සෘතු භේධය

ලිත් හෝඩිය

කාල මානය නිර්ණය කිරීම

අපෝ, තේජෝ, වායෝ, පඨවි හා ආකාශ යන පංච විධ භූතයන්ගේන් සැදුම් ලත් සියළුම සජීවී හා අජීවී වස්තූන්ගේ ඇතිවීම, පැවැත්ම සහ විනාශය කාලය මත පදනම් වී ඇත. මෙම ඇතිවීම, පැවැත්ම හා විනාශය අධ්‍යනය කිරීම සඳහා පැරැන්නන් මෙම කාලය ලොකු කුඩා ලෙස කොටස් වලට බෙදා දක්වා ඇත. මෙසේ බෙදා දක්වන ලද කාලය ජොතිෂ ශාස්ත‍්‍රඥයන් වන අප ඉතා හොඳින් අධ්‍යනය කල යුතුව ඇත. මෙම කාලය පිලිබඳ අධ්‍යනයේදී එය ප‍්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක. එය මුහුර්ත සහ අමුහුර්ත ලෙසිනි. මෙයින් මනුෂ්‍යයන් වන අපට තීරණය කල හැකි සංඛ්‍යාත්මක අගයකින් පරීක්ෂා කල හැකි කාල කොටස මුහුර්ථ වන අතර එසේ ගෝචර ඥාණයට හසු නොවන අතිශූක්ෂම කොටස අමුහුර්ථ කොටස වනු ඇත. මේ අනුව අපට සංඛ්‍යාත්මක අගයකින් තීරණය කල හැකි කාල කොටස මෙසේ කොටස් කර දක්වා ඇත.

  • ප‍්‍රාණ 06 ක් – විඝටී 01 යි
  • විඝටී 60 ක් – ඝටී 01 යි
  • ඝටී 60 ක් – දින 01 යි
  • දින 30 ක් – මාස 01 යි
  • මාස 12 ක් – වර්ෂ 01 යි

(සුසුමක් ඉහලට ගෙන ආපසු හෙලන කාලය ප‍්‍රාණ 01 ක් ලෙස නිර්වචනය වනු ඇත*

මෙය තව දුරටත් මෙසේ බෙදා වෙන් කල හැක. ඒ මෙසේය.

  • තත්පර 60 ක් – විනාඩි 01 යි
  • විනාඩි 10 ක් – ක්ෂණ 01 යි
  • ක්ෂණ 06 ක්   – පැය 01 යි
  • පැය 02 ක් – මුහුර්ථ 01 යි
  • මුහුර්ථ 3.5 ක් – යාම 01 යි
  • යාම 08 ක් – දින 01 යි
  • දින 15 ක් – පක්ෂ 01 යි
  • පක්ෂ 02 ක් – මාස 01 යි
  • මාස 02 ක් – සෘතු 01 යි
  • සෘතු 03 ක් – අයන 01 යි
  • අයන 02 ක් – වර්ෂ 01 යි
  • වර්ෂ 20 ක් – විංශති 01 යි
  • විංශති 03 ක් – ෂෂ්ඨි සංවත්සර 01 යි
  • විංශති 05 ක් – ශත වර්ෂ 01 යි
  • වර්ෂ 05 ක් – යුග 01 යි
  • යුග 04 ක් – විංශති 01 යි

දවස ගනින අයුරු

සූර්ය උදාවන් දෙකක් අතර කාලය දිනයකි. මෙය ගණිනු ලබන්නේ එක් දිනක සුර්ය උදාවේ සිට පසු දින සුර්ය උදාව අනුවය. මෙම දිනක කාලයද කොටස් දෙකකට බෙදෙනු ඇත. ඒ දිවා මානය සහ රාත‍්‍රී මානය ලෙසය. සූර්ය උදාවේ සිට එදින සුර්ය අස්තය දක්වා දිවා මානයද, එදිනම සූර්ය අස්තයේ සිට පසුදා සූර්ය උදාව දක්වා රාත‍්‍රී මානය ලෙසද වේ. දිනකට ඉංග‍්‍රීසි පැය 24 ක් ඇති අතර සිංහල පැය නම් 60 කි. මෙහිදී ඔබ ඉංග‍්‍රීසී පැය සිංහල පැය කිරීමට නම් 2.5 න් වැඩි කල යුතු අතර සිංහල පැය ඉංග‍්‍රීසි පැය කිරීමට නම් 2.5 න් බෙදිය යුතුය. මෙය හොඳින් අවබෝධකර ගත යුතුය. තව දුරටත් දවස ගැන විග‍්‍රහ කිරීමේදී දිනකට යාම අටක් ඇත. දිවා මානයට යාම 04 ක්ද, රාත‍්‍රී මානයට යාම 04 ක්ද ලෙස මෙම යාම 08 පවතිනු ඇත. යාමයකට සිංහල පැය 7.5 කි. ඉංග‍්‍රීසී පැය නම් පැය 03 කි.

