩ ලබා දිමේදී ලග්නයේ හෝ හතේ සඳු සිටීමෙන් (ශනි + චන්ද්‍ර) යුගලයද,
03.           යුගල තුනම වෙනස් ආයුෂ ලබා දිමේදී (ලග්නය + හෝරා) යුගලය අවසාන යුගල වේ.

■             සෙනසුරු උච්ච හෝ ස්වක්ෂේත්‍ර නම් ආයුෂ අඩු නොවේ.
■             ශනි පාප සංයෝග පාප දෘෂ්ටි ලැබී නම් ආයුෂ අඩු වේ.

සැලකිය යුතුයි :-
මෙම අඩුවීම (කක්ෂ්‍ය භ්‍රාස)  ලබා දුන් ආයුෂ කාණ්ඩයෙන් පහල ඇති ආයු කාණ්ඩය දක්වා සිදුවේ.

උපරිම ආයු                    –           දීර්ඝායුෂ දක්වාද,
දීර්ඝායුෂ                        –           මධ්‍යායුෂ වශයෙන්ද,
මධ්‍ය ආයු                      –           අල්පායු වශයෙන්ද,
අල්ප ආයු                      –           බාල අරිෂ්ඨ වශයෙන්ද  අඩුවේ.

විශේෂ නීති 05 :-
පාප පීඩිත නොවු ගුරු ලග්නයේ හෝ හත්වැන්නේ නම් ආයු කාණ්ඩයක් වැඩිවේ. (කක්ෂ වෘද්ධි කක්ෂ හර්ෂ) ආයු දශාවක් වශයෙන් නවාංශ දසා භාවිතා කරයි. (නවාංශ දශා පසුව සාකච්ඡා කෙරෙනු ඇත.)

යම් නවාංශ දශාවක ද්වාරය භහ්‍යය රාශි පාප පීඩිත වී නම් මරණය ගෙන දේ. නවාංශක දශා රාශිය ද්වාරය (දොරටුව) වන අතර ලග්නයේ සිට ද්වාරයට ගමන් කළ දුරට සමාන දුරක් ගමන් කිරීමේදී ලැබෙන රාශිය භහ්‍යය රාශිය වේ.

උදා :-
ධනු ලග්නයෙන් උපන් අයෙකුගේ ද්වාරය මේස වේ නම් භහ්‍යය රාශිය සිංහ වේ.

මෙකී දසා වලදී ආත්මය ශරීරයෙන් ඉවත්ව යන දොරටුව ද්වාරය පෙන්වන අතර භහ්‍ය රාශිය ඉන් පිටත ලෝකය පෙන්වයි. මෙම සිද්ධාන්ත මත පහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය. ආයු විමසීම සඳහා

01.          ලග්නයෙන් අටවැන්න
02.          ආරූඩ ලග්නයෙන් තෙවැන්න
03.          (AK) ආත්ම කාරකගෙන්  අටවැන්න
04.          අටවැන්නෙන් අටවැන්න

01.          ලග්නයෙන් අටවැන්න (නිජ දෝෂ පෙර භවයේ කර්ම)
02.          ආරූඩ ලග්නයෙන් තෙවැන්න ( මරණය සිදුවන ප්‍රදේශය හා සිදුවන අන්දම)
03.          අටවැන්නෙන් අටවැන්න ( මරනය සිදුවන කාලය)
04.          අටවැන්නෙන් දහවැන්න (මරණය සිදුවන දිනය)
05.          (ස්ත්‍රින් සඳහා මෙය නවවැන්නෙන් බැලිය යුතුය.)
06.          අට අධිපති සිටි රාශිය (මරණය සිදුවන දුර ප්‍රමාණය)

ලග්නය, අරූඩ ලග්නය, ආත්ම කාරක හා විශේෂයෙන් ශනිගෙන් විමසිය යුතුය.

ඉතිරි කොටස බලාපොරොත්තු වන්න.

බ්‍රහ්ම, රුද්‍ර, මහේෂ්වර

රුද්‍ර ග්‍රහයා :-

ලග්නයෙන් හෝ හත්වැන්නෙන් බලවත් රාශියෙන් අටවැන්න අධිපති ග්‍රහයා රුද්‍ර ග්‍රහයා වශයෙන් සුදුසුකම් ලබන අතර විශේෂ නීති යටතේ අටවැන්න අධිපතීන් දෙදෙනාගෙන් පාප දෘෂ්ඨි, පාප සංයෝග ආදියෙන් පීඩිත වූ ග්‍රහයා “රුද්‍ර” වේ. මෙම රුද්‍ර ග්‍රහයා ශරීරය විනාශ කරනු ඇත.

