කේ. එස්. ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය

ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා

‘ජ්‍යෝතිෂ මර්තන්ඩ’, ‘සෝතිධ මන්නන්’ කේ. එස්. ක්‍රිෂ්ණමූර්ති තුමා යනු ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය දැයට දායාද කළ ශ්‍රේෂ්ඨ ඉන්දීය ජ්‍යෝතිෂ්‍යයවේදියාය. ඔහු 1908 වර්ශයේ නොවැම්බර් 1 වන දින තිරුවයියාරු නැමැති ගමෙහි උපත ලැබුවේය. ඉන්දියාවේ තිරුචිරපල්ලී නගරයේ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු රාජ්‍යය සෞඛ්‍යය සේවයට 1927 වර්ශයේ ජුලි  මස 14 දින දී එක්වූ අතර එම කාලයේදීම වේදීය ජ්‍යෝතිෂ්‍යය හා බටහිර ජ්‍යෝතිෂ්‍යය ශ්‍රාස්ත්‍ර හැදෑරීම ආරම්භ කලේය. එතුමාගේ ගුරු පියාණන් වන්නේ ජගන්ගුරු ශ්‍රී ශ්‍රී ශන්කරාචාර්ය ස්වාමිගල් තුමාය. රාජ්‍ය සේවයේ යෙදීමත් ජ්‍යෝතිෂය කටයුතු පිළිබඳව පර්යේෂණ කිරීමත් දෙකෙහිම යෙදීම අපහසු වූ හෙයින් 1960 දී එතුමා රාජ්‍ය සේවයෙන් ඉවත්ව මදුරාසියේ ජ්‍යෝතිර් විද්‍යා පර්යේෂණ ආයතනයට එක්ව ඉතා විශාල සේවයක් ජ්‍යෝතිෂය ක්ෂේත්‍රයට ඉටුකරන ලදී. 1963 වර්ශයේ අප්‍රේල් 01 දින Astrology & Athrishta (Athrishta යන්න නොපෙනෙන/අදිසි යන අර්ථය ලබාදේ) නමින් සඟරාවක් ආරම්භ කර ඒ හරහා අප්‍රමාණ ජ්‍යෝතිෂ්‍යය ලිපි සංඛ්‍යාවක් දායද කොට ඇත.  එම සේවා වෙනුවෙන් 1964 වර්ශයේදී ජ්‍යෝතිෂ්‍යය මර්තන්ඩ යන ගෞරව නාමයෙන් එතුමන් පිඳුම් ලැබූ අතර 1970 ජූනි මාසයේදී මලයාසියානු ජ්‍යෝතිෂ්‍යය විද්‍යා සංගමය මඟින් පිරිනැමෙන උසස්ම ජ්‍යෝතිශ්‍යය විද්‍යා සම්මානය වන ජ්‍යෝතිෂ්‍යය රජු යන තේරුම ඇති “සෝතිධ මන්නන්” යන ගෞරව නාමයෙන්ද පිඳුම් ලබා ඇත.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය යනු,

පුරාණ සෘෂිවරුන් හා ජ්‍යෝතිෂය ශාස්ත්‍රඥයන් විසින් ලෝකයට හෙළිකළ විද්‍යාවන් කාලයක් සමගම විවිධ ව්‍යයසන වලට ගොදුරු වීම නිසා ලෝකයාට අහිමි විය. ගුරු මුශ්ටි වශයෙන් තබා ගැනීම, මුඛ වහරින් පැවති සිද්ධාන්ත හා න්‍යායන් ඒවා භාවිතා කළ විද්වතුන් සමඟ අභාවයට යාම, සුදුසු ගෝලයන් හමු නොවීම වැනි කාරණා එම ව්‍යයසනයන් විය. පැවති සෑම ක්‍රමයක්ම, සිද්ධාන්තයක්ම පර්යේෂණයට ලක්කරමින් වේදිය ජ්‍යෝතිෂ්‍යය මෙන්ම බටහිර ජ්‍යෝතිෂ්‍යය ද යොදාගනිමින් කරන ලද විශිෂ්ඨ පර්යේෂණ වල ප්‍රථිපලයක් ලෙස ක්‍රිෂ්ණමූර්ති තුමා ජ්‍යෝතිෂය ක්ෂේත්‍රයට ආලෝකයක් වන් මෙම ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ලොවට දායාද කළේය.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ගොඩනැඟී ඇත්තේ මූලික වශයෙන් විම්ශෝත්තරී දශාව සහ නැකැත් පදනම් කරගෙන ය. මෙහිදී ග්‍රහයෙකු යම් නැකතක පිහිටීම, ඒ නැකත හිමි ග්‍රහයාගේ ක්‍රියාකාරීත්වය සහ නිවේදකත්වය ඉතාමත් වැදගත් ලෙස සලකා ඇත. ඒ සඳහා භාව කේන්ද්‍ර සටහන උපයෝගී කරගනු ලැබේ. විම්ශෝත්තරී මහදශාව සකසා ඇත්තේ නිරයන නක්ෂත්‍ර චක්‍රයේ නැකැත් වල පිහිටීම් සහ ඒවායේ අධිපති බව දරන ග්‍රහයින්ට එක්තරා අනුපාතයකට අනුව කාලසීමා වෙන්කිරීමෙනි. මෙම කාලසීමා වෙන්කර ඇති අනුපාතය මත ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේදී නක්ෂත්‍රයන් (නැකතක්) එක් එක් ග්‍රහයාට ලබා දී ඇති විම්සෝත්තරී දශා කාලයන්ට අනුරූපව අසමාන ප්‍රමාණ වලින් යුත් උපස්ථාන වලට වෙන්කර ඇත. ග්‍රහයෙකුගේ ක්‍රියාකාරීත්වය එම ග්‍රහයා තැන්පත්ව සිටින නැකැත් හිමියාගේ නිවේදකත්වය අනුව සිදුවන බවත් එසේ ලබන ප්‍රතිපල වල සුබ හෝ අසුබ බව එම ග්‍රහයා තැන්පත්ව සිටි උපස්ථාන හිමියාගේ ක්‍රියාකාරීත්වය මත සිදුවන බවත් ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තුල ඉගැන්වේ.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය හා වේදීය ජ්‍යෝතිෂ්‍යය අතර ඇති ප්‍රධාන වෙනස්කම්

01) ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේදී රාශි වළල්ලේ නැකැත් 27 ට මූලික තැනක් ලබාදෙයි.