පක්ෂ හා මාස ගණනය කරන අයුරු

දින 15 ක් පක්ෂ 01 කි. මාසයකට පක්ෂ 02 කි. එනම් දින 30 කි. මාසයක් තුල ඇති මෙම පක්ෂ දෙක සඳුගේ ආලෝකය වැඞීම හා පිරීහීම පදනම් කර ගනිමින් කොටස් දෙකකට බෙදා ඇත. සඳුගේ ආලෝකය වැඩෙමින් පවතින දින 15 පුර පක්ෂය හෙවත් ශුක්ල පක්ෂය ලෙසද, සඳුගේ ආලෝකය පිරිහෙමින් පවතින දින 15 අව පක්ෂය හෙවත් කෘෂ්ණ පක්ෂය ලෙසද හඳුන්වමු.

තව දුරටත් මාස යන්න විග‍්‍රහ කිරීමේදී චන්ද්‍ර මාස සහ සුර්ය මාස යනුවෙන්ද ආකාර දෙකක් පවතින බව කිව යුතුව ඇත. එක් අමාවක දිනක සිට ඊලඟ අමාවක දක්වා කාලය චන්ද්‍ර මාසයක් වන අතර රවි එක් රාශියක සිට ඊලඟ රාශියකට සංක‍්‍රමණය වන තුරු ගත කරන කාලය සූර්ය මාසයක් ලෙසද ව්‍යවහාර වනු ඇත. මෙම සූර්ය මාස, චන්ද්‍ර මාස සහ ඉංග‍්‍රීසී මාස අතර ඇති සම්බන්ධය මෙසේ පෙන්වා දිය හැක.

සූර්ය මාසය චන්ද්‍ර මාසය ඉංග‍්‍රීසී මාසය

සූර්ය මාසය  චන්ද්‍ර මාසය  ඉංග‍්‍රීසී මාසය
මේෂ රවිය බක් මාසය අපේ‍්‍රල් මාසය
වෘෂභ රවිය වෙසක් මාසය මැයි මාසය
මිතුන රවිය පොසොන් මාසය ජූනී මාසය
කටක රවිය ඇසල මාසය ජූලී මාසය
සිංහ රවිය නිකිණි මාසය අගෝස්තු මාසය
කන්‍යා රවිය බිනර මාසය සැප්තැම්බර් මාසය
තුලා රවිය වප් මාසය ඔක්තොම්බර් මාසය
වෘෂ්චික රවිය ඉල් මාසය නොවැම්බර් මාසය
ධනු රවිය උඳුවප් මාසය දෙසැම්බර් මාසය
මකර රවිය දුරුතු මාසය ජනවාරි මාසය
කුම්භ රවිය නවම් මාසය පෙබරවාරී මාසය
මීන රවිය මැදින් මාසය මාර්තු මාසය

සෘතු ගණනය කරන අයුරු

චන්ද්‍ර මාස හෝ සුර්ය මාස හෝ ඉංග‍්‍රීසි මාස යන  ඕනෑම මාස දෙකක් එක් වීම තුල සෘතුවක් නිර්මාණය වනු ඇත. මෙවැනි සෘතු හයක් වසරක් තුල පවතිනු ඇත. මේ අනුව මාස 02 ක් සෘතුවක් බව කිව යුතුව ඇත. මෙම සෘතු යෙදෙන ආකාරය පහතින් මෙසේ දක්වමු. මෙම සෘතු භේධය උත්තරාර්ධයේදී හා දක්ෂිණාර්ධයෙදී ආකාර දෙකකි.

උත්තරාර්ධයෙදී සෘතු භේධය මෙසේය.

සූර්ය මාසය           චන්ද්‍ර මාසය                  ඉංග්‍රීසී මාසය                          සෘතු නාමය
මීන, මේෂ             බක්, වෙසක්                 අප්‍රේල්, මැයි                         ශරත් සෘතුව
වෘෂභ, මිතුන         පොසොන්, ඇසල         ජූනී, ජූලී                               හේමන්ත සෘතුව
කටක, සිංහ           නිකිණි, බිනර               අගෝස්තු, සැප්තැම්බර්          ශිශිර සෘතුව
කන්‍යා, තුලා          වප්, ඉල්                       ඔක්තොම්බර්, නොවැම්බර්    වසන්ත සෘතුව
වෘෂ්චික, ධනු         උඳුවප්, දුරුතු                දෙසැම්බර්, ජනවාරී               ග්‍රීෂ්ම සෘතුව
මකර, කුම්භ          නවම්, මැදින්                පෙබරවාරී, මාර්තු                  වර්ෂා සෘතුව

ක්‍රාන්ති වෘතය

උත්තරාර්ධයෙදී සෘතු භේධය

දක්ෂිණාර්ධයෙදී සෘතු භේධය මෙසේය.

