1500 ගණන් වල අඳින ලද හස්ත රේඛා ආශ්‍රෙයන් අනාවැකි කියන කාන්තාවකගේ චිත්‍රයක්

හස්ත රේඛාවේ ඉතිහාසය

සමුද්‍ර නම් ඍෂිවරයා විසින් ලොවට හඳුන්වා දෙන ලද සමුද්‍රක ශාස්ත්‍රය හෙවත් හස්ත රේඛා ශාස්ත්‍රය මේ වන විට ලොව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක්ව ඇත. අනාදිමත් කාලයක සිට පැවත එන මේ හස්ත රේඛා ශාස්ත්‍රය භාරත දේශයෙන් ආරම්භ විය. මෙම ශාස්ත්‍රය සමන්විතව ඇත්තේ සියලු රටවල පැරණි ශිෂ්ටාචාරයන්ගෙන් එක්කාසු කරනා ලද කරුණු වලිනි.  හිංදු වේදයේ මතයක් නම් මෙ‍ම ශාස්ත්‍රය ආරම්භ වූයේ ශ්‍රී විෂ්ණු විසින් ඊශ්වර දෙවියාගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

කීදෘ ශ: පුරුෂො වන්‍ද්‍යො
වන්‍ද්‍යොවා කිඳෘශො හවෙත්
කන්‍යාවා කිදෘශී ශාස්තා
ගර්හිතාවාපි කිදෘගි

මීළඟ මතය වන්නේ වරක් විෂ්ණු සිය මෙහෙසිය වූ සිරිකත උකුලේ හොවාගෙන මහානාග වාහනය පිට නැඟී සත් සමුදුරෙහි යෝග නිද්‍රාවෙන් සිටියදී එම ස්ථානයට පැමිණි මුහුදට අරක්ගත් “සමුද්‍ර” නම් ඍෂිවරයා විසින් දෙදෙනාගේ ශරීරවල සුබ අසුභ බලා හස්ත රේඛා ශාස්ත්‍රය ලොවට බිහිකළ බවකි. පසුව “ නාරද, ලක්‍ෂක, වරාහ, මාණ්ඩව්‍ය, පණ්මුඛ, කාර්තකී” යන ඍෂීවරු හය දෙනෙකු විසින් මනුෂ්‍යයාගේ ප්‍රයෝජනය පිණිස තවදුරටත් ‍ලොවට මෙම ශාස්ත්‍රය දායාද කළ බවකි.

ඉහත දක්වන ලද පෙරදිග මතය කෙසේ වුවත් බටහිර මතය වන්නේ ක්‍රි. පූ. 400 දී පමණ “ඇනැස්ස‍ගෝරස්” විසින් බටහිර ලෝකයට හස්ත රේඛා ශාස්ත්‍රය හඳුන්වා දුන් බවකි.

පෙරදිග අපට හමුවන පැරණි ග්‍රන්ථ දෙස බැලූ විට ලේඛනගත හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳ පැරණිම තොරතුරු හමුවන්නේ වාශිෂ්ඨ විසින් ලියන ලද “වාශිෂ්ඨ” ග්‍රන්ථයේ 21වැනි වගන්තියේ ය. මානු (vi 50) නම් ඉපැරණි වේදීය ග්‍රන්ථයේද යම් තොරතුරු ප්‍රමාණයක් අපට හමුවෙයි.‍ ගුප්ත විද්‍යාවේ ජනිත භූමිය වු ඉන්දියාව, සෙසු රටවලට වඩා මෙම විශයට අඳාලව ලියැවුණු පොත් පත් ඉමහත් සංඛ්‍යාවක් ඇති රටකි.