මහේෂ්වර ග්‍රහයා :-

ආත්මකාරක ග්‍රහයාගෙන් අටවැන්න අධිපති ග්‍රහයා “මහේෂ්වර” නම් වේ. සෑම රාශියකටම අටවැන්න අධිපති වශයෙන් රුද්‍ර දොළොසක් (12) ක් තිබිය හැකි නමුදු ගුරු සිටි රාශිය හැර අනෙක් රාශි එකොළොස (11) රුද්‍ර වශයෙන් පෙනී සිටිනු ඇත. මෙය “ඒකාදශ රුද්‍ර” යනුවෙන් හඳුන්වනු ලැබේ. ආත්මකාරකගෙන්  අටවැන්න ආත්මයේ අවසානය හෙවත් විමුක්තිය පෙන්නුම් කරනු ඇත.

මහේෂ්වර ග්‍රහයා සම්බන්ධව විශේෂ නීතී අංක 01 :-

ආත්මකාරක ග්‍රහයාගෙන් අටවැන්න අධිපති උච්ච හෝ ස්වක්ෂේත්‍ර නම් එයින් අට සහ දොළහ අධීපතීන්ගෙන් වඩාත් ප්‍රබල ග්‍රහයා “මහේෂ්වර” වේ. මෙහි සිද්ධාන්තය වනුයේ ආත්මකාරගෙන් අටවැන්න අධිපති වුවද, උච්ච හෝ ස්වක්ෂේත්‍ර නම් එවැනි ග්‍රහයෙකුට මරණය ගෙන දීමට නොහැකි බව වේ.

මහේෂ්වර ග්‍රහයා සම්බන්ධව විශේෂ නීතී අංක 02 :-

රාහු හෝ කේතු මහේෂ්වර ග්‍රහයා බවට පත්වුවහොත් හෝ ආත්මකාරකගෙන් පළමුවැන්නේ හෝ අටවැන්නේ රාහු හෝ කේතු සිටී නම් එවන් අවස්ථාවක රාහු වෙනුවට බුද ග්‍රහයාද, කේතු වෙනුවට ගුරු ග්‍රහයාද මහේෂ්වර ග්‍රහයා වේ.

මහේෂ්වර ග්‍රහයා සම්බන්ධව විශේෂ නීතී අංක 03 :-

01 ආත්මකාරක මේෂ රාශියේ නම් කේතු මහේෂ්වර වේ.
02 ආත්මකාරක කටක රාශියේ නම් රාහු මහේෂ්වර වේ.
03 ආත්මකාරගෙන් අටවැන්න කටක රාශිය වී එහි සඳු හෝ ගුරු සිටියේ නම් රාහු මහේෂ්වර ග්‍රමයා වේ.
04 ආත්මකාරකගෙන් අටවැන්න මේෂ රාශිය වී එහි රවි හෝ කුජ සිටියේ නම් කේතු මහේෂ්වර ග්‍රහයා වේ.
05 ආත්මකාරකගෙන් අටවැන්න ධනු රාශිය වී එහි ගුරු හෝ කේතු සිටියේ නම් මහේෂ්වර ග්‍රහයා කේතු වේ.
06 ආත්මකාරක ග්‍රහයා රවි වී එකී රවි කටක රාශියේ සිටියේ නම් රාහු මහේෂ්වර ග්‍රහයා වනු ඇත.

බ්‍රහ්ම ග්‍රහයා :-

ලග්නයෙන් හෝ හත්වැන්න අතරින් ප්‍රබල රාශියෙන් 06,08, 12 අධිපතීන්ගෙන් අදෘෂ්යාර්ධයේ සිටිමින් ඔජ රාශියක තැන්පත් ග්‍රහයා “බ්‍රහ්ම” වේ

බ්‍රහ්ම ග්‍රහයා සම්බන්ධව විශේෂ නීතී අංක 01 :-
ග්‍රහයන් බ්‍රහ්ම වශයෙන් සුදුසුකම් නොලැබුවහොත් ලග්නය සහ හත්වැන්න අතරින් දුබල රාශියෙන් ඉහත කී පිළිවෙල අනුගමනය කළ යුතු ය.

බ්‍රහ්ම ග්‍රහයා සම්බන්ධව විශේෂ නීතී අංක 02 :-
ලග්නය ප්‍රබල වූ විට 07 වැන්නේ සිට ‌12 වැන්න දක්වා දෘෂ්‍ය අර්ධය වන අතර හත්වැන්න බලවත් වීමෙන් 01 වැන්න හ 06 වැන්න දෘෂ්‍ය අර්ධය වේ.