සූර්ය මාසය           චන්ද්‍ර මාසය                  ඉංග්‍රීසී මාසය                          සෘතු නාමය
මීන, මේෂ             බක්, වෙසක්                 අප්‍රේල්, මැයි                         ශරත් සෘතුව
වෘෂභ, මිතුන         පොසොන්, ඇසල         ජූනී, ජූලී                               හේමන්ත සෘතුව
කටක, සිංහ           නිකිණි, බිනර               අගෝස්තු, සැප්තැම්බර්          ශිශිර සෘතුව
කන්‍යා, තුලා          වප්, ඉල්                       ඔක්තොම්බර්, නොවැම්බර්    වසන්ත සෘතුව
වෘෂ්චික, ධනු         උඳුවප්, දුරුතු                දෙසැම්බර්, ජනවාරී               ග්‍රීෂ්ම සෘතුව
මකර, කුම්භ          නවම්, මැදින්                පෙබරවාරී, මාර්තු                  වර්ෂා සෘතුව

කාල මානය නිර්ණය කිරීම දෙවන කොටස

කාල මානය නිර්ණය කිරීමේ පාඩම කියවූ ඔබට ගැටළුකාරී ස්ථානයක් හමුවන්නට ඇතැයි සිතමි.  එම කාල මානය නිර්ණය කීරීමේ චක‍්‍රය හොඳින් අධ්‍යනය කිරීමේදී පහත සඳහන් කොටස වෙත හොඳින් අවධානය යොමු කරන්න

පැය      02 ක්       –       මුහුර්ථ    01     යි
මුහුර්ථ  3.5 ක්      –       යාම        01     යි
යාම     08 ක්       –       දින         01     යි

මෙම චක‍්‍රයේ පෙන්වා ඇති පරිදි මුහුර්තයකට පැය දෙකක් ඇත. ඒ අනුව යාමයකට මුහුර්ත 3.5 ක් ඇති බවද කියා ඇත. ඒ අනුව විශ්ලේෂණය කිරීමේදී යාමයකට පැය 7ක් බව (3.5 x 2 = 7* පෙනී යනු ඇත. දැන් දිනකට යාම 8ක් ඇති බවද චක‍්‍රයේ සඳහන්ව ඇත. මේ අනුව දිනකට ඇති පැය ගණන පැය 56 (7 x  8=56) බව පෙනේ. නමුත් දිනකට සිංහල පැය 60 ක් තිබිය යුතුය. මේ අනුව මෙහි යම් වරදක් ඇති බව පෙනී යනු ඇත. ඇත්තෙන්ම එහි වරදක් ඇති බව මාගේද හැඟීමය. මෙම වරද නිවැරදි කර ගැනීම සඳහා දැනට පලවී ඇති ලිත් හෝඩි සියල්ලම කියවා බැලූ කල සෑම ලිත් හෝඩියකම මෙම වරද ඇති බව පෙනී ගොස් ඇත. බලංගොඩ ආනන්ද මෛත‍්‍රී ස්වාමින්වහන්සේ විසින් රචිත මොඩන් පොත් සමාගමේ මුදී‍්‍රත අභිනව ලිත් හෝඩිය සහ මුහුර්ත සාධනය යන පොතේ හතරවන පිටුවේ මෙම වරද පහත සඳහන් ආකාරයෙන් නිවැරදීවී ඇත. ඒ මෙසේය.

තත්පර      60    –     විනාඩි     01
විනාඩි       60    –     පැය        01
පැය          7.5    –    යාම        01
යාම          8 ක්   –   දින          01

මෙම චක‍්‍රය අනුව නම් යාමයකට පැය 7.5 ක් ඇති බව කියා ඇත. මේ අනුව දිනකට යාම 8 ක් නිසා දිනකට සිංහල පැය 60 ක් (7.5 x  8 = 60) ලෙස නිවැරදි කර ඇත. නමුත් එම ග‍්‍රන්ථයෙන් මුහුර්ත නැමැති ඒකකය ගිලිහි ගොස් ඇත.

මෙය තව දුරටත් සොයා බැලීමේදී බණ්ඩාරවෙල ඇස්. ඩබ්. කස්තුරිරත්න මහතා විසින් 1942 දී රචිත ජ්‍යොතිෂ ශාස්ත‍්‍රඥාණය ග‍්‍රන්ථයේ ද පළමු පිටුවේ මෙම වරද සහිතවම දක්වා ඇති අතර එතුමාගේ මෙම ග‍්‍රන්ථයේ 29 වන පිටුවේ දිනය පිළිබඳ අර්ථකථනයේදී එම වරද මේ ආකාරයෙන් නිවැරදි කර දක්වා ඇත.

පැය          02       –        මුහුර්ත    01
මුහුර්ත      03       –        යාම        01
යාම         10       –         දින          01 ක් ලෙස දක්වා ඇත.

යාම 10 ක් – දින 01 ක් ලෙස දක්වා ඇත. මේ අනුව මුහුර්තයකට පැය 02 ක් ඇත. මේ නිසා මුහුර්ත 03 කට පැය 06 කි. (2 x  3 = 6) මේ අනුව මුහුර්ත 03 ක් හෙවත් පැය 06 ක් යාම 01 කි. දිනකට යාම 10 කි. මේ අනුව යාම 10 ට පැය 60 කි. (6 x 10 = 60) මේ අනුව දිනකට සිංහල පැය 60 කි. පංච පක්ෂියේ කාලය දක්වා ඇත්තේ මෙම යාම ක‍්‍රමයටය.

මේ අනුව දිනකට යාම 08 ක් පවතින ක‍්‍රමයද, දිනකට යාම 10 ක් පවතින ක‍්‍රමය ලෙස ක‍්‍රම දෙකක් භාවිතාවනු ඇත. යාම 08 කට බෙදන ක‍්‍රමය මත රාහු කාලය යෙදී ඇති අතර යාම 10 කට බෙදන ක‍්‍රමය මත පංච පක්ෂියේ කාලය නිර්මාණය වී ඇත. මේ ගැන ඉදිරි පාඩමකදී හොඳින් අධ්‍යනය කරමු. මේ අනුව ඉහත මුල්ම චක‍්‍රයේ ඇති වෙනස පහත සඳහන් අයුරින් නිවැරදි විය යුතුය.