Cheiroy - කයිරෝ

Cheiroy – කයිරෝ

එසේම පෙරදිගින් හමුවන ග්‍රන්ථ ගැන කථා කිරීමේදී සඳහන් වන තවත් ඉපැරණි පොතක් වන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොන්කන් නැමැති නිම්නයේ විසූ ගුරු නැමැති බ්‍රාහ්මණයෙකු ඇසුරින් මෙම ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කල `කයිරෝ` හෙවත් `ලුවිස් හැමන්` නැමැත්තාට බ්‍රාහ්මණයන් විසින් අධ්‍යනය සඳහා දෙනලද වර්ෂ දහස් ගණනාවක් අධික ලෙස ආරක්ෂා කරන ලද පොතක් නිසාය. කෞතුක වස්තුවක් බදු වූ මෙම පොත සාදා ඇත්තේ මිනිස් සමෙන් වන බවත් රත්තරනින් අකුරු ලියවී ඇති බවත් කයිරෝ සඳහන් කරයි. මෙම විෂයේ පැරණි බව සහ සත්‍යබව පිළිබඳව එයින්ම පැහැදිලි අදහසක් ලබාගත හැක.

බෝසතාණන් වහන්සේගේ නම් තබන මංගල්‍යයේදී නක්ෂත්‍ර හා අංග ලක්ෂණ බලා අනාවැකි ප්‍රකාශ කරන බමුණන් 108 දෙනකු කැඳවූ බවත් සිද්ධාර්ථ කුමරු සක්විති රජකු හෝ බුදුවරයකු වීමට ඉඩ ඇති බව එම නක්ෂත්‍රකරුවන් 107 දෙනකුම අනාවැකි පළ කළ අතර කොණ්ඩඤ්ඤ නම් ලාබාලම බමුණා විසින් කුමරුන් ඒකාන්තයෙන්ම බුදුවන බව පවසා තිබේ. ඔහුගේ කීම අකුරටම හරි ගියේය. බුදුරජාණන් වහන්සේගේ පාදවල හා අල්ලේ පියුම් ලකුණු, චක්‍ර, මත්ස්‍ය, ස්වස්තික ලකුණු හා ආවර්ත සුළි තිබුණු බව ප්‍රසිද්ධ කරුණකි. එමඟින්ද ක්‍රිස්තු පූර්ව හයසිය ගණන් දක්වා මෙම ශ්‍රාස්ත්‍රයේ ඉතිහාසය දිවෙන බව අපට වැටහේ.

එසේම භාරත දේශයෙන් පටන්ගෙන චීනයට, පර්සියාවට, අරාබියට,  ග්‍රීසියට හා රෝමයට මෙන්ම  14 වැනි හා 15 වැනි ශත වර්ෂ අතර කාලයේදී හස්ත රේඛා ශාස්ත්‍රය ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය වැනි රටවලට පැතිර ගොස් ඇති අතර එහිදී එක්තරා වැදගත් දියුණුවක් හස්ත රේඛා ශාස්ත්‍රයට ඇතිවීමට පටන්ගෙන ඇත. නමුත් හස්ත රේඛා ශාස්ත්‍රය හා ජ්‍යෝතිෂ්‍යය ශාස්ත්‍රය ක්‍රිස්තියානි පූජකයන්ගේ බලපෑම් නිසා තහනම් වී ඇත. ජ්‍යෝතිෂ්‍යය ශාස්ත්‍රය, හස්ත රේඛා ශාස්ත්‍රය, භූත විද්‍යාව ප්‍රගුණ කළ දහස් දෙනා එම කාලයේදී මරුමුවට පත් කළහ. එංගලන්තයේ 1 වැනි එළිසෙබත්ගේ සිට 2 වැනි ජෝර්ජ් රජ කාලය 1558 – 1770 දක්වා මේ තහනම තිබුණු බව ඉතිහාසයේ දැක්වේ.