02) මෙම හැම නැකතක්ම තවදුරටත් කොටස් 09කට බෙදයි. නමුත් විම්ශෝත්තරී දශාවේ ග්‍රහයින්ට ලබාදී ඇති කාලයට අනුව සමානුපාතිකවය.

03) ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේදී භාවිතා කරනු ලබන්නේ ක්‍රිෂ්ණමූර්ති අයනාම්සය යි. වේදීය ජ්‍යෝතිෂයේදී බහුලව භාවිතා කරන ලහිරි අයනාම්සයට වඩා ක්‍රිෂ්ණමූර්ති අයනාම්සය කලා 06ක් (ආසන්න වශයෙන්) පමණ වෙනස් වේ.

04) ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයේදී බටහිර ජ්‍යෝතිෂ්‍යයේදී මෙන් භාව ආරම්භය සඳහා භාවස්ඵුට භාවිතා කරයි. ඒ සඳහා භාවස්ඵුට ගණනයට බටහිර ජ්‍යෝතිෂ්‍යෙය්දී භාවිතා කරන ප්ලැසිඩස් ක්‍රමයට භාවිතා කරයි.

05) ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයේදී දශාවක සිටින ග්‍රහයින් එම ග්‍රහයාට වඩා එම ග්‍රහයා සිටින නැකතට හිමි ග්‍රහයාගේ ප්‍රතිපල ලබාදෙයි.

06) ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයේදී පාලක ග්‍රහයින් නමින් හැඳින්වෙන ක්‍රමවේදයක් භාවිතා කරයි. එමඟින් එම වේලාවේ ඵලදායී ග්‍රහයින් කවුරුන්දැයි යන්න තෝරාගත හැක.

07) වේදීය ජ්‍යෝතිෂයේදී භාවිතා කරන වර්ග කේන්දර, ග්‍රහයෝග ආදී දෑ ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයේදී භාවිතා නොකරයි.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය සිරිලක පැතිරීම

1970 වර්ශයේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ජ්‍යෝතිෂ්‍යය ශාස්ත්‍රය පිළිබඳ ඉතාමත් උනන්දුවෙන් කටයුතු කළ විද්වතුන් රාශියකගේ ආරාධනයෙන් ක්‍රිෂ්ණමූර්ති තුමා ලංකාවට පැමිණියේ ය. එතුමා විසින් පෙර පවත්වන ලද බොහෝ දේශන සහ ඒවායේ නිවැරදි බව පිළිබඳ කරණු පැහැදිලි කෙරෙන දේශන සංඛ්‍යාවක්ම පවත්වා ලාංකික ජ්‍යෝතිෂ්‍යයවේදීන් දැනුවත් කරන ලදී. යළි ඉන්දියාව බලා පිටත් වීම සඳහා ගුවන් තොටුපලෙහි රැඳී සිටින අවස්ථාවේදී විශාල අභියෝගයකට මුහුණ දීමට එතුමාට සිදුවිය. එම අවස්ථාවෙහි එහි සිටි පුවත්පත් වාර්ථාකරුවන් කිහිප දෙනෙකු එතුමාගේ ක්‍රිෂ්ණමූර්ති තත්කාල විද්‍යාව මගින් එතුමා ගමන් කිරීමට නියමිත ගුවන් යානය පැමිණෙන වේලාව පෙන්වා දෙන්නැයි ඉල්ලීමක් කරන ලදී. එම අභියෝගය බාරගත් එතුමා ප්‍රකාශ කරන ලද වේලාව තත්පරයටම නිවැරදිව ගුවන් යානය ධාවන පථය වෙත ලඟාවිය. නමුත් එය පාලක මැදිරිය විසින් ප්‍රකාශිත වේලාව නොවීය. ශ්‍රී ලංකාවේදී එතුමා කළ අවසාන අනාවැකිය පසුදින පුවත්පත් වල මුල්පිටු වල පලවිය. මේ නිසා ඉතා වේගයෙන් ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ශ්‍රී ලංකාව තුල පතලවූවා යැයි කීම නිවැරදිය. එතැන් සිට ශ්‍රීලංකාව තුලද  විශාලජ්‍යෝතිෂ්‍යය වේදීන් පිරිසක් ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ සිද්ධාන්ත යොදාගනිමින් ජ්‍යෝතිෂ්‍යය කටයුතු කරයි.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ගැන ලිපි පෙලක් ඉදිරියේදී බලාපොරොත්තුවන්න. එතුමාගේ ජන්මපත්‍රය පහත දක්වා ඇත.

ක්‍රිෂ්ණමූර්ති පඬිතුමාගේ ජන්ම පත්‍රය.

ක්‍රිෂ්ණමූර්ති පඬිතුමාගේ ජන්ම පත්‍රය.

තනෝජා ප්‍රනාන්දු ෴
ශ්‍රී ජයතු ලංකා ගුරුකුළයේ සිසුවියක්.

Leave a Reply