පැය       02 ක්        –      මුහුර්ථ    01 යි
මුහුර්ථ   3.75 ක්     –       යාම       01 යි
යාම       08 ක්      –       දින         01 යි නමුත් මෙවැනි නිවැරදි කිරීමක් කිසිම ග්‍රන්ථයක සඳහන් කර නැත.

අයනය ගණනය කරන අයුරු

අයනය ගැනීම සුර්යාගේ ගමන මත පදනම් වී ඇති අතර සෘතු තුනක් හෙවත් සූර්ය මාස හයක් අයනයකට අන්තර් ගතව ඇත. මේ අනුව උත්තර හා දක්ෂිණ ලෙස අයන දෙකකි. රවි මකර රාශියට සංක‍්‍රාන්තිය කල දින පටන් පුරා සූර්ය මාස හයක් උත්තරායනය වන අතර රවි කටක රාශියට සංක‍්‍රාන්තිය කල දින පටන් පුරා සූර්ය මාස හයක් දක්ෂිණායනය වෙයි. මේ අනුව රවි මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිතුන යන රාශි හයේ යන විට උත්තරායනය ලෙසද, රවි කටක, සිංහ, කන්‍යා, තුලා, වෘෂ්චික, ධනු යන රාශි හයේ ගමන් කරන විට දක්ෂිණායනය ලෙසද දක්වනු ඇත. මෙහිදි උත්තරායනය සෞම්‍ය අයනය ලෙසද දක්ෂිණායනය කෲර අයනය ලෙසද හැඳින්වේ.

වර්ෂ ගණනය කරන අයුරු

අයනයන් දෙකක් වර්ෂ 01 කි. වර්ෂයකට සෘතු හයක් සහ මාස 12 ක් පවතිනු ඇත. මෙකී වර්ෂයක් සඳහා දින 365 පැය 15 විනාඩි 31 තත්පර 15 ක් ඇත. මෙකී වර්ෂය තුල රවි මේෂ, වෘෂභ ආදී වූ රාශි දොලොස තුල ගමන් කරනු ඇත. මෙසේ ගමන් කිරීමේදී සඳු හා යෝග වන අවස්ථා දොලොසක් උදාවනු ඇත. එසේ උදාවන අවස්ථා දොලොස මේෂ, වෘෂභ ආදී ලෙස ලෙස නම් කර ඇත. රවි මේෂ රාශියේ සිට ඊලඟ වසරේ මේෂ රාශිය දක්වා සංක‍්‍රාන්තිය සිදුවන තෙක් කාලය වසරක් ලෙස හැඳින් වීම වඩාත් සුදුසුය.

විංශති ෂෂ්ඨි විංශති ගණනය කරන අයුරු

සූර්ය වර්ෂ 20 ක කාලය විංශතියක් ලෙස හැඳින්වෙන අතර මෙවැනි විංශති 03 ක් හෙවත් සූර්ය වර්ෂ 60 ක් ෂෂ්ඨි විංශතියක් ලෙස හැඳින්වේ. මෙම ෂෂ්ඨි විංශතියේ මුල් වසර 20 බ‍්‍රහ්ම විංශතියටද, දෙවන වසර 20 විශ්ණු විංශතියටද, තුන්වන වසර 20 ඊශ්වර විංශතියටද අයත් වනු ඇත. තව දුරටත් ඉහත කී විංශති 03 එකිනෙක වෙනම ගත් කල සෑම විංශතියක්ම වර්ෂ 05 බැගින් වූ යුග දොළහකට වෙන්කල හැකිය. ඒ අනුව සෑම විංශතියක්ම පිළිවෙලින් විෂ්ණු, බ‍්‍රහස්පතී, ඉන්ද්‍රයුග, අග්නියුග, බ‍්‍රහ්ම යුග, ශිව යුග, පීතර යුග, විශ්වේදේව යුග, චන්ද්‍ර යුග, ජවලන යුග, අශ්විනී කුමාර යුග, සූර්ය යුග වශයෙන් යුග දොළහකට බෙදෙනු ඇත. එකී සෑම යුගයකම ඇති වසර 05 දේවතාවුන් පස් දෙනෙකු අතර බෙදී යනු ඇත. සෑම යුගයකම පළමුවන වසර සංවත්සර වන අතර වහ්නී දේවතාවටද, දෙවන වසර පරිවත්සර වන අතර අර්ක දේවතාවටද, තුන්වන වසර  ඉඩාවත්සර වන අතර චන්ද්‍ර දේවතාවටද, හතරවන වසර අනුවත්සර වන අතර බ‍්‍රහ්ම දේවතාවටද, පස්වන වසර ඉදවත්සර වන අතර ශිව දේවතාවටද හිමිවනු ඇත. මෙම විංශතීන්හී බලපෑම ගැන කථා කිරීමේදී සකල ජීවී අජීවී යන සියළු දෑ වල උත්පත්තිය, පැවැත්ම සහ විනාශය පිළිවෙලින් බ‍්‍රහ්ම, විෂ්ණු සහ ඊශ්වර විසින් තමාට හිමි කාල තුලදී තම ගුණාංගයන් ලෝක සත්වයා කෙරෙහි යොමු කරවන බව කිව යුතුව ඇත.