ඇරිස්ටෝටල්මධ්‍යකාලීන යුගයේ නොයෙක් ප්‍රහාරයට ගොදුරු වූ හස්ත රේඛා ශාස්ත්‍රයට නැවත පුනර්ජීවයක් ඇති වුණේ 19 වැනි සියවසයේදීය. නූතන හස්ත රේඛා ශාස්ත්‍රඥයන්ගේ අසීමිත ගවේෂණ නිසා මෙම හස්ත රේඛා ශාස්ත්‍රය විද්‍යාත්මක මුහුණුවරක් ගත්තේය. මේ දියුණුව ආසියානු රටවලටද පැතිරිණි. 19 වැනි හා 20 වැනි සියවස්වල හස්ත රේඛා පොත් රාශියක් බිහි විය.

ශ්‍රී  ලංකාවේද හස්ත රේඛා ශාස්ත්‍රය ඉතාමත් දියුණු අවධියක තිබුණු බව වර්ෂ 3000කට වඩා පැරැණි ශාස්ත්‍රීය ග්‍රන්ථවල පිටපත් වල සඳහන් වේ.  එසේම ශ්‍රී  ලංකා තෙද බල ඇති රාවණා රජු පවා නොයෙක් හස්ත ශාස්ත්‍ර හා හස්ත රේඛා ශාස්ත්‍රය දැන සිටි බව  වීදාගම ස්ථවිරයන්ගේ “එළු අත්තනගලු වංශය” සාක්ෂි දරයි.

කෙනෙකුගේ අත්ල ඔහුගේ පෞද්ගලිකත්වයයි. තමාගේ චරිත ලක්‍ෂණ හා ශක්‍යතාවන් විදහා දැක්වෙන සම්පූර්ණ ප්‍රමාණයේ සිතියමක් තමා එල්ලාගෙන ඇවිදින බව සිතන්නේ ටික දෙනෙකි.‍ මෙම ශාස්ත්‍රය සිත්ගන්නා සුළු ඉගෙනීමකි. එසේම මනුෂ්‍යයා හට වෘත්තීය මග පෙන්වීමක් ලබාගැනීමට, අනාගතයේදී පැමිණිය හැකි උවදුරු කල්තබා හඳුනාගෙන එයින් ආරක්ෂා වීමට, සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් වීමට, මනෝවිද්‍යාත්මක රෝග විනිශ්චයෙහි පහසුව යනාදි වැදගත් කටයුතු පිළිබඳව දැනුවත් වීමට මෙම ශාස්ත්‍රය උපකාර වනු ඇත.

අතීතයට එබිකම් කර බලන විට, බෞද්ධ සාහිත්‍යයේ එන පුරාවෘත වල සඳහන් පරිදි වැල්ලේ පා ගමනින් ගිය කෙනෙකුගේ පා සටහන් නිරීක්‍ෂණය කර බලා නොදුටු පුද්ගලයකු පිළිබදව තොරතුරු හෙළි කිරීමට තරම් සමත් ශාස්ත්‍රවකයින් පුරාණ ඉන්දියාවේ විසූ බව පෙනේ. නවීන විද්‍යාවේ දියුණුවත් සමග මිථ්‍යා ඇදහීම්, මිථ්‍යා විශ්වාස (Superstition) ලෙසින් බැහැර කළ ගුප්ත විද්‍යාත්මක විශ්වාස බෙහෙවිනි. එහෙත් හස්තරේඛා ශාස්ත්‍රය මිරිඟුවක් බවට පත් නොවී නොනැසී තවදුරටත් ඉදිරියට යනබව පෙනී යයි. වසර දහස් ගණනාවක් පුරාවට නොනැසී විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ විද්‍යානුකූලව විෂයක් ලෙස බොහෝ දුරට ඉදිරියට පැමිණීමට මේ විෂයට හැකි වී ඇත්තේ සත්‍යානුකූල බව නිසාවෙන් යන වග වටහාගත හැකිය.

හස්ත රේඛා ශාස්ත්‍රය පිලිබඳ රූප සටහන් සහිත විස්තරාත්මක ලිපි පෙලක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

හස්ත රේඛා වේදිනී,
තනෝජා ප්‍රනාන්දු ෴
(ශ්‍රී ජයතු ලංකා ගුරුකුළයේ සිසුවියකි.)

Leave a Reply