බ්‍රහ්ම ග්‍රහයා සම්බන්ධව විශේෂ නීතී අංක 03 :-
ශනි, රාහු, කේතු යන ග්‍රහයෙක් බ්‍රහ්ම වශයෙන් සුදුසුකම් ලබයි නම් එවිට ශනි නිසා කුජ ද, රාහු නිසා බුද ද, කේතු නිසා ගුරු ද,  බ්‍රහ්ම ග්‍රහයා වශයෙන් සුදුසුකම් ලබනු ඇත. මීට පදනම් වූ සිද්ධාන්තයද අප අවබෝධ කර ගත යුතුව ඇත.

රාහු නිසා බුද ද, කේතු නිසා ගුරු ද,  බ්‍රහ්ම ග්‍රහයා වශයෙන් සුදුසුකම් ලැබීමට හේතු වූ පදනම :-
කුජ උච්ච බව ලබන රාශිය ශනිට හිමි මකර රාශිය වේ. එසේම බුදට හිමි මිතුන රාශියේදී රාහු උච්ච වන අතරම ගුරුට හිමි ධනු රාශියේදී කේතු උච්ච වීම මීට පදනම වනු ඇත.

බ්‍රහ්ම ග්‍රහයා සම්බන්ධව විශේෂ නීතී අංක 04 :-
ආත්මකාරක ග්‍රහයාගෙන් අටවැන්න අධිපති ග්‍රහයා ආත්මකරකගේ රාශියේම සිටී නම් එම ග්‍රහයා බ්‍රහ්ම වේ.

ශුල දශාව :-

රුද්‍ර නොහොත් ශිව භංග න්‍යාය සඳහා කටයුතු කරන බැවින් භෞතික ශරීරය (පංච භූත තත්වය) විනාශ කිරීමේ කටයුත්ත සඳහා දායක වේ.
මනස, ආත්මය හා පංච භූත තත්වය විනාශ කිරීමේ හැකියාව රාහු සහ කේතු විසින් නිවේදනය කරන අතර උත්පාදනය ‌නොහොත් නැවත උපත විනාශ කරනුයේ කේතු විසිනි. මේ හේතුව මත කේතු මෝක්ෂ කාරක ග්‍රහයා වේ. රුද්‍ර යනු ඇඬීම හෝ ඇඬිමට සැලැස්වීම වශයෙන් අර්ථ නිරූපනය වේ. රුද්‍ර නොහොත් ශිව අත දරණ ආයුධය ත්‍රිශූලය වන අතර විශ්ව කේන්දරයේ ත්‍රිශූල රාශින් වනුයේ මෝක්ෂ ත්‍රිකෝණයට අයත් කටක, වෘශ්චික, මීන රාශි තුන වේ. මේ නිසා ආයු දශා විනිශ්චය උදෙසා ඉතා නම්‍යශීලී දශාවක් වශයෙන් ශුල දශාව භාවිත කිරීමට මහා සෘෂීන් උපදෙස් දී ඇත.

ආයු නිර්ණයට අදාල විශේෂ නීතී අංක 01 :-

කලින් සඳහන් නීතී අනුව අටවැන්න අධිපත් උච්ච නම් එක් නවාංශක දශාවකින් ආයුෂ වැඩිවන බව දත් යුතුව ඇත. ලග්නයෙන් හෝ හත්වැන්නෙන් බලවත් රාශියෙන් අටවැන්න අධිපති
කේන්ද්‍ර ගත වී සිටී නම් දීර්ඝායුෂ ද                         (01, 04, 07, 08)
පණපර ස්ථාන ගත වී සිටී නම් මධ්‍ය ආයුෂ ද,         ( 02, 05, 08, 11)
අපෝලීක්ම ස්ථානගත නම් අල්පායුෂ ද                  (03, 06, 09, 12)

ආයු නිර්ණයට අදාල විශේෂ නීතී අංක 02 :-
ජගන්නාත් නීතිය

ලග්නයෙන් හෝ හත්වැන්නෙන් ප්‍රබල රාශියෙන් අටවැන්න අධිපති තෝරාගන්න.
මෙම අටවැන්න අධිපති 01, 10, 11, 12 නම් මරණය පළමු කොටසේදී ද,
මෙම අටවැන්න අධිපති 07, 08, 09 නම් මරණය දෙවන කොටයසේදී ද,
මෙම අටවැන්න අධිපති 04, 05, 06 නම් මරණය තෙවන කොටයසේදී ද,
මෙම අටවැන්න අධිපති 01, 02, 03 නම් මරණය හතරවන කොටයසේදී ද, ක්‍රියාත්මක වන බව දක්වා ඇත.
මෙහිදී ලැබුණු ආයු කාණ්ඩ කොටස් හතරකට බෙදා ගත යුතුව ඇත.