ඕනෑම වසරක් කුමන විංශතියක,  කුමන ෂෂ්ඨි විංශතියක, කුමන යුගයකදැයි සොයා ගත හැකි ක‍්‍රමයක් ඇත ඒ මෙසේය. අදාල වර්ෂයේ ශක වර්ෂය ගෙන එයට 12 ක් එකතුකර 60 න් බෙදු විට ඉතිරිවන ශේෂය මත කුමන විංශතියක, කුමන ෂෂ්ඨි විංශතියක, කුමන යුගයකදැයි සොයා ගත හැකිය. (ෂෂ්ඨි සංවත්සරය සෙවීමේ ක‍්‍රම දෙකක් පවතින අතර එම ක‍්‍රම දෙක පිළිවෙලින් ප‍්‍රභවාදී ෂෂ්ඨිය හා විජයාදී ෂෂ්ඨිය වේ. අප රටේ භාවිත වනුයේ මින් ප‍්‍රභවාදී ෂෂ්ඨි ක‍්‍රමය වන අතර ඉහතින් දැක්වූයේ එය සොයාගන්නා ක‍්‍රම වේදයය. මෙම ප‍්‍රභවාදී ෂෂ්ඨි ක‍්‍රමය ගුරු ග‍්‍රහයා පදනම්කරගෙන සකස් කර ඇත.)

දැන් අප ප‍්‍රභවාදී ෂෂ්ඨි ක‍්‍රමයේත් විජයාදී ෂෂ්ඨික‍්‍රමයේත් වෙනස හඳුනා ගනිමු. ප‍්‍රභවාදී ෂෂ්ඨි ක‍්‍රමයේදී ප‍්‍රභව යන වර්ෂය පළමු වර්ෂය ලෙස ගණන් ගැනෙන අතර විජයාදී ෂෂ්ඨි ක‍්‍රමයේදී 27 වන වර්ෂය වන විජය වර්ෂය පළමු වර්ෂය ලෙස ගණන් ගැනේ. උතුරු ඉන්දියාවේ ජ්‍යොතිෂ ශාස්ත‍්‍රඥයන් මෙම විජයාදී ෂෂ්ඨි ක‍්‍රමය භාවිතා කරනු ඇත.

දැන් ඔබට ෂෂ්ඨි සංවත්සරයක් හෙවත් වර්ෂ 60 කාලයක් විංශති තුනකට බෙදු සැටිද, එම විංශති තුන යුග හතරකට බෙදූ සැටිද, යුගයක් වර්ෂ පහකට බෙදු සැටිද හොඳින් අවබෝධ වී ඇතැයි සිතමි.

දැන් අප අභ්‍යාසයක් ලෙස මෙම 2007 වසර කුමන විංශතියකට, කුමන යුගයකට, කුමණ දේවතාවෙකුට හිමිද යන්න සොයා බලමු. 2007 වසර හිමිවන්නේ ශකවර්ෂ 1929 ටය. මේ අනුව දී ඇති නීතිය ක‍්‍රියාත්මක  කර පිළිතුර සොයමු.

2007 ට හිමි ශක වර්ෂය 1929
එකතු කළා 12
1941 මෙම පිළිතුර 60 න් බෙදන්න.

මෙම පිළිතුර 60 න් බෙදු විට පිළිතුර 32 ක්  වන අතර ශේෂය හෙවත් ඉතිරිය 21 කි. දී ඇති චක‍්‍රයේ 21 හිමි වන්නේ කුමන විංශතියකටද කියා බලන්න. එවිට ඔබට මෙම 2007 වසර ප‍්‍රභවාදී සැට වර්ෂයේ විෂ්ණු විංශතියට අයත් බ‍්‍රහ්ම යුග පඤ්චාබ්ධයේ පලමුවන සංවත්සරයට අධිපති වහ්නී දේවතාවන්ට හිමිවූ සර්වජිත් නම් සංවත්සරය 2007 අපේ‍්‍රල් මස 14 වන දින ශ‍්‍රී ලංකාවේ සම්මත ඔරලෝසු වේලාවෙන් අපරභාග 12.29 ට උදාවූ බව කිව යුතුය.  මෙය සෑම පඤ්චාංග ලිතකම පලමු පිටුවේ දක්වා ඇත. පසුගිය වර්ෂ සඳහාද මෙම අභ්‍යාසය කර නිවැරදි පිළිතුර ලබා ගන්න.

ප‍්‍රභවාදී වර්ෂ සැට, යුග සහ විංශති දැක්වෙන චක‍්‍රය

බ‍්‍රහ්ම විංශතිය විශ්ණු විංශතිය ඊශ්වර විංශතිය
වසර 20 වසර 20 වසර 20
01 විශ්ණු යුග පඤ්චාබ්ධය 05 බ‍්‍රහ්ම යුග පඤ්චාබ්ධය 09 චන්ද්‍ර යුග පඤ්චාබ්ධය
01 ප‍්‍රභව 21 සර්වජිත් 41 පලවංග සංවත්සර වහ්නි දේවතා
02 විභව 22 සර්වධාරී 42 කීලක පරිවත්සර අර්ක දේවතා
03 ශුක්ල 23 විරෝධි 43 සෞම්‍ය ඉඩාවත්සර චන්ද්‍ර දේවතා
04 ප‍්‍රමෝද 24 විකෘති 44 සාධාරණ අනුවත්සර බ‍්‍රහ්ම දේවතා
05 ප‍්‍රජාපතී 25 ඛර 45 විරෝධකෘත් ඉදවත්සර ශිව දේවතා
02 බ‍්‍රහස්පති යුග පඤ්චාබ්ධය 06 ශිව යුග පඤ්චාබ්ධය 10 ජවලන යුග පඤ්චාබ්ධය
06 අංගීර 26 නන්දන 46 පරිධාවි සංවත්සර වහ්නි දේවතා
07 ශ‍්‍රී මුඛ 27 විජය 47 ප‍්‍රමාදී පරිවත්සර අර්ක දේවතා
08 භාව 28 ජය 48 ආනන්ද ඉඩාවත්සර චන්ද්‍ර දේවතා
09 යුවන් 29 මන්මථ 49 රාක්ෂස අනුවත්සර බ‍්‍රහ්ම දේවතා
10 ධාතෘ 30 දුර්මුඛ 50 නල ඉදවත්සර ශිව දේවතා
03 ඉන්ද්‍ර(ශක‍්‍ර) යුග පඤ්චාබ්ධය 07 පීතර යුග පඤ්චාබ්ධය 11 අස්විනී යුග පඤ්චාබ්ධය
11 ඊශ්වර 31 හෙමලම්භි 51 පිංගල සංවත්සර වහ්නි දේවතා
12 බහු ධාන්‍ය 32 විලම්භි 52 කාලයුක්ත පරිවත්සර අර්ක දේවතා
13 ප‍්‍රමාථි 33 විකාරී 53 සිද්ධාර්ථ ඉඩාවත්සර චන්ද්‍ර දේවතා
14 වික‍්‍රම 34 ශාර්වරී 54 රෞද්‍ර අනුවත්සර බ‍්‍රහ්ම දේවතා
15 වෘෂ 35 ප්ලව 55 දුර්මතී ඉදවත්සර ශිව දේවතා
04 අග්නි යුග පඤ්චාබ්ධය 08 විශ්වදේවේ යුග පඤ්චාබ්ධය 12 සූර්ය යුග පඤ්චාබ්ධය
16 චිත‍්‍රභාණු 36 ශුභකෘත් 56 දුන්දුහි සංවත්සර වහ්නි දේවතා
17 සුභානු 37 සෝභන 57 රුධිරොත්ගාරි පරිවත්සර අර්ක දේවතා
18 තාරණ 38 ක්‍රෝධී 58 රක්තාක්ෂි ඉඩාවත්සර චන්ද්‍ර දේවතා
19 පාර්ථිව 39 විශ්වාදිසු 59 ක්‍රෝධණ අනුවත්සර බ‍්‍රහ්ම දේවතා
20 ව්‍යය 40 පරාභව 60 ක්ෂය ඉදවත්සර ශිව දේවතා

ශුද්ධ ගුරුමාන වර්ෂ ක‍්‍රමය

ගුරු ග‍්‍රහයාගේ රාශි දොළසේ ගමන පදනම් කර ගනිමින් මෙම ශුද්ධ ගුරුමාන වර්ෂ ක‍්‍රමය පදනම් වී ඇත. මේ පිළිබඳ විස්තර සහිත චක‍්‍රය සූර්ය සිද්ධාන්තයේ තත්වමෘත ටීකාවේ විජයාදී ෂෂ්ට්‍යාබ්ද ගණිත  චක‍්‍රය ලෙස දක්වා ඇත. ඒ මෙසේය

  1. මේෂ         විජය           විශ්වාදිසූ            පිංගල             ශුක්ල         වෘෂ
  2. වෘෂභ        ජය             පරාභව              කාලයුක්ත       ප‍්‍රමෝද       චිත‍්‍රභානූ
  3. මිතුන        මන්මථ       ප්ලවංග              සිද්ධාර්ත         ප‍්‍රජාපතී      සුභානූ
  4. කටක        දුර්මුඛ         කීලක                රෞද්‍ර              අංගීර         තාරණ
  5. සිංහ          හෙමලම්භි   සෞම්‍ය              දුර්මතී             ශ‍්‍රී මුඛ        පාර්ථිව
  6. කන්‍යා       විලම්භි        සාධාරණ           දුන්දුහී              භාව          ව්‍යය
  7. තුලා          විකාරි         විරෝධකෘත්      රුධිරෝත්ගාරී    යුවන්        සර්වජිත්
  8. වෘෂ්චික      ශාර්වරී       පරිධාවී             රක්තාක්ෂි         ධාතෘ         සර්වධාරී
  9. ධනු           ප්ලව          ප‍්‍රමාධී               ක්‍රෝධණ          ඊශ්වර        විරෝධි
  10. මකර         ශුභකෘත්     ආනන්ද             ක්ෂය              බහුධාන්‍ය    විකෘති
  11. කුම්භ         සෝභන     රාක්ෂස             ප‍්‍රභව               ප‍්‍රමාථි         ඛර
  12. මීන           ක්‍රෝධී        නල                  විභව               වික‍්‍රම         නන්දන