ආයු නිර්ණයට අදාල විශේෂ නීතී අංක 03 :-

ලග්නාධිපති, අටවැන්න අධිපති, දසවැන්න අධිපති යන
ග්‍රහයන් තිදෙනාම බලවත් වී නම් දීර්ඝායුෂද,
දෙදෙනෙක් පමණක් බලවත් නම් මධ්‍යායුෂද,
එක්කෙනෙක් පමණක් බලවත් නම් අල්පායුෂ ද හිමිවේ.
මේ තවත් ක්‍රමයකි. එහෙත් සෙනසුරු සමග සම්බන්ධව සිටීම අශුභ ප්‍රතිඵල ඇති කලද, තමාගේම රාශියක නම් එහි ගැටළුවක් ඇති නොවනු ඇත.

ආයුෂ විපරීත වීම  :-

ආත්මකාරක ග්‍රහයා ලග්නයේ, හත්වැන්නේ හෝ නවවැන්නේ වේ නම් ආයුෂ විපරීත වේ. විපරීත වීම යනු තවත් අයෙක් පීඩාකර එහි වාසිය අදාල ජන්මියා ලබා ගැනීම වේ. එය උදාහරණයකින් පැවසුවහොත් යම් අයෙකුගේ ජන්ම සටහනක රවි ආත්මකාරක ග්‍රහයා වී නවවැන්නේ සිටියේ නම් පියාගේ ආයුෂ අඩුවී අදාල ජන්මියා ඒ ආයුෂය ලබනු ඇත. මේ අනුව ඉන් ගම්‍ය වනුයේ ආත්මකාරක නිවේදනය කරන ඥාතියාට මරණය ගෙනදෙන බව මින් පැහැදිලි කර ගත යුතුව ඇත.

ආයුෂ අඩුවීමේ වෙනත් පිහිටීම් :-

පාප ග්‍රහයන් 01, 07, 02, 12, 05, 09 වී සිටි විට (කක්ෂ හර්ෂ) ආයුෂ අඩුවේ. මෙම ස්ථානවල ශනි සිටීමෙන්ද, ආයුෂ අඩුවේ. පුර සඳු සහ සිකුරු ඉහත ස්ථානවල සිටීමෙන් රාශියකින් ආයුෂ වැඩිවන බව දත් යුතුව ඇත. දශා රාශියේ ගුරු සිටීමෙන් හෝ ගුරු දැකීමෙන් හෝ ආත්මකාරක සිටීමෙන් හෝ දැකීමෙන් මරණය එම රාශි දශාවේ සිදු නොවන අතර සඳු හා කුජ හෝ සඳු සහ සිකුරු ග්‍රහයන් විසින් මරණය ගෙන දිය හැක. දශා රාශියේ අශුභ පාපීන් එසේ දකී නම් හෝ සිටී නම් මරණය සිදුකල හැකි බව දත යුතුව ඇත.

ශුල දශාව ලග්නයේ හෝ හත්වැන්නේ ප්‍රබල රාශියකින් ආරම්භ වේ. සෑම රාශියක්ම වර්ෂ නවයක් වන අතර රාශි 12 සඳහා ආයුෂ කාලය වර්ෂ 108 කට සීමා වනු ඇත. අල්පායුෂ පෙන්වන කේන්ද්‍රයක ආරම්භක ශුල දශා රාශියේ සිට රාශි හතරක් හිමිවන අතර මධ්‍ය ආයු කේන්දරයක ශුල දශා රාශියේ සිට රාශි පහේ සිට අට දක්වාද හිමිවන අතර දිර්ඝායු කේන්දරයක ශුල දශා රාශියේ සිට රාශි නවයේ සිට දොළහ දක්වා හිමිවන බව දත යුතුව ඇත. ආයු තත්වය අනුව අශුභ ශුල දශා රාශියේදී මරණය සිදුවනු ඇත. මරණය සිදුවන වර්ෂය සුදර්ශණ චක්‍රය ඇසුරින්ද, මරණය සිදුවන මාසය හා දිනය ජීව සහමය ඇසුරින්ද දත යුතුබව ජ්‍යොතිෂයේ දක්වා ඇත. මේ තරම් සියුම් ලෙසින් ජ්‍යොතිෂ සිද්ධාන්තයන් භාවිතයට ගත යුතු ආකාරය මා හට කියා දුන් මාගේ ගුරුවරයෙකු වූ කරූ හීන්කේන්ද මහතාටද, ඉන්දියාවේ ශ්‍රී ජගන්නාත් ගුරුකුළයේ සංජය රාත් ගුරු පියාණන්ගේ ‌‌දේශණ හා මුද්‍රිත පත පොත අධ්‍යනයෙන් ලත් දැනුමටද,  මා සමග සහෝදරත්වයෙන් මෙම දැනුම බෙදාගත් ශ්‍රීලංකාවේ ආච්‍යුත ගුරුකුළයේ සියළුම සහෝදර සහෝදරියන්ටද මම උපහාර කරමි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>