මෙම චක‍්‍රයට අනුව ගුරු ග‍්‍රහයා මේෂ රාශියේ ගමන් කරන විට විජය, විශ්වාදිසු, පිංගල, ශුක්ල, වෘෂ යන වර්ෂයන්ගෙන් එකක් උදා වීමට හේතුයි සෙසු රාශි වලදීද එසේ වනු ඇත. මෙම චක‍්‍රයට අනුව විජයාදී ෂෂ්ටි ක‍්‍රමයට අනුව ගුරුමාන විජයාදී ෂෂ්ටි වර්ෂය සොයනුයේ අදාල වර්ෂයට නියමිත කලියුග වර්ෂය 60 න් බෙදා ලැබෙන පිළිතුර මතය.

අප උදාහරණයක් ලෙස 2015 වසර හිමිවන්නේ කුමන විජයාදී ෂෂ්ටි වර්ෂයකටදැයි සොයා බලමු. 2015 වසර හිමිවන කලියුග වර්ෂය 5116 වනු ඇත. මේ නිසා 2015 වසරට හිමි කලියුග වර්ෂය වූ 5116 බෙදිය යුතු වන්නේ 60 න් වන අතර එසේ බෙදු  විට පිළිතුර 85 කි. මේ අනුව පෙනී යනුයේ 85 පසුවී 86 ට ආසන්නව ඇති බවය. මෙම 2015 වසරේදී ගුරු ග‍්‍රහයා කටක හා තුලා රාශි වල හැසිරෙන නිසා 2015 වසරේ සූර්ය සංක‍්‍රාන්තියෙන් පසු ගුරු කටකයේ නිසා ඉහත සඳහන් චක‍්‍රයේ කටකය ආරම්භවන දුර්මුඛ නම් වර්ෂයේ සිට කටක රාශිය තුල පමණක් දුර්මුඛ, කීලක, රෞද්‍ර, අංගීර, තාරණ සහ නැවත දුර්මුඛ ලෙස වර්ෂ 86 ක් ඉදිරියට ගණින්න. එවිට 86 ලැබෙනුයේ කීලක නම් වර්ෂයටය. මේ නිසා 2015 වර්ෂය ගුරු මනාබ්ධ ක‍්‍රමයට කටකයට හිමි කීලක නම් වර්ෂය බව තේරුම් ගත යුතුය. මේ ආකාරයට පසුගිය වර්ෂ සඳහාද ගැන පිළිතුර නිගමනය කරගන්න.

කල්ප වර්ෂ ක‍්‍රිස්තු වර්ෂවලට හරවන ආකාරය

කල්ප වර්ෂ ආරම්භ වනුයේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමනය වන දින සිටය. කල්ප වර්ෂ 19,72,49,101 ක‍්‍රිස්තු වර්ෂ 2000 ට සමාන වනු ඇත.

 

කලි යුග වර්ෂ ක‍්‍රිස්තු වර්ෂවලට හරවන ක‍්‍රමය

කලියුග වර්ෂයන් ද ආරම්භවනුයේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමනය වන දින සිටය. කලියුග වර්ෂ 5100 ක‍්‍රිස්තු වර්ෂ 2000 ට සමානවනු ඇත.

 

බුද්ධ වර්ෂ ක‍්‍රිස්තු වර්ෂ වලට හරවන ක‍්‍රමය

බුද්ධවර්ෂ ආරම්භ වනුයේ වෙසක් පුර පසලොස්වක තිථිය ආරම්භය සමගය. එක් වසරක වෙසක් පුර පසලොස්වක තිථියේ සිට ඊලඟ වසරේ වෙසක් පුර පසළොස්වක තිථිය දක්වා බුද්ධවර්ෂ එකකි. බුද්ධ වර්ෂ 2544 ක‍්‍රිස්තු වර්ෂ 2000 ට සමානවනු ඇත.

ශක වර්ෂ ක‍්‍රිස්තුවර්ෂ වලට හරවන ක‍්‍රමය

ශක වර්ෂ සහ සූර්ය වර්ෂ යනු දෙකම එකකි. ශක වර්ෂ ආරම්භ වනුයේ ද සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමනය වන දින සිටය. ශක වර්ෂ 1922 ක‍්‍රිස්තුවර්ෂ 2000 ට සමාන වනු ඇත. සූර්ය වර්ෂයකට දින 365 පැය 15 විනාඩි 22 තත්පර 09 ක් පවතිනු ඇත.

මහා යුග

මීට පෙර පාඩමේදී අප ෂෂ්ටි සංවත්සර වර්ෂ සෙවීමේ දී සුළු යුග දොළොසක් ගැන කථා කල අතර දැන් අප කථා කරනුයේ මහා යුග සතරක් ගැනය. ජ්‍යොතිෂයෙදී විශාල වර්ෂ එකකයන් මැනීම සඳහා මෙම මහා යුග ඒකකය භාවිතා කරන අතර එම මහ යුගයන් පිළිවෙලින් මෙසේය.

1 කෘත යුගය වර්ෂ 17,28,000
2 නේත‍්‍රා යුගය වර්ෂ 12,96,000
3 ද්වාපර යුගය වර්ෂ 8,64,000
4 කලි යුගය වර්ෂ  4,32,000

දැන් අප ගෙවමින් සිටිනුයේ කලියුග වර්ෂ වන අතර ඉතිරි යුග තුනම ගෙවා අවසන් වී ඇත. කලියුග වර්ෂ 4,32,000 ක ප‍්‍රමාණය 2 න් වැඩිකල විට වර්ෂ 8,64,000 ක් වූ ද්වාපර යුගයේ වර්ෂ ගණන ලැබෙන අතර කලියුග වර්ෂ 4,32,000 ක ප‍්‍රමාණය 3 න් වැඩිකල විට වර්ෂ 12,96,000 ක් වූ නේත‍්‍රා යුගයේ වර්ෂ ගණන ලැබේ. තව දුරටත් කලියුග වර්ෂ 4,32,000 ක ප‍්‍රමාණය 4 න් වැඩි කල විට වර්ෂ 17,28,000 ක් වූ කෘත යුගයේ වර්ෂ ප‍්‍රමාණය ලැබෙනු ඇත.

ඉංග‍්‍රීසී ඔරලොසු පැය සිංහල පැය බවට පරිවර්තනය කරන ආකාරය

පළමු පියවර

උදේ සුර්ය උදාවෙන් පසු දහවල් 1 ට පෙර ඉංග‍්‍රීසි පැය වලින් වේලාවක් ලද හොත් එම වේලාව ලියා සූර්ය උදාව අඩුකර 2.5 න් වැඩි කරන්න එවිට එම වේලාව සිංහල පැය බවට පරිවර්තනය වනු ඇත.

උදාහරණ අංක 01

2015 ජනවාරී මස 09 දින සම්මත ඔරලෝසු වේලාවෙන් දවල් 12.59 ට උපන් අයෙකුගේ මෙම උපන් වේලාව සිංහල පැය බවට පරිවර්තනය කරන්න ?

පැය මිනි තත්
සම්මත ඔරලෝසු වේලාව 12 59 00
අඩුකලා සුර්ය උදාව 06 25 00
06  34  00
වැඩි කලා 2.5 න් 2.5
සිංහල පැය 16  25  00

දැන් 2015 ජනවාරි 09 දින සිංහල පැය 16 මිනිත්තු 25 තත්පර 00 ට උපන් අයෙකුගේ සිංහල වේලාව සම්මත ඔරලෝසු වේලාව බවට හරවන්න ?

අදාල සිංහල පැය ගණන 2.5 න් බෙදන්න. එවිට ලැබෙන පිළිතුරට සූර්ය උදාව එකතු කරන්න එවිට සම්මත ඔරලොසු වේලාව ලැබෙනු ඇත.

සිංහල වේලාව  පැය  මිනි  තත්
බෙදන්න 2.5 2.5
06  34  00
වැඩි කලා 2.5 න් 06 25 00
සිංහල පැය 12 59 00

 

අප දැන් කථා කලේ සුර්ය උදාවෙන් පසු දහවල් 1.00 ට පෙර උපන් අයෙකුගේ සම්මත ඔරලෝසු වේලාවෙන් ලත් වේලාවක් සිංහල පැය කරන ආකාරය සහ සිංහල පැය වලින් දුන් වේලාවක් ඉංග‍්‍රීසි පැය වලට හරවන ආකාරයයි.

දහවල් 1.00 න් පසු පාන්දර 1.00 ට පෙර නම් ඉංග‍්‍රිසි පැය වලට ඉංග‍්‍රීසි පැය 12 ක් එකතුකර ලැබෙන පිළිතුරෙන් සූර්ය උදාව අඩුකර ඉන් පසු ලැබෙන පිළිතුර 2.5 න් වැඩිකළ යුතුය.

පාන්දර 1.00 න් පසු පසුදා සුර්ය උදාවට පෙර නම් ඉංග‍්‍රිසි පැය වලට ඉංග‍්‍රීසි පැය 24 ක් එකතුකර ලැබෙන පිළිතුරෙන් සූර්ය උදාව අඩුකර ඉන් පසු ලැබෙන පිළිතුර 2.5 න් වැඩිකළ යුතුය.

මේ පිළිබඳව උදාහරණ ඊලඟ පාඩමෙන් දක්වමු. බොහෝ අයගේ ගණිත දැණුමේ ඇති අඩු පාඩු නිසා මෙම පැය, මිනිත්තු, තත්පර එකතු කිරීම, අඩු කිරීම, වැඩිකිරීම සහ බෙදීම අපහසු වී ඇත. මේ නිසා ඒ අයගේ පහසුව සඳහා ඉහත කී උදාහරණය සරලව ගණිත සිද්ධාන්ත ඇසුරින් විසඳන ආකාරය ඊලඟ පාඩමෙන් පෙන්වා දීමට බලා පෙරොත්තු වෙමු. ගණිත දැණුම බොහෝ දුර්වල අයට (Scientific Calculator) කැල්කියුලේටරයක් භාවිතාකර ඉතා ඉක්මනින් මෙම ගැටළු විසඳිය හැක.

Leave a Reply